නයිජීරියාව : අන්තවාදී බොකෝ හරාම් කණ්ඩායම කානෝ නගරය කළඹයි.


l කිෂානි වැලිවිටිගොඩ 

උතුරු නයිජීරියාවේ කානෝ නගරයේ පිහිටි පොලිස් ස්ථාන අටක්, පොලිස් මුලස්ථාන සහ ආගමන කාර්යාල ඉලක්ක කරගනිමින් ඉස්ලාමිය අන්තවාදී කණ්ඩායමක් වන බොකෝ හරාම් බෝම්බ ප්‍රහාර රැසක් දියත් කිරීම හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. පොලිසිය සඳහන් කරන අන්දමට ඊයේ දින( 20) කානෝ නුවර බෝම්බ පිපුරුම් 20 කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බවයි. එසේම වෙඩි තැබීම් ද වාර්තා වේ. මෙම සිදු වීම් සමග කානෝ නුවර ඇති වූ නොසන්සුන්තාවය හේතු කොටගෙන පැය 24 ක කාලයකට ඇඳිරි නීතිය පනවන ලදී. 


මෙම සිදු වීමෙන් මිය ගිය සංඛ්‍යාව තවමත් ගණන් බලා නැති අතර 24 කට ආසන්න සංඛ්‍යාවක් මිය යන්නට ඇතැයි සැලකේ. ඇසින් දුටු සාක්ෂි කරුවෙකු විදෙස් පුවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමා විසින් මිය ගිය පුද්ගලයන් 5 දෙනෙකුගේ මළසිරුරු දුටු අතර ඉන් 5 දෙනෙකු ආගමන නිලධාරීන්ගේ වන අතර අනෙක් මළසිරුරු සිවිල් වැසියන්ගේ වන බවයි. මෙසේ එල්ල කළ බෝම්බ ප්‍රහාර මාලාවේ වගකීම බොකෝ හරාම් කණ්ඩායම විසින් භාරගෙන තිබේ. බොකෝ හරාම් කණ්ඩායම විසින් මෙසේ බෝම්බ ප්‍රහාර දියත් කිරීමට හේතුව වී ඇත්තේ දැනට අත්අඩංගුවට ගෙන ඇති බොකෝ හරාම් කණ්ඩායමේ සාමාජිකයන් නිදහස් කරන ලෙස සිදු කළ ඉල්ලීම නයිජීරියාවේ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළ නිසා බව වාර්තා වේ.

2011 දෙසැම්බර් මාසයේදී ද අබුජා නගරයට  ආසන්නයේ මෙලෙස බෝම්බ පිපිරීම් රැසක් සිදු වුනු අතර ද එම ප්‍රහාර වල වගකීමද බොකෝ හරාම් කණ්ඩායම විසින් භාර ගත් අතර එම සිද්ධියෙන් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.