කුඩු මර්වින්ගේ සිරුර තිඹිරිගස්යායේ දැවෙයි

Courtesy: Gossip Lanka

( February 14, Colombo, Sri Lanka Guardian) මේ මොහොත වන විට තිඹිරිගස්යාය ප්‍රදේශයේ මළසිරුරක් දැවෙමින් පවතින බව වාර්තා වෙනවා’ තිඹිරිගස්යාය පාරේ පිහිටි බොතේජු මාවතේ මෙම මළසිරුර දැවෙමින් පවතින බව වාර්තා වේ. මෙසේ දැවෙන්නේ ඊයේ දිනයේ අළුත්කඩේ උසාවිය අසලදී පැහැරගත් බව කියන "කුඩු මර්වින්" නොහොත් නෙතියස් චන්ද්‍රපාල නැමැත්තාගේ මළසිරුර බව පැවසෙන අතර මේ වන විට එම ස්ථානයට පොලිස් විශේෂකාර්ය බලකායේ විශේෂ ආරක්ෂාව සපයා ඇති බවද වාර්තා වේ. ප්‍රදේශවාසී ජනතාව විශාල වශයෙන් ඒ අවට රැස්වෙමින් සිටින බවත් කියැවේ.

මෙරට සිටි ප්‍රධානම මත්කුඩු ජාවාරම්කරුවකු වූ බව කියන මිතියෙස් චන්ද්‍රපාලන් නොහොත් පෑලියගොඩ කුඩු මර්වින් නමැත්තා ඊයේ (13 වැනිදා) දහවල් කොළඹ අලුත්කඩේ අධිකරණය ආසන්නයේදී නාඳුනන සන්නද්ධ පාතාල කල්ලියක් විසින් පැහැරගෙන ගොස් තිබුනි. මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි මොහු ඊයේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර නිලධාරින් භාරයේ ගෙනවිත් මහාධිකරණයට ඉදිරිපත් කර යළි රැගෙන යැමට සූදානමින් සිටියදී මෙසේ පැහැර ගැනීමට ලක්ව තිබුණි.

ඉන්දියාවේ සිට කෙළින්ම මෙරටට මත්කුඩු ආනයනය කරනු ලබන කුඩු මර්වින් එසේ එක්වරකදී ආනයනය කරනු ලබන මත් කුඩු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 75 -100 අතර වන බවද පොලිස් වාර්තාවල සඳහන්ව තිබූ අතර ඉකුත් කාලයේ එල්ටීටීඊය සමගද සබඳතා පවත්වමින් පෑලියගොඩ සහ දෙමටගොඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන මත්කුඩු ජාවාරම කරගෙන ගිය බවද වාර්තා වුණි.

නාටාමිවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී මත්කුඩු ජාවාරමට සම්බන්ධවී මත් කුඩු ග්‍රෑම් 950 ක් සමග මීට බොහෝ කලකට පෙර ප්‍රථම වතාවට වැල්ලම්පිටිය පොලිසියට කොටුවූ කුඩු මර්වින් ඉන් කලකට පසු මත්කුඩු කිලෝ ග්‍රෑම් 13 ක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටියේය.