වෙබ් අඩවි මර්ධනය දැඩිව හෙළා දකිමු

| චතුරංග ද අල්විස් සහ සුජිත් මංගල ද සිල්වා
එක්සත් මාධ්‍ය සංසදය

රටේ මාධ්‍ය නිදහස බරපතල අර්බුදයකට ලක් කරමින් ජනපි්‍රය වෙබ් අඩවි 7 ක් වාරණය කිරීමට ආණ්ඩුව ගත් පියවර එක්සත් මාධ්‍ය සංසදය වශයෙන් අප දැඩි ලෙස හෙළා දකිමු.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත විදුලි සංදේශ නියාමන කොමිසම මගින් ශ්‍රී ලංකාවේදී පිවිසිය නොහැකි පරිදි අවහිර කිරීමට පියවර ගත්තේ ශ්‍රී ලංකා මිරර්, ගොසිප් 9, පැපරාසි, ශ්‍රී ලංකා ගාඩියන්, ලංකා වේ නිව්ස් යන වෙබ් අඩවිය. ඉකුත් කාලය තුල ලංකා නිව්ස් වෙබ් සහ ලංකා ඊ නිව්ස් යන වෙබ් අඩවි දෙකද වාරණය කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබුණි.

පසුගිය වසර කිහිපය තුල ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, ජනමාධ්‍යවේදීන්ට පහරදීම, ජනමාධ්‍යවේදීන්ව පැහැරගෙන යාම, ජනමාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල කිරීම, බලපෑම් කිරීම ඇතුළු දහසක් බාධා පමුණුවමින් ගෙන ගිය මර්දනකාරී කි්‍රයා පිළිවෙත නතර කර නොමැති බැව් සහ තවදුරටත් එය දැඩිව පවත්වාගෙන යාම අරමුණු කොටගෙන ඇති බව පෙන්වමින් කිසිඳු හිරිකිතයකින් තොරව සමාජයට තොරතුරු ගෙන යන වෙබ් අඩවි මෙලෙස බලහත්කාරයෙන් වාරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට සහ මාධ්‍ය නිදහසට එල්ල කළ බලවත් පහරකි. වෙබ් අඩවි යනු ලාංකීය සමාජය තුල වේගයෙන් ජනතාව අතරට තොරතුරු ගෙන යන්නා වූ ජනපි්‍රය වෙමින් පවතින සන්නිවේදන මාධ්‍යයක් ලෙස හැඳින්විය හැකිය. වර්තමානයේ ආණ්ඩුව ගන්නා ජනතාවට අගතිගාමී තීරණ සහ දේශපාලඥයින්ගේ දූෂිත කි්‍රයාකාරකම් ගණනාවක් පසුගිය කාලය තුල හෙළිදරව් කෙරුණේ මෙම වෙබ් අඩවි හරහාය. ආණ්ඩුව විවේචනය කරන්නා වූ ප්‍රවෘත්ති පළ කිරීමට අනෙකුත් මාධ්‍යවලට තිබු ඉඩ කඩ ආණ්ඩුව අහුරා තිබුණු අතරම ජනමාධ්‍ය විසින්ම ස්වයං වාරණයක් ඇති කරගන්නා තැනට කටයුතු කර තිබීම වෙබ් අඩවි සඳහා වන ඉඩ කඩ පුළුල් වීමට හේතුවක් විය. අද, ආණ්ඩුව ඉදිරිපත් වී සිටින්නේ ආණ්ඩුවේ නිවැරදි තොරතුරු හෙළිදරව් කිරීමට නොබියව කි්‍රයා කරන වෙබ් අඩවි කෙසේ හෝ මර්දනය කර දැමීමටය.

වෙබ් අඩවි ඔස්සේ පළවන පුවතකින් යම් පුද්ගලයෙකු පිළිබඳ සාවද්‍ය පුවතක් පළ වුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය කි්‍රයාමාර්ග ගත හැකිව තිබියදීත්, තමන්ට තර්ජනයක් විය හැකි යැයි සිතෙන වෙබ් අඩවි කිහිපයක් ඉලක්ක කර ගනිමින් කටයුතු කිරීම නීතිය අතට ගැනීමකි. එෙහෙයින් මෙය රටේ නීතියේ ආධිපත්‍යය කඩා වැටීමේ එක්අවස්ථාවක් ලෙසද දැක්විය හැකිය. රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ අත්සනින් යුතු නිවේදනයක් මගින් රාජ්‍ය නායකයා, අමාත්‍යවරු, ඉහළ රාජ්‍ය නිළධාරීන් ඇතුළු රටේ සුවිශේෂ පුද්ගලයනගේ චරිත ඝාතන බරපතල ලෙස සිදු කිරීම හේතුවෙන් මෙම වෙබ් අඩවි පිළිබඳ තීරණයක් ගැනීමට සිදු වූ බව ප්‍රකාශ කර තිබේ. කිසිඳු හේතුවකින් තොරව පුද්ගල චරිත ඝාතනය කිරීම අනුමත කළ නොහැක්කක් වූවද කුමන තරාතිරමක පුද්ගලයින් සම්බන්ධයෙන් වූවද ජනතාවට හෙළිදරව් කළ යුතු දේ සහ විවේචනාත්මක ලිපි පළ කිරීමට ජනමාධ්‍යයට අයිතියක් තිබිය යුතුය.

එහෙයින් මාධ්‍ය නිදහසට සහ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කරමින් ආණ්ඩුව ගත් මෙම පියවර කෙලෙසකවත් සාධාරණීකරණය කළ නොහැකි අතරම වගකිව යුතු මාධ්‍ය සංවිධානයක් ලෙස මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී පුළුල් විරෝධතාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද අවධාරණය කර සිටිමු.


Tell a Friend