"යුක්‌තිය සාධාරණය ලැබෙනකල් කොන්ද නමන්නේ නැතුවඅපි කෙළින් ගමනක්‌ යනවා"

-  අනෝමා ෆොන්සේකා

| එල්. වී. සමරසිංහ - අවිස්‌සාවේල්ල

වෛරය සහ පළිගැනීමේ දේශපාලනයක්‌ තමයි අද රටේ තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කතා කළාට මුළු ජනතාවටම පේනව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක්‌ නැහැ කියලා. එහෙම රටක අපට බලාපොරොත්තු වෙන්න දෙයකුත් නැහැ. කොන්ද නමන්නෙ නැතුව අපි යුක්‌තිය සාධාරණය ලැබෙනකල් කෙළින් ගමනක්‌ යනවා.

"අනෝමා ෆොන්සේකා" මහත්මිය එසේ ප්‍රකාශ කළේ තම ස්‌වාමිපුරුෂයා වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සෙත්පතා පසුගියදා අවිස්‌සාවේල්ල - කිරිවන්දල "විද්‍යා සංවර්ධන පිරිවෙන් විහාරස්‌ථානයේදී පැවැති බෝධි පූජාව හා ආශිර්වාද පිංකම අවසානයේ ජනතාව අමතමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අනෝමා ෆොන්සේකා මහත්මිය මෙසේද කීවාය.

රටේ ජනතාව මෙවැනි බෝධිපූජා ආශිර්වාද පිංකම් සංවිධානය කරන්නේ ඔවුන්ට මගේ ස්‌වාමිපුරුෂයා අමතක කළ නොහැකි නිසයි. අද රටේ නිදහසේ පය ගහන්න පුළුවන් නිදහසක්‌ ලබා දුන්නේ ඔහු මුල්වෙලා බව ජනතාව දන්නවා. නිවැරැදි ක්‍රියාවන් හැමවිටම පිළිපැද්ද ඔහුව අමතක කරන්න කෙළෙහෙගුණ දන්නා ජනතාවට බැහැ කියල මම විශ්වාස කරනවා.

තව නොබෝ දිනකින් ජෙනරාල් ෆොන්සේකා මහතා සම්බන්ධ නඩුවක තීන්දුවක්‌ ලැබෙන්න තියෙනවා. මේ බෝධි පූජා පිංකම්වල සෙත්පැතීම් වල ආනිසංශ ඔහුට ලැබේවි.

මේ ජනහමුව අමතා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ හා පිංකම සංවිධානය කළ සීතාවකපුර නගරාධිපති දේශමාන්‍ය ප්‍රේමලාල් පිංතු යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.

Tell a Friend