චෞර රාජ වාදය රජ කරන මේ රටේ කැලෑ නීතිය රජ කරනවා- මංගල සමරවීර

ලෝකයේ දියුණු රටවල් කාන්තාවන් වෙනුවෙන් නොදුන් ඡන්ද බලය පවා 1931 දී කාන්තාවන්ට ලබා දුන් ශ්‍රී ලංකාව ආසියාවේ පමණක් නොව මුළු ලෝකයේම පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව කිව යුතු බව මාතර දිස්ත්‍රික් පා.ම මංගල සමරවීර මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ අද (09) කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමිනි. ඒ මහතා එහිදී මෙසේද පැවසීය.

කෙසේ නමුත් අවාසනාවකට මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් වූ ශ්‍රී ලංකාවේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ පිරිහී අවනීතිය සහ කැලෑ නීතිය රජ කරවන චෞර රාජ වාදය හිස ඔසවා තිබෙනවා. දේශපාලන විද්‍යාවට අනුව මේ චෞර රාජ වාදය කියන්නේ පාලකයා සිය බලය උපයෝගී කර ගෙන රාජ්‍ය දේපොළ, මුදල් සහ සම්පත් ද, ජනතාවගේ දේපොළ සහ මුදල් කොල්ල කා ඒ සියලූ වත්කම් සිය පවුල සහ හෙංචයියන් වෙනුවෙන් බෙදා ගැනීම, පවරා ගැනීම හෝ සූරා කෑමයි.

ලිබියාවේ කර්නල් මුවම්මර් ගඩාෆි ද, ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ පාලකයින් ද මීට නොබෝ කාලයකට ප්‍රථම ඒ රටවල ක්‍රියාත්මක කළේ දේශපාලන විද්‍යාවට අනුව මේ චෞර රාජ වාදය පදනම් කොටගත් ඒකාධිපතිවාදයක් බව පැහැදිලියි. චෞර රාජ වාදය පදනම් කොට ගත් මේ ඒකාධිපතිවාදය යටතේ කර්නල් මුවම්මර් ගඩාෆි සහ ඔහුගේ පුත්‍ර සමාගම කෙතරම් රාජ්‍ය දේපොළ, මුදල් සහ සම්පත් ප්‍රමාණයක් කොල්ලකෑවේ ද යන්න පිළිබඳ ලිබියානු නව රජය මේ වන විටත් කරුණු සොයමින් සිටිනවා.

සිම්බාබ්වේ නායක රොබට් මුගාබේ සහ අප්‍රිකානු රටවල් ගණනාවක පාලකයින් මේ වන විටත් මේ චෞර රාජ වාදය පදනම් කොට ගත් ඒකාධිපතිවාදය ක්‍රියාත්මක කරමින් ඒ රටවල රාජ්‍ය දේපොළ, මුදල් සහ සම්පත් කොල්ලකමින් ජනතාව මර්දනය කර ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය වළලා තිබෙනවා. චෞර රාජ වාදය පදනම් කොට ගත් මේ ඒකාධිපතිවාදය ලෝකයෙන්ම තුරන් වන මේ මොහොතේ ආසියාවේත්, මුළු ලෝකයේත් පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් වූ ශ්‍රී ලංකාවේ ඒ ක්‍රමය මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ ස්ථාපිත වීම ගැන අප කණගාටු වන අතර මේ තත්ත්වය ඉතාම භයානක බව අවධාරණය කරනවා.

අපේක්‍ෂිත ප්‍රතිලාභ නොලැබූ සමාගම් සහ ඊට අයත් දේපොළ රජයට පවරා ගැනීමේ පනත සම්මත වී ක්‍රියාත්මක වීමත් සමග චෞර රාජ වාදය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ වනවා. ආණ්ඩුව මේ පනත හඳුන්වා තිබෙන්නේ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් සහ උඣීන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතෙ ලෙසයි. ඇත්ත වශයෙන්ම මේ පනත මේ තරම් හෑල්ලකින් හදුන්වන්නේ නැතිව කිරාජපක්‍ෂ පවුලේ වුවමනාවන් සඳහා ඉඩම් මංකොල්ලකෑමේ පනතකි නම් කළා නම් සියල්ලන්ටම ඉතාම පහසුවෙන් කට ඇර ඒ නම කියන්න හැකියාවක් තිබුණා.

