ප්‍රභූ ආරක්ෂක රථ සහ මහජන ආරක්ෂාව

අමිල ගුණරත්න

ප්‍රභූ ආරක්ෂක රථ යනු මැති ඇමති වරුන් විසින් උන්ගේ අම්මා අප්පාගේ දේපල වලින් මිලට ගත් වාහන නොවේ. එම වාහන මේ රටේ දුප්පත් මිනිසුන්ගේ පොදු මුදලින් මහා දවාලේම මංකොල්ලකා උන්ගේ සුඛ විහරණයට ගන්නා තඩි සුපිරි කාර් ය. මේවා එළවීමට දුප්පත් පන්තියෙන් එන කොස්තාපල්වරු , ප්‍රභූ රියදුරුවරුන්ට පැවරේ. මේ කටුස්සන්ද තම ගෙලේ බැඳී තාවකාලික රන් මාලය නිසා ඔලුව ඉදිමී ප්‍රභූ උණ ඇඟට ගෙන බල්ලා පුසා පමණක් නොව පාරේ යන මිනිසුන්ද යටකර ප්‍රභූ ආරක්ෂක රථ එලවති. අර ප්‍රභුවරයන්ද කටුස්සන්ට වාහනය ප්‍රවේශමෙන් එළවන්නට කියා නිකමටවත් කියන්නේ නැත. රැස්පොට් පෙන්නා මිනිසුන් සලිත කොට වීදි සංචාරයට මේ දේශපාලුවන්ටද ඇත්තේ කාලකන්නි ආසාවකි. වාහනයේ හැපී යම් මිනිසෙකු මැරුනොත් වාහනය නිල වශයෙන් අයිති ප්‍රභූවරයා කියාගන්නා මහජන දේපොළ මංකොල්ල කන්නා කේස් එක වාෂ්ප කරන නිසා එයටද වැඩි බයක් නැත. ඕනෑනම් දවසක් දෙකක් ප්‍රභූ රියදුරා උසාවියේ පෙනී සිටීමට සලස්වා එක ටෙලිෆෝන් කෝල් එකෙන් අණතුර යට ගසති. මේ වාහන පිඹගෙන එනවිට මහජනතාව කානු වලට බැසිය යුතුය. ඉතිහාසය පුරා ප්‍රභූ ආරක්ෂක රථ මහජනයා බල්ලන් බළලුන් ගානට මරා දමා තිබේ. හිටපු ජනාධිපති ප්‍රේමදාසගේ උදාගම් විවුර්ත කිරීමකින් පසුව පිඹගෙන ගිය ප්‍රභූ ආරක්ෂක රථයක් දුප්පත් මිනිසෙකු යටකර මරා දැම්මේය. ඒවා පොලිස් පොත් වල ලියැවුනේද නැත. මෑතකදී ජනාධිපති ආර්යාව ගිය ප්‍රභූ රථය අහිංසක මිනිසෙකු යට කළේය. ඒවාට උනේ මොකක්ද කියා පොලිස්පති පවා දන්නේ නැත. වෙන රටක අර ගුණදාස අමරසේකරයන්, නලින්ද සිල්වා(යන්) නිතර දෙවෙලේ කියන ගර්හිත කුමන්ත්‍රණකාරී ජරා තුච්ඡ බටහිර රටක පුරවැසියෙක් මෙසේ දේශපාලකයෙකුගේ රථයට යට කලේ නම් දේශපාලකයාගේ දේශපාලන ජීවිතයද හමාරය. පුරවැසියාට යුක්තිය ඉටුවේ. නමුත් බුදුන්ගේ දේශය යැයි උජාරුවෙන් කියාගන්නා මේ උතුම් දේශයේ දේශපාලකයන්ගේ වාහන මහා දවල් මිනිසුන් බල්ලන් , පුසන් ගානට හප්පා මරා දමති. ඉන් පසුව කැමති කෙනෙක් අර මළකුණ මාර්ගයෙන් ඉවතට අරගෙන යා යුතුය.
අගෝස්තු 30 වන දින බොරැල්ල කොටා පාරේ රොඩ්නි පෙදෙසේ දී අපරීක්ෂාකාරී ලෙස ධාවනය කළ එස්.බී. දිසානායක මහතාගේ ඇමති ආරක්ෂක ජිප් රථයක හැපීමෙන් ජලසම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවකු වසයෙන් සේවය කළ සුනිල් උපාලි (61) මහතා මිය ගොස් තිබේ. ඔහුගේ බිරිඳ මේවන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. අනතුරෙන් ඇයගේ පාදයකට බරපතළ හානි සිදුව ඇත.
මෙම අනතුර සිදුකළ ඇමති ආරක්ෂක ජිප් රථය අනතුර සිදුවූ මොහොතේ එය නොසලකා ධාවනය කර ඇත. පාරේ යන ජීවිත පොට්ට කාසියක් තරමටවත් නොසලකා මොවුන් මෙසේ පිඹගෙන වාහනය එළවා ඇත්තේ විදේශගතව සිට එන ළ එස්.බී. දිසානායක මහතාගේ පුත්‍රයා කටුනායක ගුවන් තොටුපළෙන් රථයට නංවා ගැනීමට යද්දීය. එකෙකු ජීවිතය වින්දනය කරන විට තවකෙකු ජිවිතයෙන් සමු ගත යුතුය. මෙය ලංකාවේ භයානක සත්‍යක් බවට පත්වී හමාරය.

