දේශපාලකයන්ට තේරෙන භාෂාවෙන් කතා කිරීම

| අමිල ගුණරත්න

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියෝ ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් මොරටුවේ ප්‍රේම් නිවහන වැටලීම සහ එහි ප්‍රධාන සොහොයුරිය අත්අඩංගුවට ගැනීම ගැන දෝෂාරෝපණය කොට එම නිවාසයේ ප්‍රධාන සොහොයුරිය නිදහස් නොකලේ නම් රාජ්‍ය නත්තල් උත්සවයට වර්ජනය කරන බවට කිවේය. මේ නිසා ආණ්ඩුව වෙනුවෙන් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සමාව ඉල්ලා සිටි අතර අධිකරණය මොරටුවේ ප්‍රේම් නිවාසයේ ප්‍රධාන සොහොයුරිය නිදහස් කළේය. මේ නිසා කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියෝ අරලිය ගහ මන්දිරයට දොඩ වැදී නත්තල් උත්සවයේ ආගමික වතාවත් ද පවත්වන ලදී.

කොටි සංවිධානය බලවත් ව සිටි කාලයේ සහ යුද්දය පැවැති වකවානුවේ කාදිනල් මැල්කම් රංජිත් සිටියේ මහින්ද රාජපක්ෂ ළඟ නොව ප්‍රභාකරන්ගේ ඔඩොක්කුවේය. ප්‍රභාකරන් දිගට හරහට නිරායුධ මිනිසුන් , ගැහැනුන් , ළමයින් මරණ විට මැල්කම් රංජිත් සිටියේ ප්‍රභාකරන් හරි මහින්ද රාජපක්ෂ වැරදි යන ස්ථාවරයේය. මැල්කම් රංජිත් කාදිනල්වරයා ප්‍රභාකරන්ගේ මරණය දක්වා බෙදුම්වාදයට සහාය දක්වමින් සිංහල බෞද්ධ විරෝධී පිළිවෙතක් අනුගමනය කළේය. වතිකානුවේදී කොටි සංවිධානයේ ධජයටද ආශිර්වාද පුජාවක් කළේය. මෑතකදී උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිසම හමුයේ සාක්ෂි දුන් මැල්කම් රංජිත් කාදිනල්තුමා උතුරු නැගෙණහිර පලාත් හි සිංහල ජනයා පදිංචි කිරීම භයානක ක‍්‍රියාවක් හැටියට බිෂොප්වරයා කොමිෂම හමුයේ ප‍්‍රකාශ කර සිටියේ ය. නමුත් දැන් මැල්කම් රන්ජිත් තරම් දේශප්‍රේමියෙකු අවට ගම හතකවත් නැත. මැල්කම් රංජිත් අපට සම කල හැක්කේ නට්සි ජර්මනියේ හිට්ලර් මිනී මරණ විට ඔහුට ආ වැඩු කුප්‍රකට ආච් බිෂොප් ඔර්සෙනිගෝ වැනි නරුම මිනිසෙකුටය. අප ආගම්වාදීන් නොවෙමු, හොර මුදල් මගඩි වැඩ හාමුදුරුවරු ගැනද නිර්භයව අප ලියා තිබේ. නමුත් කොටින්ට ආ වැඩුවත් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියන් ගැන අපට යම් ගරුත්වයක් ඇත. මහනායක හිමිවරුන්ට කල නොහැකි දෙයක් ඔහු කළේය. මහනායක හිමිවරුන් මෙන් දේශපාලකයන්ගේ අට පිරිකර භාර ගනිමින් ඔවුන්ට අනුසාසනා (දේශපාලකයන් මේ අනුසාසනා පයිසේකටවත් මායිම් නොකරති. ඒ නිසා වැයවන කටේ හුළං වලටද පාඩුවකි) කරනවාට වඩා දේශපාලකයන් තේරුම් ගන්න භාෂාවෙන් ඔවුන්ට කතා කිරීමේ නිදසුන කාදිනල් මැල්කම් රංජිත් පෙන්වා දුන්නේය.