පෙ.ස.ප. ට එරෙහිව ආණ්ඩු - ජ.වි.පෙ. මාධ්‍ය මෙහෙයුමක්

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව හා එක්ව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එරෙහිව අවලාද ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් සකස්කර ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ. පළමුව කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල එක්තැනක සිට පැහැර ගැනීමට ලක්වූ බවට අවලදායක් නිර්මාණය කිරීම සඳහා උත්සාහ ගනු ලැබීය. ඒ සඳහා රජය සමග සම්බන්ධතා පවත්වන රූපවාහිනී නාලිකා දෙකක් සහ ගුවන් විදුලි නාලිකාවක් උපයෝගී කර ගැනීමේ සැලැස්මක් තිබිණි. එම සැලැස්ම සඳහා ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා ආණ්ඩුව සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා තිබේ. නමුත් මෙම උත්සාහය ව්‍යර්ථවීම නිසා අවුරුදු නිවාඩුවෙන් පසුව වෙනත් අලුත් අවලාදයක් සඳමහැ සැලැස්මක් සකස් විය.

ඒ අනුව අප්‍රේල් 20 වැනිදා දිවයින, ලක්බිම සහ ලංකාදීප පුවත් පත් හිමිකරුවන් හමුවූ අනුර දිසානායක මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එරෙහි අවලාද ව්‍යාපාරයකට එම පුවත්පත් යොමු කරගැනීම සඳහා කටයුතුකර ඇත. ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ බෙදීමක් පවතින බවට පුවතක් එම පුවත්පත්වලට ලබාදී ඇති අතර ඉරිදා ලක්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස එම පුවත යොදා ඇතැයි වාර්තාවේ. එපමණක් නොව ලංකාදීප පුවත්පතේ ඕපාදූප තීරුවේද ඒ සඳහා සැලකිය යුතු ඉඩක් වෙන්කර ඇත.

අනුර දිසානායක මහතා ලබාදුන් ප්‍රවෘත්තියේ පෙරටුගාමී සමාජාවාදී පක්ෂයෙන් ඉවත්වූ බවට සිවු දෙනෙකුගේ නම් සදහන්වේ. ඒ අතරින් තිදෙනෙකුකට මාධ්‍ය කතා කළ අවස්ථාවේදී ඔවුන් එම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කර ඇති අතර එක් අයෙකු මාධ්‍යයට සම්බන්ධකර ගත නොහැකි විය. මේ තත්ත්වය තුළ ප්‍රවෘත්තිය ප්‍රචාරය කළ නොහැකි යැයි මාධ්‍යවේදීන් දැනුම්දී ඇති අතර ආයතන හිමිකරුවන් බලපෑම්කර ප්‍රවෘත්තිය පුවත්පතට ඇතුළුකර ඇත. සිය මාධ්‍යවලට එල්ලවූ මෙම බලපෑම පිළිබඳව ලක්බිම, ලංකාදීප සහ දිවයින පුවත්පත් වල මාධ්‍යවේදීන් සහ කතෘවරුන් දැඩි කනස්සල්ලට පත්වී ඇතැයි මාධ්‍යවේදියෙකු අප වෙත පැවසීය.