මෙම සිදුවීම නිසා පහත සඳහන් සිදුවීම් ඉදිරි කාලයේ වෙනු ඇත

1) මෙවැනි අණතුරු හා මරණ දේශපාලකයන්, ප්‍රභූ රථ රියදුරන් , පොලිසිය , හා මහජනතාව මායිම් නොකරන නිසා සුනිල් උපාලි මහතාගේ මරණය ඉබේටම යට යනු ඇත

2) එස්.බී. දිසානායකගේ නම මේ අණතුරට ඇඳී තිබීම නිසා ඔහු සුනිල් උපාලි මහතාගේ මරණය පිළිබඳව කණගාටුව පළ කොට ඔහුගේ ඥාතීන්ට දුරකථන ඇමතුමක් දෙනු ඇත. එහිදී අනතුර සිදුකර පලාගිය ජීප් රථය සහ එහි රියැදුරුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවත් මියගිය සුනිල් උපාලි මහතාට වන්දියක් දෙන බවත් සහතික කොට කියනු ඇත. නමුත් රියැදුරුට එරෙහිව නිතිය ක්‍රියාත්මක වීමක් හෝ ලැබෙන වන්දියක් ද නැත. තව මාසයකින් දෙකකින් එස්.බී. දිසානායක මහතාගේ පුත්‍රයා කටුනායක ගුවන් තොටුපළෙන් යලි විදේශ ගත වන විට මෙම රියැදුරු ඔහුව කටුනායකට ගෙන යනු ඇත. එසේ යන්නේද පිඹගෙන පාරේ යන මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකරය.

3) තව මස තුනකින් සුනිල් උපාලි මහතා ඔහුගේ කිට්ටුම ඥාතීන්ට හැර පොලිසියට, අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කල රියදුරාට , එස්.බී. දිසානායක මහතාට , සහ ජනතාවට සහමුනින්ම අමතක වනු ඇත

4) යලිත් මැති ඇමතිවරුන් යන විදුරු කළු කරපු තඩි වාහන මහා දවල් මිනිසුන් බල්ලන් , පුසන් ගානට යට කරගෙන නොනවත්වාම ධාවනය කරති

5) මහජනතාව නිදිවරා අසල්වැසියන් සමග ගහ මරාගෙන පෝස්ටර් ගසා යලිත් මෙම දේශපාලන නඩයට චන්දය දී උන්ව බලයට පත් කොට එපා නොකියන්න උන්ගෙන් යලි ඉල්ලගෙන කති

6) තව නොබෝ කලකින් ලංකාව ආසියාවේ ආශ්චර්ය වනු ඇත

Tell a Friend