"පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය දෙසැම්බර් 31 ට පෙර පත්කරනවා"

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත මූලස්ථානයේ දී රැස් වු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ අද (07) පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍යය හමුවකදීය. ඒ මහතා එහිදී මෙසේද පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව නව නිලධාරීන් පත් කර ගැනීම සම්බන්ධයෙන් පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දීම ඉදිරි දින 10 ඇතුළත සිදු කරන බව එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දුන්නා. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයේ 2012 සඳහා වන නව නිලධාරී මණ්ඩලය දෙසැම්බර් මස 31 වැනිදාට ප්‍රථම පත් කර ගැනීමට නියමිත බව කිව යුතුයි.

එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව ඒ ඒ නිලධාරීන් තෝරා ගැනීමේ දී ප්‍රමුඛතාවය දිය යුතුව තිබෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පොදු එකඟතාව අනුව ඒ නිලධාරීන් තෝරා පත් කර ගැනීමටයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පොදු එකඟතාවයකින් යුතුව ඒ ඒ නිලධාරීන් තෝරා පත් කර ගැනීමට නොහැකි වුණොත් පමණක් එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාවේ 8.2 වගන්තිය අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ රහස් ඡන්දයකින් ඒ තෝරා පත් කර ගැනීම් සිදු කළ යුතුව තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින 10 ඇතුළත දී නැවත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැදවා එක්සත් ජාතික පක්‍ෂයේ ඒ ඒ නිලධාරීන් පත් කර ගැනීම මහ සමුළුව පැවැත්වීම සහ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

පළාත් පාලන ආයතන නියෝජනය කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නියෝජිතයින් 9 ක් පත් කළ යුතුව තිබෙන අතර ඒ නියෝජිතයින් පත් කිරීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක පද්ධතිය ද අනුමත කළ කෘත්‍යාධිකාරී මණ්ඩලය මහ නගර සභා නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු ද නගර සභා නියෝජනය කරමින් තවත් නියෝජිතයින් දෙදෙනකු ද සියලූම ප්‍රාදේශීය සභා නියෝජනය කරමින් නියෝජිතයින් පස් දෙනෙකු ද පත් කිරීමට තීන්දු කළා.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා හෝ කණ්ඩායම් නායකයා සෑම අවස්ථාවකදීම අනිවාර්යෙන් පත් විය යුතු බව අවධාරණය කළ කෘත්‍යාධිකාරී මණ්ඩලය පළාත් පාලන නියෝජිතයින් පත් කර ගැනීමට අදාළ නිර්දේශ ඒ ඒ දිස්ත්‍රික් කළමනාකරුවන් හරහා ලබා ගැනීමට තීරණය කළා. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කළ යුතු පළාත් පාලන නියෝජිතයින් පිළිබඳ නිර්දේශ මේ මස 10 වැනිදාට ප්‍රථම මහලේකම්වරයා ලෙස මට යොමු කළ යුතුව තිබෙන අතර, ඒ නිර්දේශ 12 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂයේ උපදේශක කමිටුවේදී අනුමත කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධිත වෘත්තීය සමිති සහ අනුබද්ධ ආයතන නියෝජනය කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කෙරෙන නියෝජිතයින්ට අදාළ නිර්ණායක ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී අනුමත කෙරුණා. පළාත් පාලන ආයතන නියෝජනය කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කෙරෙන නියෝජිතයින්ගෙන් දෙදෙනෙකු ද වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් එක් අයෙකු ද අනුබද්ධ ආයතන නියෝජනය කරමින් ඊට පත් කෙරෙන නියෝජිතයින්ගෙන් එක් අයෙකු ද කාන්තාවක් විය යුතු බව කෘත්‍යාධිකාරී මණ්ඩලය පෙන්වා දුන්නා.

ත්‍රිකුණාමලය, පුත්තලම, මාතලේ සහ වන්නි දිස්ත්‍රික් නියෝජනය කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කළ යුතු නියෝජිතයින් සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පක්‍ෂ උපදේශක මණ්ඩලයේ දී කරුණු සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගැනීමට තීරණය කෙරුණා. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්පූර්ණ වන අතර පක්‍ෂ ව්‍යවස්ථාවේ 8.1 සහ 8.2 යන වගන්ති යටතේ පත් කළ යුතු ඒ ඒ නිලධාරීන් පත් කෙරෙන්නේ මේ සම්පූර්ණ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙනුයි.

එක්සත් ජාතික පක්‍ෂයේ ඒ ඒ නිලධාරීන් සඳහා සුදුස්සන් තෝරා පත් කර ගැනීමට අදාළ නිවේදනය ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී නිකුත් කෙරුණාට පසුව ඉදිරි තත්ත්වයන් සම්බන්ධයෙන් අප සාකච්ඡා කිරීමට බලාපොරොතු වනවා.