ශ්‍රී ලංකන් එයාර්, මිහින් එයාර්, තෙල් සංස්ථාව, විදුලි මණ්ඩලය සහ දුම්රිය ඇතුලූ රාජ්‍ය ආයතන 249 ක් රුපියල් කෝටි 1,900 පාඩුවක් ලබා බංකොළොත් වී තිබිය දී මේ කියන පෞද්ගලික සමාගම් රජයට පවරා ගන්නේ ඒ සමාගම් බංකොළොත් වී ඇති නිසා පුනරුදය කිරීමේ අරමුණින් යැයි ආණ්ඩුව කියන කතාව විහිලූ සහගතයි. රජය යටතේ පවතින රාජ්‍ය ආයතන 249 ක් පාඩු ලබද්දී ඒ ආයතන නගා සිටුවීමට නොහැකි ආණ්ඩුවට පෞද්ගලික සමාගම් රජයට පවරා ගෙන බංකොළොත් වී ඇති ඒ සමාගම් පුනරුදය කිරිමට නොහැකි බව කුඩා පාසල් දරුවෙකු පවා දන්නවා.

හදිසි පනතක් ලෙස ආණ්ඩුව මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ පාඩු ලබා තිබෙන්නේ යැයි ආණ්ඩුව කියන පෞද්ගලික සමාගම් රජයට පවරා ගෙන ඒ සමාගම් පුනරුදය කිරීමට තිබෙන හදිසිය නිසා නොව ඒ සමාගම් සහ ඊට අයත් දේපොළ පවුලට පවරා ගැනීමට තිබෙන හදිසිය නිසායි. මේ පනත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැහැදිලිව කියා තිබෙනවා. එමෙන්ම ආයෝජන මණ්ඩලයේ ආයෝජනය කළොත් ඒ ආයෝජන රජයට පවරා ගැනීමට එරෙහිව ව්‍යවස්ථාවෙන්ම ආරක්‍ෂාවක් තිබෙන බවට එම මණ්ඩලය ආයෝජකයින්ට දී තිබෙන පොරොන්දුව ද මේ පනත මගින් උල්ලංඝණය කර තිබෙනවා.

මේ සියලූ කරුණු කාරණා මේ රටේ ක්‍රියාත්මක වන්නේ විවිධ මාෆියා කණ්ඩායම් ගණනාවක් හරහා වන අතර ඒ මාෆියා කණ්ඩායම් පාලනය කරන, මෙහෙය වන සහ ඊට නියෝග දෙන ගෝඩ් ෆාදර් නොහොත් ප්‍රධානියෙකු ද සිටිනවා. මේ මාෆියා කණ්ඩායම් මෙහෙය වන ප්‍රධානියා අමෙරිකානු පුරවැසියෙකු වන අතර ඔහු රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙකු බව අප ඉතාම වගකීමෙන් යුතුව කියා සිටින බව අවධාරණය කරනවා.

සියලූම මාෆියා කණ්ඩායම් මෙහෙය වන මේ ප්‍රධානියා මත් කුඩු මාෆියාවට රාජ්‍ය ආරක්‍ෂාව දී තිබෙන අතර ඒ මත් කුඩු මාෆියාවේ එක්තරා ප්‍රධානියෙකු ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස ද පත් කර ගෙන සිටිනවා. ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන මේ මත් කුඩු මාෆියාව මෙහෙය වන පුද්ගලයාට ඕනෑ තරම් මිනිසුන් ඝාතනය කර රාජ්‍ය ආරක්‍ෂාව ඇතිව ඕනෑම අවස්ථාවක විදේශගත වීමේ අවස්ථාව ද දී තිබෙනවා.

