තමුසේ ගානට වැඩියි.

ත්‍රිමාණ විසිනි

එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වූ ටෙලි නාට්‍යයක තමුසේ යන වචනය නිතර නිතර භාවිතා වන ආකාරය දැකිමෙන් ජනාධිපතිතුමාට හොදටම කේන්ති ගිය පුවතක් වාර්ථා වේ. වහාම අදාල රූපවාහිනී නාලිකාවට දුරකථනයෙන් කතා කල එතුමා මොනවද මේ පෙන්වන විකාර මේවා පෙන්නුවහම අපි කොහොමද අපේ දරු පරපුර හදා ගන්නේ ඇයි ආයතන ප්‍රධානියාට හොදටම දොස් පවරා ඇත. මේ සිද්ධියෙන් දැඩි කැගබිල්ලට පත් එතුමා මින් ඉදිරියට සියලු ටෙලි නාට්‍ය රෑ නවයෙන් පසුව පෙන්වන්න යැයි නියම කර තිබේ. එතුමාගේ මේ පැසසිය යුතු උසස් ප්‍රතිපත්තිය මේ වන විටත් ක්‍රියාත්මක කර ගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙන්නේ දැන්වීම් අනුග්‍රහකයන් මෙයට විරෝධය දැක්වීම නිසාවෙනි. අනාගත දරු පරපුර ගැන කල්පනා කර ගනු ලැබූ ඉතා විශිෂ්ඨ තීරණයක් කාලකන්නි මුදලාලිලා ටිකක් නිසා ක්‍රියාවට නංවා ගන්නට නොහැකි වීම සම්බන්ධයෙන් රටට ආදරය කරන බොහෝ දෙනා සිටින්නේ කණස්සල්ලෙනි.

රටක දේශපාලනය ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට නතු වීම නිසා ජනාධිපතිතුමාට කිසිවක් කර ගත නොහැකි තත්ත්වයට පත්වීම ජාතියේ අවාසනාවකි. මේ මොහොතේ මේ තරම් විනය ගරුක දරුවන් ගැන සිතන ජනාධිපතිවරයාගේ දැත් ශක්තිමත් කරන්නට පක්ෂ පාට භේද ඉවතලා අප එකා වන්ව පෙළ ගැසිය යුතුය.

ජනාධිපතිතුමා කිසිම විටෙක පරුෂ වචන නොකියන තමුසේ යන වචනය ඇසීමෙන් පවා කම්පනයට පත්වන සංවිදී නායකයෙකි.ඉතින් මෙවැනි සංවෙිදී නායකයෙකු රැක ගැනීම ජාතියේ වගකීමක් වන බව අප අවධාරණය කරන්නට කැමැත්තෙමු.

මේ සම්බන්ධයෙන් කදිම විග්‍රහයක් කරන්නට අප මෙහිදී තෝරා ගන්නේ සිකුරු හතේ චිත්‍රපටයයි.

මේ චිත්‍රපටයේ මානමාලියගේ පාර්ශවයෙන් මනමාලයා මත්පැන් පානය කරනවාද යනු වෙන් අසන විට කපුවා පවසන්නේ ඔය බැරිම වෙලාවක බොහොමත් කලාතුරකින් මනමාලයා බියර් ටිකක් බොන බවයි.මෙයින් දැඩි සතුටට පත්වන මනාලියගේ දෙමාපියන් මංගල්‍යයට එක පයින් කැමති වෙයි. කසාදයෙන් පසුව මනමාලයා හැමදාමත් කසිප්පු බොන අන්ත බේබද්දෙකු බව තේරුමි ගන්නා නිවිසියන් කපුවාගේ බෙල්ලෙන් අල්ලා ගන්නට මාන බලමින් සිටියි. මේ අතර නිවසට එන කපුවා පවසන්නේ තමන් කිසිම බොරුවක් නොකී බවත් කසිප්පු නැතිම දවසට මනමාලයා බියර් පානය කරණ බවත්ය. මෙයින් නිවැසියන් නිරුත්තර වෙයි.

තමුසේ යන වචනය ඇසීමෙන් ජනාධිපතිතුමා මේ තරම් අප්සට් වූයේ එතුමා නිකමටවත් තමුසේ නොකියන නිසා දැයි අප දන්නා ජනාධිපතිතුමාගේ මිතුරෙකුගෙන් විමසූ විට ඔහු කීවේ මෙවැනි කතාවකි. ඔවි එතුමා කොහොමටවත් කිසිම කෙනෙකුට තමුසේ කියලා කතා කරන් නෑ. මොකද එතුමා ගොඩක් වෙලාවට හුගක් අයට කතා කරන්නේ අකුරු තුනේ වචන වලින් නේ ඒ නිසා එතුමා කොහොමටවත් ඔය තමුසෙ කියන එකට කැමති නෑ. මීට පස්සේ ටෙලි නාට්‍ය කාරයොත් ඒ විදිහටම අකුරු තුනේ ඒවා පාවිචිචි කරලා ටෙලි නාට්‍ය හදනවා නම් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ මයේ හිතේ.

Tell a Friend