පාකිස්තානය: විදේශ සහන සේවකයින් දෙදෙනෙක් පැහැර ගැනේ.


l කිෂානි වැලිවිටිගොඩ

පාකිස්තානයේ පන්ජාබ් පළාතේ මුල්තාන් දිස්ත්‍රික්කයේදී නන්නාදුනන අවි සන්නද්ධ කණ්ඩායමක් විසින් විදේශ සහන සේවකයින් දෙදෙනෙක් පැහැර ගෙන ගොස් ඇති බවට එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයෙකු වන අමීර් සර්ෆිකර් ඊයේ විදෙස් පුවත් එජෙන්සි වලට ප්‍රකාශ කර සිටියේය. ඔහු තව දුරටත් කියා සිටියේ මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් වැඩි දුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරන බවය.

ඉතාලි ජාතිකයෙකු සහ ජර්මන් ජාතිකයෙකු මෙසේ පැහැර ගැනීමට ලක් වී ඇති විදේශ ජාතික සහන සේවකයින්දෙදෙනෙකු ලෙස හඳුනා ගෙන ඇත. රාජ්‍ය නොවන සංවිධානයකට සේවය කල මොවුන් 2010 පැවති ගංවතුරෙන් අවතැන් වුවන් හට සහන සැලසීමට බෙහෙවින් තම දායකත්වය දැක්වුවන් වෙති.

මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් තවමත් කිසිම කණ්ඩායමක් විසින් වගකීම භාර ගෙන නොමැති බව වාර්තා වේ. අවියෙන් සන්නද්ධ පිරිස් සහ අපරාධ කල්ලි විසින් මෙසේ සිදු කරන පැහැර ගැනීම් පාකිස්තානයේ බලුකිස්තානය වැනි ප්‍රදේශ වල සුලබව දක්නට ලැබේ.