පාකිස්ථානය: ජනාධිපතිවරයා ඉල්ලා අස්වූවා යයි කීම බොරුවක්




පාකිස්ථාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි ඩුබායි හී රෝහලක ප්‍රතිකාර ගැනීම සඳහා ඇතුලත් කිරීමෙන් පසු තම ධුරයෙන් ඉල්ලා අස් වූයේ යයි පල වූ අදහස් වල කිසිම සත්‍යතාවයක් නොමැති බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශක සඳහන් කළේය.

ජනාධිපතිවරයා හර්ද ආබාධයකට ලක් වීමෙන් පසු ඩුබායි හී පිහිටි රෝහලකට ඊයේ ඇතුලත් කරනු ලැබීය.

" ඔහු ඉල්ලා අස් වූ බවට පල කොට ඇති සියලුම වාර්තා කිසිම පදනමක් නැති අසත්‍ය ඒවා, " යයි ජනාධිපති ප්‍රකාශක බබාර් සඳහන් කළේය.

කෙසේ වෙතත් එරට පල වෙන ඇතැම් මාධ්‍ය සඳහන් කරනු ලැබුවේ හමුදාවෙන් එල්ල වන ප්‍රබල පීඩනය හමුවේ ජනාධිපතිවරයා බොරු ලෙඩක් මවාගෙන ඩුබායි වෙත ගොස් ඇත්තේ ඉල්ලා අස් වීම සඳහා හේතුවක් නිර්මාණය කර ගැනීමට බවය.