කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ උප කුලපති පදවිය

| අමිල ගුණරත්න

රජයේ සරසවිවල සියලු උපාධි පාඨමාලා කොතලාවල ආරක්‍ෂක සරසවිය මගින් ඇරඹීමට යන බව රජය නිවේදනය කරයි. මේ අනුව ප්‍රථම උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා වන සියලු උපාධි පාඨමාලා සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පැවැත්වෙනු ඇත. ඉංජිනේරු, වෛද්‍ය, නීති, ගුවන් ඉංජිනේරු, ගුවන් නියමු, මුහුදු ඉංජිනේරු, කළමනාකරණ, මානව සම්පත්, තොරතුරු තාක්‍ෂණය ඇතුළු උපාධි පාඨමාලා රැසක් සඳහා අයදුම්පත් කැඳවීමට ක්‍රියා කරන බව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පවසයි. සියලු පාඨමාලා පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. එසේම පෞද්ගලික සිසුන්ට කැමති නම් මුදල් ගෙවා හමුදා පුහුණුව ලබා ගත හැකි බවද සදහන්වේ. මෙම විශ්ව විද්‍යාලයේ වසර පුරා දේශන පැවත්වෙන බවත් නවක වදය, උද්ඝෝෂණ ආදිය මෙම විශ්වවිද්‍යාලයේ නැති බව පරිපාලකයෝ පවසති.

දැනට අබලන්වී සහ පුරන්වී යන දේශීය විශ්වවිද්‍යාල වෙනුවට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය හොඳ ආරම්භයකි. සිසුන් සහ ආචාර්ය මණ්ඩල එක්ව හවුලේ මරණය කරා ගෙන යන දේශීය විශ්ව විද්‍යාල පද්දතිය අභාවයට ගිය පසු ඒ අළු මතින් නැගී සිටින්නේ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල සහ පුද්ගලික විශ්ව විද්‍යාලය වන බව අනාවැකි පැවසීමට දැන් සාස්තරකරුවන් උවමනා නැත. එවැනි නව විශ්ව විද්‍යාල ආරම්භ වූ පසු බදු ගෙවන ජනයාගේ මුදල් මතින් පිනට ඉගෙන ගන්නා ගමන් ගොන් පාට් දැමීමට සිසුන්ට හැකි වන්නේ නැත. ඒ බව මෙම විශ්ව විද්‍යාල පරිපාලකයෝ මුල සිටම අනතුරු අඟවා සිටිති.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ගැන අපට කිසිදු ප්‍රශ්නයක් නොමැත. නමුත් එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මේජර් ජනරාල් එම්. පී. පීරිස් මහතාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන නම් අපට යමක් නොකියාම බැරිය. විශ්වවිද්‍යාලයක උප කුලපතිවරයෙකුට පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ තිබිය යුතුය. මේජර් ජනරාල් එම්. පී. පීරිස් මහතා යන්තම් උසස් පෙළ සමතෙකි. ඒ මහතාට පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් නොමැත. පීරිස් මහතා ලෝකයේ නොයෙකුත් හමුදා පාඨමාලා හදාරා එම පාඨමාලා සමත්ව තිබිය හැක . නමුත් විශ්ව විද්‍යාලයක උප කුලපති වරයෙකු වීමට එය ප්‍රමාණවත් නොවේ. මේ නිසා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වලංගුතාව පිළිබඳව විවේචකයන්ට නොයෙකුත් ප්‍රශ්න නැගිය හැකිය. එසේම ලංකාවේ අඩුම අධ්‍යාපන සුදුසුකම ඇති උපකුලපතිවරයා මේජර් ජනරාල් එම්. පී. පීරිස් මහතා විය හැක. එම නිසා ඉදිරි කාලයේ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වැනි අධ්‍යාපන පීඨ වලට පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන අවධානය යොමු කල යුතුය. නැතහොත් විශ්ව විද්‍යාල ප්‍රජාව අතර උසස් අධ්‍යාපනයක් නොමැති තරු පමණක් උරපතු වල ඇති නිලධාරීන් විවිධ අපහසුතා වලට පත් වීම නොවැලැක්විය හැකිය.