"යුක්තිය" සයිබර්ගත වෙයි.

( 01,02.2012 | lankaguardian.com ) අප ගෙවමින් සිටින්නේ ඉතිහාසයේ අඳුරුතුම යුගයකි. සෑම අස්සක් මුල්ලක් නෑරම අයුක්තියේ අඩුදඬු විහිදවූ යුගයකි. ඒ නිසාම දෑස් විවරකොට මනා සිහියෙන් තම ජීවිතය දෙසද අන්ජීවිත දෙසට යථාවාදී බැල්මක් හෙලිය යුතු සමයකි. නමුත් සියල්ලෝ සිටින්නේ ස්ව්‍යං වින්දනාත්මක නිද්‍රාවක ගිලීය. මේ ස්ව්‍යංවින්දනයේ අවසානය නැතිනම් ඔබගේ නිද්‍රාව ඔබ අවට සැරිසරන ගැහැණුන් සහ මිනිසුන්ගේ මරණීය හෝරාව කරනු ඇත. ඔබට අනන්‍ය වූ මතවාදයන් තියෙන්නට පුළුවන. නමුත් ඒ සියලු මතවාදයන් දැරිය හැකි යුක්තිගරුක සමාජයක් අපට උවමනාය.

ඒ නිසාම සැමට යුක්තිය ලැබෙන දිනය අපගේ සතුටේ වඩාත් උත්කර්ෂවත් දිනයක් වනු ඇත. යුක්තිය සයිබර් අවකාශ ගතවන්නේ යුක්තිය වසා ගෙන පැතිර සිටින සියලු දෑ වෙතින් යුක්තිය මුදාගනු වස්ය. වඩාත් සරලව කියන්නේනම්, මේ නිශ්චිත නිමේෂය තුළ යුක්තිය පොඩිපට්ටම් කරමින් ඒ මත පිනුම් ගසනා සියල්ලේ නිරුවත ඔබට නිරාවරණය කිරීම වෙනුවෙනි. එය අභියෝගත්මක බවද මරණීය බවද අප සක්සුදක් සේ දන්නෙමු. නමුත් ඉතිහාසයේ සෑම අඳුරු යුගයකම අවසන සටහන් කර ඇත්තේ යුක්තිය උදෙසා පෙළගැසුනු නොපසුබට උත්සාහය සහ අපරිමිත ධෛර්යයෙන් යුතු මිනිසුන්ගේ දෑතිනි. එවන් මිනිසුන් අප වටා අප රකිනා පවුරක් වෙතැයි අප විශ්වාස කරන්නෙමු.

2011 වසරේ ආරම්භයද අවසානයද අපගේ දෑස් අග කඳුලකින් සහ ළය බර සුසුමකින් සිනිටුහන් කර තබන්නට තරම් පාලකයෝ අයුක්තියේ පාර්ශවකරුවන් වූහ. ඉදිරියේ යුක්තිය, සාධාරණත්වය, මානව හිමකම් වෙනුවෙන් මෙන්ම මගේ අසල්වැසියාගේ, මාගේ සහෝදරයාගේ සුසුමට, පීඩාවට සංවේදීවීම පාලකයන් නිශ්චිත ලෙස තීරණය කර ඇත්තේ තමන්ගේ බලයට අභියෝගයක් ලෙසය. ඒ නිසාම ඔවුහු 2011 ලබන්නට හෝරා කීපයක් තිබියදී යාපනය වඩමාරච්චි තැපැල්හලේ සේවකයකු වූ කෙතීෂ්වරන් තේවරාජා සහෝදරයා අයුක්ති එරෙහිව කළ සටන නිසා ඝාතනය කළ අතර 2011 ට පාලකයන් සමුදෙන්නේ කිලිනොච්චිය පුනගරි ප්‍රදේශයේ තරුණයකුගේ ජීවිතය උදුරා ගනිමිනි. ඒ ලෙසම මානව හිමිකම් දිනයේදීද ජන අරගල ව්‍යා‍පාරයේ ලලිත් සහ කූගන් සහෝදරයින් දෙදෙනා පැහැරගනු ලැබූහ. වසර පුරාම තමන්ගේ මතවාදය විරුද්ධව සියලු දෑ ඔවුහු කොන්දේසි විරහිත ලෙස උතුරේ දී විනාශකළ ලෙසම දකුණේදීද එකම ආකාරයෙන් ක්‍රියාත්මක වූහ.

