දශක දෙකකට ඉහතදී ශ්‍රි ලංකාවේ පැවතුනු බිහිසුණු යුගයක මතකයන්..

මීට වසර 20 කට ඉහතදී මෙම සංස්කෘතිය දමිල ආධිපත්‍ය පවතින ප්‍රදේශවලට ව්‍යාප්ත වීමට පෙර මෙය සිදු වුයේ බහුතරයක් සිංහල ආධිපත්‍ය පැවතුන ප්‍රදේශ තුලය. "යුධ අපරාද" යනුවෙන් වර්තමානයේ බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වුවත් මෙම සංසිද්ධිය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත ලැබී ඇති වීඩියෝ පටයෙන් පැහැදිලි වන්නේ 1988 - 1989 කාලයේ ශ්‍රී ලංකාවේ මාක්ස් වාදයේ දෙවැනි අරගලය පැවති කාලයේ අශිෂ්ට, ආචාර සම්පන්න නොවන මිලේච්ඡ ආරක්ෂක අංශ විසින් යුධ අපරාද සිදු කල ආකාරයයි.

"රයිට් ටු ලයිෆ් " නමින් හඳුන්වන කොළඹ නගරය පාදක කරගනිමින් මානව අයිතවාසිකම් පිළිබඳව ක්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධානය විසින් ඉදිරිපත් කොට ඇති වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ ආරක්ෂක අංශ විසින් ඉහත සඳහන් කළ කාල වකවානු තුල සිදු කරන ලද යුධ අපරාද වලට ගොදුරු වුවන්ගේ අත්දැකීම්ය.

මෙම වීඩියෝ පටයට අනුව ප්‍රථම කතානායිකාව වන්නේ යු. පි. සෝමසිලි නමැති 23 හැවිරිදි කාන්තාවකි. ඇයගේ අත්දැකීම් මෙසේ ගෙන හැර දක්වමි. එදා 1989 ජනවාරි මාසයේ 29 වන දින වේලාව පෙරවරු 7.30 ත් 8.00 ත් අතරදී අංක තහඩු රහිත ජීප් රියකින් පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඉහත කී කතානායිකාවගේ 34 හැවිරිදි ඇයගේ ස්වාමිපුරුෂයා රැගෙන ගොස් ඇති අතර එදා දවස තුල ඇය දරුවන් සමග හැඬු කඳුලින් කල් ගත කර ඇති අතර ඔවුන්ගේ නිවසට වරින් වර ජීප් රථවලින් පැමිණි හමුදා නිලධාරින් ඇයට නොහඩන ලෙස පවසා ඇයගේ ස්වාමිපුරුෂයා වරදක් කර නැත්නම් නැවතත් ගෙදර එවන බවත් පවසා ඇත. ඊට පසු දින එනම් ජනවාරි 30 වන දින උදෑසන කතානායිකාව තම දරුවන් කුඩා දියණියන් දෙදෙනා කැටුව හම්බන්තොට හමුදා කඳවුරට ගොස් ඇති අතර එහි සිටියදී ඇයගේ වැඩිමහල් දියණිය ඇයගේ ස්වාමිපුරුෂයා අන්න අපේ තාත්තා ඉන්නවා යැයි කෑගසා ඇති අතර එවිට කඳවුරේ සිටි අය පැමිණ ඔවුන්ට එතනින් ඉවත් වන ලෙසට නියෝග කර ඇත. පසුව ඔවුන් ගෙදර පැමිණ ඇති අතර එදින රාත්‍රියේ ජීප් රියකින් පැමිණි නිලධාරීන් ඇයට පවසා ඇත්තේ ඇයගේ ස්වාමි පුරුෂයා ඔවුන්ගේ ග්‍රහනින් මිදී පලා ගොස් ඇති බවත් ඊට පසු දින උදෑසන වනවිට ඔහුව නැවත සොයාගෙන ඔවුන්ට භාර දෙන ලෙසත්ය. එවිට ඇය එම නිලධාරීන්ගෙන් අසා සිටියේ ඔවුන් විසින් තම ස්වාමිපුරුෂයාව මරා දැම්මාද යනුවෙනි. එවිට ඔවුන් පවසා ඇත්තේ තමන් එසේ නොකළ බවය. පසුව ඔවුන් ඇයට කියා ඇත්තේ හෙට උදේ වන විට ඇයගේ ස්වාමිපුරුෂයා ඔවුන් භාරයට පත් නොකළහොත් එම නිලධාරින් විසින් ඔවුන් ජීවත් වන නිවසට ගිනි තබන බවට තර්ජනය කර ගොස් ඇත. පසුදින එනම් ජනවාරි 31 වන දින උදෑසන කතානායිකාව විසින් පොලිසිය වෙත ගොස් මේ සිද්ධිය පිළිබඳව පැමිණිලි කළ අතර එහිදී පොලිසිය විසින් ඇයට පවසා ඇත්තේ හමුදාවෙනුත් පැමිණ පොලිසියේ ඇයගේ ස්වාමිපුරුෂයා පලා ගොස් ඇති බවට පැමිණිලි කර ඇති බවයි. පසුව ඇය විසින් වරින් වර ඇයගේ ස්වාමි පුරුෂයා ගැන සොයා බැලූ නමුත් ඇයට කිසිම හෝඩුවාවක් ලැබී නැත. මේ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් තම රාජකාරිය නිසි ආකාරයෙන් ඉටු කර ඇතිද යන්න තවමත් ප්‍රශ්නයකි. කතානායිකාවගේ ස්වාමිපුරුෂයාගේ අතුරුදහන් වීම අදටත් අභිරහසකි.

