රුමේනියාව : රාජ්‍ය විරෝධී රැලියකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

l කිෂානි වැලිවිටිගොඩ 

පිරිවැය කප්පාදු කිරීම සම්බන්ධයෙන් රුමේනියානු රජයට එරෙහිව රුමේනියාවේ අගනුවර වන බුචාරෙස්ට් හි පැවැත්වූ උද්ඝෝෂණ රැලියකට සහභාගී වූ උද්ඝෝෂණ කරුවන් වෙත පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව විදෙස් පුවත් මාධ්‍ය වලින් වාර්තා වේ. උද්ඝෝෂණය පැවැත්වෙන අවස්ථාවේදී උද්ඝෝෂණ කරුවන් විසින් පොලිසිය වෙත ගඩොල් කැට සහ බෝතල් වලින් ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 50 දෙනෙකු පසුගිය බ්‍රහස්පතින්දා (19) අත්අඩංගුවට ගනු ලැබිය.


උද්ඝෝෂණය පැවැත් වූ දින තම පන්ති වල වැඩ කටයුතු අතහැර දමා පැමිණි තරුණ සිසුන් ඇතුළු දස දහස් ගණනින් උද්ඝෝෂණ රැලියට සහභාගී වූ උද්ඝෝෂණ කරුවන් පවතින රජයට ඉල්ලා අස් වන වෙන ලෙසට ඉල්ලීම් කළේය. පොලිසිය ප්‍රකාශ කරන අන්දමට මෙම උද්ඝෝෂණ රැලියට පුද්ගලයන් 7,000 ක් පමණ සහභාගී වී ඇති බවයි. කෙසේ වෙතත් උද්ඝෝෂණය සංවිධානය කළ පුද්ගලයින් සඳහන් කරන්නේ මෙම රැලියට ඇති විශාල ජනතා සභාගිත්වයක් නියෝජනය වූ බවයි. මහජන වේතන 25% කින් කපා හැර බදු ගාස්තු වැඩිකරමින් ආර්ථික අර්බුධය අඩු කිරීමට දරුණු ක්‍රියා මාර්ග අනුගමනය කිරීම සම්බන්ධයෙන් ජනතාව විසින් එරට රජයට තම අප්‍රසාදය පළ කරමින් උද්ඝෝෂණයේ නියැලුණු බවට වාර්තා වේ.