රටේ කොටස් වෙළෙඳපොළ පාලනය කරන්නේ මේ මත් කුඩු මාෆියාව වන අතර මේ මාෆියාව හේතුවෙන් කොටස් වෙළෙඳපොළ කළු සල්ලි සුදු කරන ආයතනයක් බවට මේ වන විට පත්ව තිබෙන බව පැහැදිලියි. කොටස් වෙළෙඳපොළ මාෆියාවට සමාන්තරව ඉඩම් මාෆියාවක් ද මේ රටේ ක්‍රියාත්මක වන අතර ඊට නාගරික සංවර්ධන අධිකාරියේ ද කොටසක් එකතු කර මේ සියලූ මාෆියාවන් පාලනය කරන ඒ අමෙරිකානු පුරවැසියා කිලංකා ලෑන්ඩ්ස්කි නැමැති සමාගම අටවා ඒ සමාගම සිය හෙංචයියන් මාර්ගයෙන් ක්‍රියාත්මක කරනවා.

ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතෙ යටතේ ඉදිරියේ දී අසාර්ථක තවත් ව්‍යාපාර ගණනාවක් පවරා ගැනීම සිදු වන බවට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කළ ප්‍රකාශය සිකුරාදා (04) ක "ලංකාදීප" පත්‍රයේ පළ වුණා. ඒ ප්‍රකාශයෙන් හෙලි වන්නේ රජය මේ පනත යටතේ විශාල ලෙස ලාභ උපයන තවත් පෞද්ගලික සමාගම් ගණනාවක් රජයට පවරා ගැනීමේ රහස් ලැයිස්තුවක් මේ වන විටත් සකස් කර ඇති බවයි.

ඒ රහස් ලැයිස්තුව යටතේ ඉදිරියේ දී මේ පනත මගින් රජයට පවරා ගැනීමට නියමිත සමාගම් කවරේද යන්න පිළිබඳව ආණ්ඩුව වහාම රටට – ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට හෙළි කළ යුතුයි. ලෝකයේ යම් රටක චෞර රාජ වාදය පදනම් කොට ගත් ඒකාධිපතිවාදය ක්‍රියාත්මක කිරීමට නම් තොරතුරු දැන ගැනීමට ජනතාවට තිබෙන අයිතිය උදුරා ගෙන සියලූ නිදහස් ජනමාධ්‍ය මර්දනය කළ යුතු වනවා.

ලංකා ඊ නිවුස් සහ ලංකා නිවුස් වෙබ් යන අන්තර් ජාල වෙබ් අඩවි තහනම් කළ ආණ්ඩුව ඊට පසුව ලංකා-වේ, ශ්‍රී ලංකා මිරර්, ශ්‍රී ලංකා ගාර්ඩියන්, ගොසිප් 9 සහ පැපරාසියා යන වෙබ් අඩවි තහනම් කළේ මේ පදනම යටතේ බව පැහැදිලියි. මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයක යෙදී සිටි ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය නම් තහනම් කර තිබෙන්නේ ඒ වෙබ් අඩවිය ඔස්සේ බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාට විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබෙන නිසා බව අපට ආරංචියි.

එමෙන්ම මේ ලංකා-වේ වෙබ් අඩවිය යනු එක්සත් ජාතික පක්‍ෂයේ සන්නිවේදන ඒකකයේ නිල වෙබ් අඩවිය වන අතර ඒ වෙබ් අඩවිය මගේ නම යටතේ ලියාපදිංචි කර තිබෙන බවත්, නොවැම්බර් මාසයේ අවසන් සතියේ දී එම වෙබ් අඩවිය අප නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු යොදා තිබුණු බවත් කිව යුතුයි. කෙසේ වෙතත් සැලසුම් කර තිබූ ආකාරයටම එම වෙබ් අඩවිය මෙම මස අවසානයේ දී එළිදැක්වීමට අප කටයුතු කරනවා.

