ඉරානයට තවත් න්‍යෂ්ටික විද්‍යාඥයෙකු අහිමි වෙයි.


l කිෂානි වැලිවිටිගොඩ 

න්‍යෂ්ටික විද්‍යාඥයෙකු වන මුස්ටාෆා අහමදි රොෂාන්ගේ මෝටර් රථයට ඊයේ(11) උදෑසන නන්නාදුනන යතුරුපැදිකරුවෙකු විසින් කාන්දමකින් සවි කරන ලද බෝම්බයක් අල්ලමෙහ් ටැබටෙයි විශ්ව විද්‍යාලය අසලදී පිපිරී යාම හේතුවෙන් න්‍යෂ්ටික විද්‍යාඥ මුස්ටාෆා අහමදි එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත් විය.

අහමදි රොෂාන්, ශාරිෆ් විශ්ව විද්‍යාලයේ තාක්ෂණික රාසයනික ඉංජිනේරු උපාධිධරයෙක් වන අතරම ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික සේවා අංශයේ නියෝජ්‍ය වෙළඳ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද සේවය කර තිබේ. එම සිද්ධියෙන් තුවාල ලැබූ ඔහුගේ රියදුරු රෝහලට ඇතුලත් කොට පැය කිහිපයක් තුලදී ජීවිතක්ෂයට පත් වී ඇත.

මහාචාර්ය සේයියඩ් මොහොමඩ් මරන්දි විදෙස් පුවත් එජෙන්සි සමග සම්මුඛ සාකච්චාවකට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ අන්තර් ජාතික පරමාණුක බල ශක්ති අධිකාරි නිළධාරීන් අහමදි රොෂාන්ව මුණ ගැසී ඇති බවයි. එලෙසම කලකට ඉහතදී බොහොමයක් ඉරානයේ බුද්ධි අංශය පිලිබඳ තොරතුරු අනෙකුත් බුද්ධි අංශ වලට මෙන්ම ත්‍රස්තවාදී සංවිධාන වෙත අන්තර්ජාතික පරමාණුක බල ශක්ති අධිකාරිය විසින් ලබා දි ඇති බවට මරන්දි තව දුරටත් ප්‍රකාශ කර සිටියේය. මෙසේ ත්‍රස්තවාදී ප්‍රහාර වලට ලක් වූ ඉරාන විද්‍යාඥන්ගේ නම් අන්තර්ජාතික පරමාණුක බල ශක්ති අධිකාරිය විසින් තුන වෙනි පාර්ශවය වෙත ලබා දි ඇති බවට වාර්තා වේ.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ වූ දැනට මියගොස් ඇති අවසාන න්‍යෂ්ටික විද්‍යාඥයා වන්නේ අහමදි රොෂාන් ය.

මෙම මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ ඇමෙරිකාවට සහ ඊශ්රාලය යන  රටවලටය.