මැර දේශපාලකයෙනි ඔබලාගේ අනාගතය අඳුරුය.

| අමිල ගුණරත්න

කහවත්තේ 52 හැවිරිදි මවක මරා දැමීමත්, 18 හැවිරිදි දියණියක දූෂණය කර මරා දැමීමත් මෙහෙයවන ලද ඇමති ජෝන් සෙනෙවිරත්නගේ සම්බන්ධීකරණ නිලධාරියකු වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඇතුළු සැකකරුවන්ගේ නිවස මේ වන විට කුපීත වූ ජනතාව විසින් විනාශ කොට තිබේ. ජනතාව මෙසේ නීතිය අතට ගෙන අයාලේ යමිනි ඉවක් බවක් නැතිව දේපල ගිනිබත් කරන්නේ රටේ පාලකයන් නීතිය සහ යුක්තිය ක්‍රියාත්මක නොකරන බව ඔවුන් හොඳාකාරව දන්නා නිසාය. තංගල්ලේ ස්ත්‍රී දුෂක ඝාතකයා , මුල්ලේරියාවේ ස්ත්‍රී දුෂක ඝාතකයා , නාපමුනුව ඝාතකයා නීතියට කොකා පෙන්නමින් යුක්තියට අභියෝග කල බව ජනතාව හොඳින් දනිති.

දැන් ලෝකය මිට වසර 10 පෙර තිබේ ලෝකය නොවේ. තොරතුරු තාක්ෂණය අන්තර් ජාලය නිසා මානව හිමිකම් පාගා දැමීම දුෂ්ට පාලකයන්ට අසීරු වෙමින් පවතියි. මේ නිසා බොහෝ ජනතා පෙලන පාලකයන් ඉරානයේ , සිරියාවේ මෙන් අන්තර් ජාලය අවහිර කරති. නමුත් එයද දැන් අසාර්ථක බව පෙනී යන්නේ ජෝසෆ් කෝනි ගේ කතාව නිසාය.

ජෝසෆ් කෝනි යනු උගන්ඩාවේ මැර දේශපාලන ගරිල්ලා හමුදා නායකයෙකි. ඔහු මිනිසුන් මරා දමමින් , ළමුන් පැහැරගෙන යමින් ජනතාවට මහා විනාශයක් කළේය. මෙම පුද්ගලයා යුද අපරාධකරුවෙකු ලෙස නම් කරන ලෙස බලපෑම් කරමින් එක්තරා බටහිර සිවිල් පුරවැසියෙකු යූ -ටියුබ් වීඩියෝවක් නිර්මාණය කළේය. එය මේ වන විට පුද්ගලයන් 38,954,272 එය නරඹා තිබේ. මේ අන්තර්ජාල උද්ඝෝෂණය හරහා දැන් බටහිර නායකයන් දැන් ජෝසෆ් කෝනිව අත්අඩංගුවට ගැනීමට සුදානම් වෙති. ඔහුව අත් අඩංගුවට ගැනීමට බැරි වුහොත් හෙට අනිද්දා ඇමරිකාව මොහුට ඩ්රෝන් ප්‍රහාරයක් එල්ල කිරීමට හොඳාකාරවම ඉඩ තිබේ. ප්‍රභාකරන් යුද අපරාධ කළේය. ජෝජ් බුෂ් යුද අපරාද කළේය. නමුත් බටහිරට මේවා වලංගු නැත. ඔවුන්ට නොගැලපෙන අකීකරු මැර දේශපාලකයන් ඔවුන් ඉවත් කරති. ඒ සඳහා දැන් බැන්කි මූන් හෝ හිලරි ක්ලින්ටන් අවශ්‍ය නොවේ. මේ යූ -ටියුබ් වීඩියෝව මගින් පෙනී යන්නේ බටහිර සිවිල් පුරවැසියෙකුට ලෝකයේ වෙනත් රටක මානව හිමිකම් කඩන පාලකයෙකුගේ පැවැත්මට වුවද මහත් බලපෑමක් ඇති කිරීමට හැකි බවයි. මෙය අනාගතයේ වර්ධනය වන ප්‍රවනතාවකි. මෙය අප රටේ පාලකයන්ටද හොඳ පාඩමකි. ඔබලා යහ පාලනයකට අවතීර්ණ නොවී හිතු මනාපේ නීතියට අභියෝග කළහොත් ඔබලාටද
ජෝසෆ් කෝනිගේ ඉරණම අත් විය හැක.

මෙන්න එක් බටහිර සිවිල් පුරවැසියෙකු කල උද්ගෝෂණයේ ප්‍රතිඑල http://www.youtube.com/watch?v=Y4MnpzG5Sqc