මැදපෙරදිග ගැටුම් උග්‍රවේ : ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් 73 ක් මරුට

සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් විශාල පිරිසක් මරුට

පසුගිය දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු හමුදාව ඉරාකයෙන් ඉවත්වීමත් සමඟ එරට ගැටුම් තව තවත් උග්‍ර වී ඇති අතර එහිදී ෂියා මුස්ලිම් භක්තිකයින් ඉලක්ක කරමින් ඊයේ දින සිට බෝම්බ ප්‍රහාර එල්ල විය. ඊයේ උදෑසන බැග්ඩෑඩ් නගරයේ එල්ල වූ බෝම්බ ප්‍රහාර වලින් ෂියා මුස්ලිම් භක්තිකයින් 29 දෙනෙකු ඝාතනයට ලක් වූ අතර ඉන් පැය කිහිපයකට පෙර ෂියා මුස්ලිම් භක්තිකයින් රැගෙන ගිය බස් රථ පෙළකට එල්ල වූ මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් 44 දෙනෙකු මරුමුවට පත් වී තවත් 88 දෙනෙකු තුවාල වූහ. එම ප්‍රහාරය එල්ල වූයේ කබාලා නුවරය.

මේ අතර සිරියාවේ දමස්කස් නුවර මීට ස්වල්ප වෙලාවකට ( ජනවාරි 06 ) පෙර පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් රාශියක් මිය ගිය බව එරට රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශ කළේය. මාර්ග තදබදය තදින් පවතී අවස්ථාවක අදාළ බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ අල් - හකීම් මුලික අධ්‍යාපන පාසල ආසන්නයේය. මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව ඉන් සිවිල් වැසියන් 10 දෙනෙකු මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.