2012 නව වසරක් වූවද මෙවසර ඇරඹෙන්නේද ඉතිහාසය පුරාම යුක්තිය ඉල්ලා දෙසවනේ ගිගුම් දෙන විලාපයන්ගේ හඩ සමඟිනි. ඒ නිසාම ඒ විලාපයන්ට ඔබේ දෙසවන සංවේදී නොවෙමින් ගැලී සිටන නිද්‍රාවෙන් මිදී දෑස් හැර අවදිවියුතු බව ඔබට දැන්වත් පසක් විය යුතුය.තවදුටත් ඔබට ඔබේ අනෙකාගේ අසාධාරණය දැක දැක නිහඩව සිටිය නොහැකිය. මන්ද ඔවුන් ඔබ සොයාද පැමිණෙන්නට නියමිත බැවිනි. උතුරේ භූමිය ලෙයින් රතුවෙද්ධී ජයඝෝෂා නෑගූ දකුණට දැන් වාරය පැමීණ ඇත. ඔබේ දරුවා, සැමියා, පෙමිවතා යහතින් ගෙදර පැමිණෙතැයි ද ගෙදර පැමිණි පසුද ඔහු සුරක්ෂිතැයිද ඔබට විශ්වාස තැබිය හැකිද?? පසුගිය වසරදෙකතුල කොළඹ නගරයේ පමණක් සුවිසල් පිරිසක් අතුරුදහන් වූහ. උතුරේදී අතුරුදහන් කරන ලද ප්‍රමාණය කෙතරම්දැයි නිශ්චිත සංඛ්‍යා ලේඛණ පවා නොමැත. ඉඳින් මෙවැනි අඳුරු වටපිටාවක ඔබ සුරක්ෂිතයැයි ද ඔබේ අයිතීන් සුරක්ෂිත යැයිද ඔබට සහතිකද?? මෙතෙක් සිදුවූ අතුරුදහන් සම්බන්ධයෙන් කිසිවකු නීතිය ඉදියට පමුණවා නොමැති බව ඔබ දන්නවාද?? ඉතින් ඔබගේ අයිතීන් සුරක්ෂිතද ඔබට යුක්තිය ඉටුවෙතැයි ඔබට විශ්වාසද?

අප අවට සිදුවන සියල්ල සිදුවන්නේ ඔවුන්ගේ දේශපාලන බලය පදනම් වු කේන්ද්‍රයක් මත පිහිටා නිසාම එම ව්‍යා‍පෘතිය තුළ ඔබගේ අයීතින් අදාළ නැත. කොටින්ම ඔබ අදාළ නැත. ඔවුන්ට අදාළ එකම දෙය කෙසේ හෝ බලය රඳාපවත්වා ගැනීම පමණි.මේ නිසාම ඔබගේ අයිතිය වෙනුවෙන් ඔබ පෙනීසිටිය යුතු තීරණාත්මක කඩඉමක් වෙත පැමිණ සිටිමු. ඔබගේ දෑත් නිදිගැට කඩා අවදිව තමන්ගේ අයිතිය වෙනුවෙන් වඩා සවිමත්ව එසවිය යුතුමය. අප සියල්ලේ දෑත් එකට බැඳෙන දිනයක යුක්තිය වෙනුනේ අපට වඩාත් ජවයෙන් නැගී සිටිය හැකිය. පාට පක්ෂ බෙදුම් රේඛා අහෝසිකරමින් සියලු ජනතාවගේ අයිතිය උදෙසා පෙළ ගැසීම මේ නිශ්චිත නිමේෂයේ ලාංකීය සමාජයට අවශ්‍ය ඇත. විශේෂයෙන් උතුරේ මිනිසුන්ගේ දුක කඳුළ සමඟ දැන්වත් ඒකාත්මිකව වඩාත් ජවයකින් ඔවුන්ගේ යුක්තිය දිනාගැනීම උදෙසා දකුණ පෙළගැසිය යුතුය. අතීතයේ සිදුවූ සියල්ල හුදු අතීතයන් නොව අවම ලෙස පාඩම් ඉගෙනගත් අතීතයක් විය යුතුය.

හෙට දිනය මේ අඳුරු පරිඡේදයෙන් මුදවා වඩාත් සුබ දිනයක්, සැමට යුක්තිය ඉටුවන දිනයක් වන්නට අප වඩා ළෙංගතුව සහ වඩා අවංකව අපගේ දෑත් ශක්තිමත්ව පටලා ගත යුතුය. අපේ ඒ ශක්තිමත් බැදීම තවත් දෑස් දහසකට නව බලාපොරොත්තුවක් වනවා නිසැකය. ඒ නිසාම ඔබට තව දුරටත් නිඳා සිටිය නොහැක.

www.yukthiya.com