උත්තරීතර නිදහස තහවුරුවනු දැකීම සතුටක්‌ - රාජපක්‍ෂ

( 04.02.2012 | lankaguardian.com ) අලුත් රටක්‌ ගොඩනැගෙන දිසානතියට අනුගතව ජාතික කොඩිය ළෙලදෙමින් අටුකොටු පිරුණු හෙටක්‌ පිළිබඳ ප්‍රාර්ථනාව දිනෙන් දින බල ගැන්වෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිදහස්‌ දින සුබපැතුම් පණිවිඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

ජනාධිපතිවරයාගේ නිදහස්‌ දින සුබ පැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

බාහිර බලවේගයන්ට නොනැමී, රටත් ජාතියත් පිළිබඳව තීන්දු ගැනීමේ නිදහස ඉන් අප වෙත උදා වෙයි. එය ජාතිය අප හමුවේ තැබූ දැවැන්ත වගකීම බව මම දැඩිව විශ්වාස කරමි. උත්තරීතර නිදහස පියවරෙන් පියවර ජාතිය හමුවේ තහවුරු වනු දැකීම මහත් සතුටකි.

රට ලබන ජයග්‍රහණ ආරක්‍ෂා වන්නේ සාමය, සහජීවනය සේම මිත්‍රශීලීව විසීමේ අවකාශ සමාජයේ පුළුල් වූ විටය. ඒ සඳහා මේ දක්‌වා අවංකව කළ කැප කිරීම් ඉදිරියටත් ආරක්‍ෂා කළ යුතුව ඇත. අපේ ම වූ ක්‍රියාදාමයක්‌ ඔස්‌සේ ජාතික සමගිය සඳහා තීරණ ගැනීමට තවදුරටත් අපි පසුබට නොවෙමු. විවිධ වේශයෙන් රට දෙසට එල්ලවූ අභියෝග අප ජයගත්තේ ඉතා ඉවසීමෙන් යුතුව ය. ජාත්‍යන්තරය සමඟ මිත්‍රශීලීව කටයුතු කරමින් ඵලදායී ආර්ථික, දේශපාලන, ආරක්‍ෂක, වෙළෙඳ හා සංස්‌කෘතික සබඳතා ගොඩනගා තිබේ. පෙරටත් වඩා විචාරශීලීව, බුද්ධිමත්ව හා මාතෘ භූමියට ආදරයෙන් ක්‍රියා කරමින් මේ සියලු දැ අප රැක ගත යුතුය.

එසේම අගනාකම් සරු කරමින් රට පෙරට ගත යුතු වන්නේ ය. නිදහස්‌ සාමකාමී පරිසරයක සමෘද්ධිමත් ජීවිතයක්‌ අපට උදාවන්නේ එවිට ය.

උත්තරීතර නිදහස වෙනුවෙන් ජාතිය මුහුණ දුන් සියලු අභියෝග ජය ගැනීමට අතීතයේ සිට මේ දක්‌වා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු දැ හිතකාමීන්ට ජාතියේ ගෞරවයත් උපහාරයත් පුද කළ යුතුය.