කොළඹ හයිඩ් පිටියේ දී එක්සත් ජාතික පක්‍ෂය ප්‍රධාන දේශපාලන පක්‍ෂ සහ සංවිධාන ආණ්ඩුවට විරුද්ධව සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරය ගැන සමාලෝචනය කළ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ විරෝධතා ව්‍යාපාරයට ජනතාව සහභාගී කරවමින් සකී්‍රය ලෙස දායක නොවූ සියලූ පාර්ශ්වයන් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීමට ද තීන්දු කළා. ඒ සම්බන්ධ පුළුල් සහ සවිස්තර වාර්තාවක් ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දුන් කෘත්‍යාධිකාරී මණ්ඩලය උද්ඝෝෂණය සාර්ථක කර ගැනීමට සහය දුන් සියලූ පාර්ශ්වයන්ට සිය ආචාරය පුද කළා.

අය-වැය යෝජනාවලියට සහය පළ කරමින් රජයට එක් වූ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට පියවර ගත් කෘත්‍යාධිකාරී මණ්ඩලය ඔහු වෙනුවෙන් විනයානුකූල පියවර ගැනීම සඳහා ඔහුට එරෙහි විනය මණ්ඩලයට යොමු කළා.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ මානව හිමිකම් ආරක්‍ෂා කරන ලෙසට ඉල්ලමින් අත්සන් දස ලක්‍ෂයකින් යුතු මහජන පෙත්සමක් සියලූ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන සමග එකාබද්ධ සකස් කර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා වෙත ඉදිරිපත් කිරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව මේ මහජන පෙත්සම සඳහා අත්සන් ලබා ගැනීමේ කටයුතු සියලූ දේශපාලන පක්‍ෂ නායක මට්ටමෙන් කොළඹනගරාධිපති නිල නිවසේ දී නිල වශයෙන් අනිද්දා (10) උදේ 10.00 ට ආරම්භ කිරීමට ද තීරණය කෙරුණා.

ඊට පසුව මේ මහජන පෙත්සම රට පුරා පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, මැතිවරණ කොට්ඨාශ මට්ටමින් සහ ගම් මට්ටමින් අත්සන් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සරත් ෆොන්සේකාගේ මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට මැදිහත් වන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කෙරෙන මේ මහජන පෙත්සමේ වැඩ කටයුතු සම්බන්ධීකරණය එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහලේකම් මහචාර්ය ජයලත් ජයවර්ධන ඇතුළු කණ්ඩායමක් සිදු කරනවා.

මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට එරෙහිව විනය කමිටුව යම් යම් තීරණ මේ වන විට ගෙන තිබෙන නමුත් යම් ආකාරයකින් මේ සිදු වීම පිළිබඳව කිසියම් වූ පාර්ශ්වයකට පක්‍ෂයේ ව්‍යවස්ථාවට පක්‍ෂයට හානියක් නොවන පරිදි යම් එකඟතාවක් ඇති කර ගැනීමට හැකි නම් ඒ ක්‍රියා මාර්ග ගැනීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසර ලබා දුන්නා.

එහිදී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඊට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය : එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයට තමා ඉදිරිපත් වන බව කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද (07) නිල වශයෙන් දැනුම් දෙන බව නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ජනමාධ්‍ය ඔස්සේ කර තිබූ ප්‍රකාශ අනුව එවැනි දැනුම් දීමක් සිදු වුණා ද?

පිළිතුර : කරු ජයසූරිය මහතා හෝ කිසිදු අයෙකු එක්සත් ජාතික පක්‍ෂයේ ඒ ඒ නිලතල සඳහා ඉදිරිපත් වන බවට කෘත්‍යාධිකාරී මණ්ඩලයට කිසිදු නිල දැනුම් දීමක් කළේ නැහැ. කෙසේ නමුත් කරු ජයසූරිය මහතා අද (07) උදේ එතුමා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් මා වෙත ලිපියක් යොමු කරමින් කියා තිබුණේ නායකත්ව තරඟයට එතුමා ඉදිරිපත් වන බවයි.

ප්‍රශ්නය : ඔබට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් කළ ලිපිය නිල ලිපියක් ද?

පිළිතුර : ඒ ලිපිය නිල ලිපියක් වශයෙන් පිළිගැනීමට හැකියාවක් නැහැ. ඊට හේතුව එවැනි ලිපියක් හෝ දැනුම් දීමක් හෝ යෝජනාවක් කළ යුතුව තිබෙන්නේ ඒ ඒ තනතුරු සඳහා පුප්පාඩු පිරවීමේ නිවේදනය කෘත්‍යාධිකාරී මණ්ඩලය නිවේදනය කිරීමෙන් පසුවයි.