බෝධිය නැවීම !

| ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා

සියල්ල වෙන්නේ හොඳ ට යයි මිනිසුන් කියන්නේ මිදී ඇඹුල් නිසා හෝ කපන්න බැරි අත ඉඹිය යුතු නිසාම නොව සිතේ කොහේ හෝ සැඟවුන සර්වශුභ වාදී හැඟීමක් නිසා ද විය හැකියි. හිටපු යුධ හමුදා පති ට මේ ආණ්ඩුව මේ ආකාරය ට සැලකීම ගැන දුක් වන්නන් පමණක් නොව සතුටු වන්නන් ද සිටින බව රහසක් නොවුන ද සිංහල බෞද්ධ බහුතරයක් ඉන්නවා යයි කියා ගන්නා රටක ට එය ගැලපේද යන්න ගැඹුරින් සිතා බැලිය යුත්තකි. යුද්ධය ජය ගැනීමේ ප්‍රධාන සාධකයක් වූ වීර සෙන්පතියෙකු නැවත නැවතත් සිරගෙදර ට නියම කරන්න රටේ පාලකයන් සැහැසි වූ විට, ඉන් හට ගන්නා සමාජ විරෝධී අතුරු ප්‍රතිපල වලට වග කියන්න හෝ මුහුණ දෙන්න ජගතෙක් මේ ආණ්ඩුවේ නම් නැතිබව ඔවුන් මෙතෙක් කළ හා කරමින් ඉන්නා අමන කම් වලින් මොනවට පැහැදිලි වෙනවා.

නවම් පෙරහරේ හස්තියා පිට උජාරුව ට යන බඩ මහත නිලමේයා ඇතා කලබලවී බිමට වැටෙන්න ගියොත් රැක ගන්න වෙන්නේ මුළු කාලයම ඇතු අසලින් පයින් ගමන් ගත් බඩේ හම පිටට ඇළුන දුප්පත් ඇත් ගොව්වා ටයි. නිලමේයාව එපා වී ඉන්නා ඇත්ගොව්වා දවසක ඇතාට කාටත් නොදැනෙන සේ හෙණ්ඩුවෙන් සංඥාවක් දෙන්න ඉඩ තියෙන වා නිලමේය වා බිම දාපන් පුතේ කියල. එතකොට බොරු ඔටුන්නක් හිසේ දරාගෙන උජාරුව ට ගිය නිලමේ ට වෙන්නෙත් බිමින් යන්න හැබැයි අලියට නොපැගී ඉන්න පුළුවන් වුනොත් විතරයි.

ජෙනරාල් ෆොන්සේකා නිදහස් වියයුතු බව ප්‍රකාශ කරන අය මහින්ද විරෝධී ය, ගෝටා විරෝධී ය, රාජ්‍ය ය විරෝධී ය කියා පවසන්නේ හොඳ නරක තේරුම් ගැනීමේ සුවිශේෂ වූ සංවේදී තාවයක් ඔවුන් ළඟ ඇති නිසා නොව "රජතුමනි ඔබ හරි" කියා රජ බොජුන් වලින් ඉවත ළන කට්ටක් හෝ කෑමට ඇති ගිජු කම බවත් දිනෙන් දින පැහැදිලිවෙමින් පවතියි. මේ ආණ්ඩුව ට සංවර්ධන ශීලී විවේචන එල්ල කරන හැම දෙනාම සරත් ෆොන්සේකා වාදීන් කියා පාලකයින් ට ගතුකම් කියන උදවිය ගේ බලාපොරොත්තුවත් කටු ලෙවකෑම ට වඩා දෙයක් නොවිය හැක. මේ විවේචකයන් අතර මා දන්නා බොහොම දෙනෙක් ජනාධිපතිව පුද්ගලික වා දන්නා එමෙන්ම ඔහු සමග අනෙක වාරයක් ආහාර ගත් අයද වෙති. ජනාධිපති සමග එකට වාඩි වී මස් කුට්ටි පිටින් වළඳන්න මේ ඇත්තන් ට අනාගතයත යෙත් තිබු ඉඩකඩ අළුයම ලු කෙළ පිඩක් සේ ඉවත දමා පාලකයින් නැවත නිසි මග ට ගන්න උත්සාහ කරන අය දැනටමත් රාජ උදහස ට ලක්වී ඇත. ජෙනරල් ෆොන්සේකාට දඬුවම් කර මේ පෙන්වුයේ අසාධාරණත්වයේ හා භීෂණයේ කෙවිටයි.

