සිරියාව : ෂෙල් ප්‍රහාරයෙන් බටහිර මාධ්‍යවේදීන් දෙදෙනෙකු මරුට


l කිෂානි වැලිවිටිගොඩ

අද දින (22) සිරියාවේ හෝම්ස් නගරයේදී රජයේ හමුදා විසින් විරුද්ධ පාක්ෂිකයින් වෙත එල්ල කරන ලද ෂෙල් ප්‍රහාර වලින් යුධ පුවත් වාර්තාකරණයේ දී සිටි බටහිර මාධ්‍යවේදීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි.

 "ද සන්ඩේ ටයිම්ස් ඔෆ් ලන්ඩන්" පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ මාරි කොල්වින් මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇති අතර සිරියාවේ පවතින යුධ වාතාවරණය යටතේ දුෂ්කර කටයුත්තක නියැලී සිටි එකම බ්‍රිතාන්‍ය පුවත්පත් මාධ්‍යවේදිනිය ලෙස ඇය වාර්තාකරණයේ යෙදී තිබේ. පසුගිය වර්ෂයේ ලිබියාවේ පැවති සිවිල් යුද්ධය පිළිබඳව පුවත් වාර්තාකරණය ද සිදු කර ඇත්තේ මාරි කොල්වින් විසිනි. සිරියාවේ පවතින යුධ වාතාවරණය ආවරණය කිරීමට ලැබිම බෙහෙවින්ම බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වූ අවස්ථාවක් ලෙස සැලකේ. ඇය ජීවිතක්ෂයට පත් වීමට පෙර රාත්‍රියේදී යුධ බිමේ සිදුවන දරුණුතම ප්‍රහාර පිළිබඳව තොරතුරු ගුවන් තරංග ඔස්සේ සී. එන්. එන් මාධ්‍ය වෙතට ලබා දී තිබේ.

මේ අතරම 28 හැවිරිදි වියේ පසු වූ රෙමි ඔක්ලික් නමැති මාධ්‍යවේදියා ද සිරියාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් ජිවිතක්ෂයට පත් වී තිබෙන බව ප්‍රංශ විදේශ ඇමති අලෙයින් ජුප්පේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.