නොවිසඳුණු නඩු 650000 ක්

| ධනුෂ්ක ගොඩකුඹුර සහ චමීර ඇල්ලදෙණිය

වටිනාකම රුපියල් මිලියන 10 නොඉක්මවන නඩු අධිකරණ සමථකරණයට යොමු කළ හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.නඩු කටයුතු පමාවීම මෙන්ම නොවිසඳුණු නඩු නිසා සාමාන්‍ය ජනතාවට විඳීමට සිදු වන ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2012 අය වැය ඉදිරිපත් කරමින් කළ යෝජනාවක් අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.

අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා මේ වෙනුවෙන් ඉදිරිපත් කළ ඇමැති මණ්ඩල සංදේශයකට අනුමැතිය හිමිව ඇති අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පනත දැනටමත් කෙටුම්පත් කර අවසන්ව තිබේ. මේ පනතට අනුව සමථකරණ ක්‍රියාවලිය හා පූර්ව නඩු විභාගය සඳහා අධිකරණ පද්ධතිය තුළ සමථකරණ ප්‍රධානීන් පත් කිරීමට නියමිතය. නඩු කටයුත්තකට අදාළ අධිකරණ නියෝග නොතීසි ඇතුළු වෙනත් අධිකරණ තොරතුරු පාර්ශ්වයන් වෙත සෘජුව භාරදීම වෙනුවට ඔවුන් නියෝජනය කරන නීතිඥවරුන්ට හෝ අදාළ පුද්ගලයන්ගේ විද්‍යුත් ලිපින වෙත යොමු කිරීමට හැකි වන පරිදි විධි විධාන සලසා ඇත.

නොවිසඳුණු නඩු 650000 ක් පමණ අධිකරණයේ ගොඩ ගැසී ඇති අතර නව පනතේ ප්‍රධාන අරමුණ වනුයේ නඩු නිමිත්තක් ඇති ආරවුලක් නැවත නැවත හට ගැනීම් වැළැක්වීම අරඹයා පාර්ශ්වකරුවන් අතර දුක් ගැනවිල්ලේ සැබෑ හේතුව ඔවුන්ගේ කැමැත්ත පරිදි අවසන් කිරීම වේ.

( Courtesy: Dinamina )