අධිකරණයේ තීරණය ගැන අපි කතා නොකරමු. නීතියට අනුකුලව (රටේ නීතිය අකුරට ම ක්‍රියාත්මක වේ නම්) එය ට විරුද්ධව ගත හැකි හැම පියවරක් ම ගැනීම ට ජෙනරාල් වරයාගේ නීතිඥයින්ට ධෛර්ය හා ශක්තිය ලැබේවා කියා අප ඉත සිතින් පතමු. ජෙනරාල් වරයා නඩු විභාගයේදී පුන පුනා කියා සිටියේ සුදු කොඩි රැගෙන ආ යටත් වූ වන්ට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම් වරයා පැවසූ බවක් තමන් නොකී බවයි. ජෙනරාල් වරයාගේ එම ප්‍රකාශය ඇත්තක් නම් නඩු කීමේ අවශ්‍යතාවයක් කිසිසේත් ම පැන නැගිය නොහැක. එසේ නම් රජයේ මුදල් නාස්ති කරමින් වසරක් මුළුල්ලේ නඩු කිව්වේ කගේ හෝ දොළ දුකක් සංසිද වීමට ද? එහෙමත් නැත්නම් ආණ්ඩුව ජෙනරල් ට දඬුවම් කළේ ඇත්ත කී නිසාද? එනම් ආරක්ෂක ලේකම් එවැනි අණක් මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ට දුන්නේ නැති බව කීම නිසාද? ජෙනරල් ට වුයේ "ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී" යන්න ද? දැන් අධිකරණයේ උධ්දෘත පාටය "කළත් වැරදිය නොකළත් වැරදිය යන්නද? එක නඩු කාරතුමෙකු ට සත්‍යය සේ පෙනුන දෙය අනෙක් නඩු කාරයින් ට නොපෙනුන රහස නීතියේ තුලාව ඔසවා සිටින කාන්තාව ගේ දෙනෙත් බැඳ තිබු රෙදි කඩ මර්දනයේ සුළි සුලඟක ට ගසා ගෙන ගොස් ඇති නිසාද? මා මේ නගන්නේ මගේ හඬක් නොව සාධාරණත්වය ඉල්ලා හඬන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික වැසියන්ගේ සුසුම් මුසු කෙඳිරියයි.

ජෙනරාල් ට විරුද්ධව නඩු පැවරීම ට හේතුව වශයෙන් ආණ්ඩුව (නීති පති දෙපාර්තමේන්තුව) කියා සිටියේ, ජෙනරාල් වරයාගේ ප්‍රකාශයෙන් මහ ජනතාව අතර කැළඹීමක් ඇතිවිය හැකි බව ද, ඒ තුලින් ම ජනතාව රජය කෙරෙහි කළ කිරීමක ට පත් විය හැකි බවයි. වැසි වැස්සොත් ගංවතුර ගලයි. වතුර දැම්මොත් පාසැල් වැසෙයි යන්න අසම්භාව්‍යක් ක්‍රියා මත පදනම් වූ ප්‍රස්තුතයකි. එමෙන් ම තාර්කික පදනමකින් යුත් ප්‍රකාශනයකි.. වැස්සේත් නැත්නම්, ගංවතුර ගැලුවේත් නැත්නම් පාසැල් වසාදමා ළමුන් බිය කළෝ කවුරුද? නීති පති කියූ ලෙස ජෙනරාල් ගේ ප්‍රකාශය ඇත්තක් නම්, මේ තත්වය පදනම් කරගෙන රටේ කැළඹිලි ඇතිවීම ට ඉඩ තිබුණි. මට තේරෙන හැටිය ට ජනතාවට කැළඹීම ට තරම් ප්‍රකාශයක් ජෙනරාල් ගේ කටින් නොකියුන බවයි. කිසිම කැළඹිල්ලක් ඇති නොවීම ම මෙය සනාථ කරයි.

