වම්මු ගැන කථිකාවක්

| අමිල ගුණරත්න

සමාජ අසාධාරණ වලදී මෙම ලියුම්කරු වම්මු සමග එකට වැඩ කොට අත්දැකීම් ඇත්තෙකි. මෙම ලියුම්කරු දුටු අනගිතම වාමාංශිකයා සරත් මුත්තෙට්ටුවේගම ය. අහේතුවකට මෙන් මුණගැසුණු අනෙකුත් බොහෝ වම්මු අඩු වැඩි කුහක බැවින් යුක්තය. සමාජ සාධාරණත්වය ගැන කතා කරන වම්මු බොහෝ දෙනෙකු තම ගෙවල් වල බිරින්දන්ට තග දමාගෙන සිටින දේපල වලට ඥාතීන් සමග මරා ගන්නා නරුමයන්ය. සමාජ ගැටළු , සමාජ අසාධාරණ ගැන කතා කලද වම්මුන් බොහෝ දෙනෙකුගේ ටාගට් එක එන් ජී ඕ එකකට සෙට් වී ගානක් හොයා ගැනීම හෝ කුමන හෝ ධනපති රටකට පැනීමය. ඒ සඳහා මාරයා සමග හෝ සම්මුතියෙන් වැඩ කිරීමට ඔවුන් සුදානම්ය.

අජිත් පැරකුම් ජයසිංහගේ ලිපියක ලංකාවේ වම්මු ගැන හොඳ විශ්ලේෂණයක් තිබුණි. ඔහු මෙසේ සඳහන් කරයි.

"අද වන විට වම තුළ නැති එක ම දෙය මනුස්සකමයි. එසේ ම, ලොකු ම ප්‍රශ්නය ද එයයි. ප්‍රකාශනයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආදිය වෙනුවෙන් පෙනී සිටින බොහෝ වීරයන්ගේ ඇත්ත පෙනෙන්නේ තමන්ට වඩා දුර්වල යයි ඔවුන් සිතන කෙනෙක් ඔවුන්ගේ රෙද්ද උස්සා නිරුවත පෙන්නූ විට ය. ඒ වෙලාවට ඔය වාමාංශිකයෝ, මානව හිතවාදියෝ, කවියෝ වැනි අය සුදු වෑන්කාරයන්ට වඩා බියකරු ය. සාමාන්‍ය ජනතාවට වඩා තුච්ඡ ය. නොම්මර එකේ කුහකයෝ ය. මේ වනාහි මාරයාගේ දත් තිස් දෙක මැද සිට උගත් පාඩම් ය. (කොමිෂන් නැත.) මා සිතන පරිදි වම දැඩි ලෙස ම ගෝලීය ධනවාදයේ බලපෑමට ගොදුරු වී තිබේ. රජය, මන්ත්‍රී වැටුප්, දේශපාලන පත්වීම්, රාජ්‍ය නො වන සංවිධාන, දෙමළ ඩයස්පෝරාව, වෘත්තීය සමිති සාමාජික මුදල්, කැට සල්ලි ආදිය හරහා එන ආර්ථික ප්‍රාග්ධනය ද මාධ්‍ය හා සංවිධාන ආදිය හරහා ලැබෙන සමාජ ප්‍රාග්ධනය ද හේතුවෙන් වම අන්තයට ම දූෂණය වී තිබේ. මෙම ප්‍රාග්ධනය තුළ ක්‍රියාත්මක වන්නේ අන් කිසිවක් නොව, ගෝලීය ධනවාදයේ ප්‍රධාන කොටස් වන අමානුෂිකත්වය, දයා විරහිත බව, ආනාදරය (unlove), කාමය, කුටුම්භවාදය, ආත්මාර්ථකාමිත්වය ආදියයි. මේ හරහා වාමාංශිකයෝ ද කරන්නේ සමාජමය වශයෙන් හෝ දේශපාලන වහයෙන් හෝ පෞද්ගලිකව හෝ ලාභ ඉපැයීමයි."

ලංකාවේ වම තුල මතවාදී ඒකාධිපතිත්වයක් මතවාදී වැඩවසම් බවක් තිබේ. වම තුල මනුස්සකම , මානව දයාව නැත. සමාජයේ පහල ස්ථර වල ජිවත්වන දේශපාලන වශයෙන් තරමක් දැනුවත් නිර්ධනයන් ගේ ශ්‍රමය දේශපාලන වශයෙන් සුරාකෑම බොහෝ විට මෙම වාමාංශික මතවාදී ඒකාධිපතිත්වය විසින් සිදු කරනු ලබයි. මහලොකු වාමාංශික චින්තනයක් නොතිබුණද හිටපු අමාත්‍ය තොන්ඩමන් (අරුමුගම් තොන්ඩමන් නොවේ ඔහුගේ සියා ය ) තමන්ගේ වතු කම්කරුවන්ගේ ජිවන තත්වය ස්වල්පයකින් හෝ නග්වාලිමට කල ප්‍රයෝගික ක්‍රියා වලින් 1 % වත් අපගේ වාමාංශික ක්‍රියාධරයන් තමන්ගේ කම්කරුවන් උදෙසා සිදු කොට නැත. මේ නිසා අද මතවාදී වම වෙනුවට ජනතාව තොර ගන්නේ මර්වින් සිල්වා , නිශාන්ත මුතුහෙට්ටිගම, දුමින්ද සිල්වා වැනි මැරයන් ය. ඒ මක්නිසාද යත් ලංකාවේ වම විසින් මිනිසුන්ට විකල්ප ඉතිරි කොට නැති නිසාය.