අපගේ ඊළඟ කතානායිකාව වන්නේ ප්‍රේමසිලි නමැති කාන්තාවයි. ඇයගේ අත්දැකීම් මෙසේය. ලුතිනන් කර්නල් රාහුල සිරිමාන්න විසින් ප්‍රේමසිලි නමැති කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා රැගෙන ගොස් ඇත්තේ ගොස් ඇත්තේ සිය ගණන් පුද්ගලයන්ට දස වධ සිදු කර ඔවුන් මරා දමා එම මළ සිරුරු පුළුස්සා දමන වධකාගරයකටය. වැන්දඹුවක වූ ප්‍රේමසිලි වසර 20 කට පෙර ඇයට අත්විඳීමට සිදු වූ බිහිසුණු අත්දැකීම් හෙළිදරව් කරනු ලැබුවේ මීට වසර 20 කට පෙර මිය ගිය ඇයගේ දයාබර ස්වාමිපුරුෂයාගේ ඡායාරූපයක් අතේ රඳවාගෙනය . ප්‍රේමසිලි සහ ඇයගේ ස්වාමිපුරුෂයා රැගෙන ගොස් ඇයගේ ස්වාමි පුරුෂයාගේ පාදයේ ඇඟිලි වලින් ඔහුව එල්ලා නිරුවත් කොට ඔහුට පහර දෙමින් වධ හිංසා පමුණුවා ඇත. ඒ ආකාරයෙන්ම ප්‍රේමසිලි නමැති කාන්තවගේද ඇස් බැඳ යවද එල්ලා වධ දී ඇත.

ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දැක් වූ බවට සැකපිට ඇත අඩංගුවට ගෙන ඇති කාන්තාවන්ව ලුතිනන් කර්නල් රාහුල සිරිමාන්න නමැති අණ දෙන නිලධාරියා විසින් එම කාන්තාවන්ට වධ දී ඔවුන්ව කිහිප වරක්ම දුෂණය කර අනෙක් නිලධාරීන්ටද එම කාන්තාවන්ව දුෂණය කරන ලෙසට නියෝග කර ඇත.
ඇයගේ ස්වාමි පුරුෂයාට වධ දී දවස් දෙකකට පසු ඔවුන් විසින් ඔහුව මරා දමා ඇති අතර පසුව ප්‍රේමසිලිව හම්බන්තොටට රැගෙන ගොස් ඇත. එහිදී ඇයට දක්නට ලබී ඇත්තේ තමන් වැනිම අහිංසක කාන්තාවන් පිරිසක් එහි රඳවාගෙන වධ දෙන අයුරුයි. එහිදීද ප්‍රේමසිලිට වධ දී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ සමග සම්බන්ධ වී ක්‍රියා කරන පුද්ගලයන්ගේ නම් හෙළිදරව් කරන ලෙසට බල කර ඇත. එවිට ප්‍රේමසිලි පවසා ඇත්තේ ඇය ඒ සම්බන්ධව කිසි දෙයක් නොදන්නා බවය.

ප්‍රේමසිලි වධකාගාරයේදී ආරක්ෂක අංශ නිලධාරින් අතින් දුෂණයට ලක් වූ එක් කාන්තාවක් පමණයි. ඇයට දිගින් දිගටම ඔවුන් විසින් හිරිහැර කර ඇත. නමුත් වාසනාවකට මෙන් ඇයගේ ජීවිතය මරණින් අනු නවයෙන් බේරී ඇත. එහෙත් ඇයගේ ස්වාමිපුරුෂයාට ආරක්ෂක නිලධාරින් අතින් මැරුම් කන්නට සිදු විය. නමුත් තවමත් ඇයට යුක්තිය ඉටු වී නැත. ප්‍රේමසිලි යනු 1989 කාල වකවානුව තුලදී හමුදාව විසින් අහිංසක මිනිසුන්ට වධ හිංසා පමුනවා ඔවුන්ව මරා දමන සැටි ඇසින් දුටු සාක්ෂි දහස් ගණන් අතුරින් එක් සාක්ෂියකි.


Tell a Friend