මීලඟට වැදගත් තර්කය වන්නේ මහ ජනතාව රජය කෙරෙහි කළකිරෙන බවයි. එය ඇත්තක් නම්, ජෙනරාල් කළායයි කියන මෙම ප්‍රකාශය 13.12.2009 දිනයේ Sunday Leader පුවත් පතේ පළවූ දිනයේ සිට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී පෞද්ගලික ව ලැබූ ජයගග්‍රහණය ද, ඉනික්බිතිව අප්‍රේල් 8 සහ 20 දිනවල පැවති මහා මැතිවරණයේදී ලබන ලද වාර්තා ගත ජයගග්‍රහණය ද ලැබුවේ කෙසේද යන්න ට පිළිතුරක් ශක්‍ර දෙවියන් ළඟවත් ඇත්දැයි කුකුසක් ජනතාව ට ඇතිවීම නොවැලැක්විය හැකිද? මෙයින් පැහැදිලිවන්නේ ජෙනරාල් ව අමාරුවේ දාන්න හිටපු නීතිපති හිතා මතා ම ගොතන ලද කතාවක් ද? නීතිපති කියන විධිහට ජෙනරල් ෆොන්සේකා ආණ්ඩුව පරදින විධිහට ප්‍රකාශ නිකුත් කලේනම්, ආණ්ඩුව සියලුම චන්ද දිනාගැනීම සඳහා කොම්පුටර් ජිල්මාර්ට් පාවිච්චි කළායයි ආණ්ඩු විරෝධීන් ගෙනගිය ප්‍ර චාරය ට භව්‍යය තාවයක් ගෙනදීම ට මේ නඩු තීන්දුව මගින් අතාර්කිකව ක්‍රියා කර ඇත්තේ ද මේ ආණ්ඩුවම බව කෙනෙක් තර්ක කළ හැක. දැන් බලාගෙන යනකොට ආණ්ඩුව ට වින කර ඇත්තේ හිටපු හමුදාපති ජෙනරල් ෆොන්සේකා නොව නීතිපති දෙපාර්තමේන්තුව යයි ආණ්ඩුවේම උදවිය හෙට අනිද්දා උද්ඝෝෂණ නොකර සිටීද ? මෙය කොලොන්නාවේ සිද්ධියේම තවත් පාරා වළල්ලක් නොවිය හැකිද? මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් කියමින් ඔහු ළඟ දැවටෙන බොහෝ අවස්ථාවාදීන් කරන්නේ ඔහුව දිනපතාම ප්‍රපාතයට ඇදගෙන යාමය. මෙය ඔහුට වැටහෙන විට බොහෝ ප්‍රමාද වී තිබිය හැක.

ශ්‍රී ලංකාවේ ඇතැම් බැතිමතුන් බෝධීන් නැවීම ට දක්වන්නේ පුදුම උනන්දුවකි. ගමේ පන්සලේ බෝධි වෘක්ෂ වතුර නැතිව කෙඩෙරි වෙද්දී කානිවල් පන්සල්වල බෝධීන් ම නැවීම ට බැති මතුන් පොරකති. බෝධිය වෘක්ෂයක් උනාට ඊට හිතක් ඇතිබව නොදන්නා මෝඩ ශ්‍රද්ධා වන්තයෝ ගසට හානි වන තරමට ම පැන් කළ වක්කරති. මේ නිසාම පැන් වත්කරමින් කරන ලද ප්‍රාර්ථනා වලින් ද පලක් නැත. මන්ද ඒ වන විට ගහට ත් හොඳට ම ඇතිවී තිබිය හැකි නිසයි.

මහින්ද රාජපක්ෂ යනු කෙලෙස් නැසූ රහත් අරහත් තත්වය ට පත්වූ යෝගි යෙක් නොව ලොව අනෙක් දේශපාලනඥයන් මෙන්ම පෘතග්ජන බැවින් පරිපුර්ණ වූ තව එක් මිනිසෙකි යන්න අප විසින් අමතක නොකළ යුතුය. ඔහුව උවමනාව ට වඩා සුවඳ පැනින් නැහැවීමට ගොස් බෝධිය ට කළාක් මෙන් ඔහුව ද දිනක විනාශ කර දැමීමට ඔහු වටා නිරන්තරයෙන් ම පැදකුණු කරමින් සිටින පිරිස කටයුතු කරනු ඇතැයි භියක් මට ඇත.