සරත් ෆොන්සේකා නිදහස් කළ යුතුයි – විමල් වීරවංශ

සිරගත දඬුවම් විදින හිටපු හමාදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කල යුතු බව ඉදිකිරීම්, ඉංජිනේරුසේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ පවසයි. ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ අද දින ලංකාදීප පුවත්පත හා සම්මුඛ සාකච්චාවකට එක්වෙමිනි.

‘සරත් ෆොන්සේකා පසුගිය ජනාධිපතිවරණයෙන් දිනුවනම් පළමුවන පැය 24 ඇතුලත ඝාතනය කරන පුද්ගලයන්ගේ ලයිස්තුවේ මමත් ඉන්නවා. ඒ කතාව මොකක් වුනත් මගේ විශ්වාසය තමයි ජනාධිපතිතුමා මේ පුද්ගලයාට සමාව දීලා එයාව නිදහස් කරන්න ඕනෑ කියන එක. ඒක මම කියන්නේ සරත් ෆොන්සේකාට තියෙන ආදරේට නෙමෙයි. සරත් ෆොන්සේකා නිදහස් කරන්න කිය කියා කෑ ගහන අයම තමයි එයා ඇතුලේ ඉන්නවට වැඩියෙන්ම කැමති. ඔය බොරුවට කියන්නේ නිදහස් කරන්න කියලා. ඒ නෝනට ඔච්චර උවමනාවක් තියනවානම් ස්වාමිපුරුෂයා එකඟ නැතිව හරි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්නේ. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ජනාධිපති සමාව ලැබෙන්නේ එහෙම ඉල්ලීම් කරපු අයට විතරද කියලා. ඔව්. ඒක ඇත්ත. ඔය හැම හිරකාරයම කැමතියි නිදහස් වෙන්න. ඒ වගේම ඔවුන්ගේ පවුල්වල ඥාතීන් ජනාධිපතිතුමාට ලියුම් ලියනවා නිදහස් කරන්න කියලා. එත් මේ නෝනා එහෙම ඉල්ලන්නේ නැත්තේ ඇයි. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට තවත් හතුරෙක් නිර්මාණය වෙනවා. ටිරාන් අලස් මහත්තයයි එයයි අතර ජනාධිපතිවරණ කාලෙ හම්බ වෙච්චි සල්ලිවලට මොකද වුනේ කියල ප‍්‍රශ්න ඇති කර ගන්නවා. ජවිපෙත් එක්ක කොහොම හරි කොක්ක දාගන්නවා. මේ ඔක්කොම වෙන්න නම් සරත් ෆොන්සේකා නිදහස් වෙන්න ඕනෑ. එයා ඇතුලේ ඉන්නකම් අර කිසි දෙයක් වෙන්නෙ නෑ. ඉතින් නිදහස් කිරීම තමයි මෙතන තියෙන හොඳම උත්තරය’, යයි එහිදී වීරවංශ ප්‍රකාශ කොට ඇත.