ආණ්ඩුව අන්තර් ජාල වෙබ් අඩවි පහක පිවිසුම් මාර්ග අවහිර කරමින් වාරණය කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප මේ වන විටත් නීති උපදෙස් ලබාගෙන තිබෙන අතර ඉදිරියේ දී ඒ නීති උපදෙස් අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.
එමෙන්ම සියලූ ජනමාධ්‍ය සංවිධාන සමග එකට එක්ව මේ තත්ත්වයට එරෙහිව අනුගමනය කළ හැකි උපරිම දේශපාලන ක්‍රියාමාර්ග ද අනුගමනය කරමින් ජනතාව දැනුවත් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

ත්‍රස්තවාදය මර්දනය කිරීමට මුවාවී උතුරේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කරමින් ද, ජනමාධ්‍යවේදීන්ට මැර ප්‍රහාර එල්ල කරමින් ද, ජනමාධ්‍ය ආයතන ගිනි තබා විනාශ කරමින් ද, ජනමාධ්‍ය නිදහස වැළලූ ආණ්ඩුව ඒ ක්‍රියාවලිය 2009 දී දකුණේ ද ක්‍රියාත්මක කරමින් සිරස ආයතනයට ගිනි තබා විනාශ කළා. ඊට පසුව සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග වෙඩි තබා ඝාතනය කළ ආණ්ඩුව, පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය සහ කීත් නොයාර් ඇතුලූ ජනමාධ්‍යවේදීන් ගණනාවකට මැර ප්‍රහාර එල්ල කළා.

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ තවදුරටත් රැඳී සිටීමට තිබෙන අවදානම මත සුනන්ද දේශප්‍රිය සහ උවිඳු කුරුකුලසූරිය ඇතුලූ ජනමාධ්‍යවේදීන් ගණනාවකට රට අතහැර විදේශගත වීමට සිදු වුණා. මේ අතර බොහෝ ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ආයතන මේ වන විටත් ස්වයං වාරණයක සිටින අතර ඊට හොඳම උදාහරණය යම් මාධ්‍ය ආයතනයක් මා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවොත් එහිදී මම රාජපක්‍ෂ පවුල සම්බන්ධයෙන් කරන විවේචන සියල්ල ඒ සම්මුඛ සාකච්ඡාවෙන් කපා හැරීමයි.

චෞර රාජ වාදය රජ කරන මේ රටේ කැලෑ නීතිය රජ කරවන බව මේ තත්ත්වය යටතේ කවුරුත් පැහැදිලිව දන්නවා. නැවත වතාවක් ජනතාවට බියෙන් සහ සැකයෙන් යුතුව ජීවත් වීමට සිදුව ඇති බවට මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් ද, රටේ අවනීතිය රජ කරවා ඇති බවට මාදුළුවාවේ සෝභිත නාහිමියන් ද, නීතිය ක්‍රියාත්මක නොවන බවට කොළඹඅගරදගුරු හිමිපාණන් වහන්සේ ඇතුලූ අන්‍යාගමික නායකයින් ද බදාදා (09) ලක්බිම පුවත්පතට කර තිබෙන ප්‍රකාශවලින් හෙළිවන්නේ රටේ උද්ගත වී තිබෙන ඉතාම භයංකර තත්ත්වයයි.

රටේ උද්ගත වී තිබෙන ඉතාම භයංකාර සහ අර්බුදකාරී තත්ත්වය තේරුම් ගත් එක්සත් ජාතික පක්‍ෂය අවනීතිය සහ කැලෑ නීතිය රජකර වීමට එරෙහිව විරෝධය පළ කිරීමේ වර්ෂය ලෙස 2012 නම් කර තිබෙනවා. ඒ අනුව චෞර රාජ වාදය පදනම් කොට ගත් ඒකාධිපතිවාදයට එරෙහිවත්, අවනීතිය සහ කැලෑ නීතිය රජ කරවීමට එරෙහිවත් ජනවාරි මාසයේ සිට රට පුරා ආසන මට්ටමෙන් ජනතාව පෙළගැස්සවීමේ විශේෂ වැඩපිලිවෙලක් එක්සත් ජාතික පක්‍ෂය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඊට සමගාමීව මේ සියලූ තත්ත්වයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව ද දැනුවත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය නැවත තහවුරු කිරීමේ සටන ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක කරනවා.