![]() |
ආණ්ඩුවේ දේශීයත්වය සහ දේශීය චින්තනය කියන්නේ කොළඹඅහිංසක ජනයාගේ නිවාස කඩා විනාශ කර ඒ ඉඩම් සුද්දන්ට අනූනව අවුරුදු බද්දට ලබාදී බදු සහන සැලසීමට ද? |
රනිල් වික්‍රමසිංහ
කොළඹ මහ නගර සභාව ප්‍රධාන පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත්ව සිටින සියලූම අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් මේ මස 17 වැනි දා සිය වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය. එතුමා මේ බව පැවසූයේ අද (06) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ 65 වන සාංවත්සරික මහා සභාව අමතමිනි. එහිදී එතුමා මෙසේද පැවසීය.
එක්සත් ජාතික පක්‍ෂයේ අප රටත් – ජනතාවත් පාවිච්චි කර කිසිවක් උපයා නොමැති අතර එසේ මුදල් ඉපැයීමට බලාපොරොත්තු වන්නේ ද නැහැ. එක්සත් ජාතික පක්‍ෂය වැට්ටීමටත්, කඩා විනාශ කිරීමටත් කිසිඳු බලවේගයකට නොහැකි බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම සහ ප්‍රබලතම දේශපාලන පක්‍ෂය වන්නේ එක්සත් ජාතික පක්‍ෂය බව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු මා සමග කියා සිටියා.
එක්සත් ජාතික පක්‍ෂය භේද වී ඇතැයි ද, මේ පක්‍ෂයට කිසිඳු අනාගතයක් නැතැයි ද, කවදාවත් ජයග්‍රහණය කළ නොහැකි යැයි ද ඇතැම් ජනමාධ්‍ය කියා සිටින අතර තවත් ජනමාධ්‍ය ව්‍යාපාරයක් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් මාව පළවා හැරීමට උත්සාහ කරන මේ මොහොතේ මේ වගේ කතාවක් කියන්නේ කිනම් පදනමක් යටතේ දැයි මම ඒ විශ්ව විද්‍යාල ශිෂ්‍යාගෙන් ඇසුවා.
ඒ අවස්ථාවේ දී ඒ ශිෂ්‍යයා මා සමග කියා සිටියේ 1947 සිට මේ මොහොත දක්වා ශ්‍රී ලංකාවේ තිබෙන එකම දේශපාලන පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය පමණක් බවයි. ඊට ප්‍රථම පැවැති වාමාංශික දේශපාලන පක්‍ෂ සියල්ල මේ වන විට නැති වී ගොස් ඇතැයි පෙන්වා දුන් ඔහු ද්‍රවිඩ සංගමය නැති වී ෆෙඩරල් පක්‍ෂය ආරම්භ වූ බව ද, ඒ පක්‍ෂය නැති වී ද්‍රවිඩ විමුක්ති එක්සත් පෙරමුණ ඇති වූ බව ද, ඒ පක්‍ෂයත් නැති වී මේ වන විට ද්‍රවිඩ ජාතික සන්ධානය නිර්මාණය වී තිබෙන බව ද කියා සිටියා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ වන විට කෑලි කෑලි කැඩී ගොස් ඇති බව සඳහන් කළ ඔහු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට පසුව මහජන එක්සත් පෙරමුණ බවට ද, ඊට පසුව නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බවට ද පත්වූ බව කියා සිටියා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පසුව සමගි පෙරමුණ බවට පත්වූ බව ද, අනතුරුව වාමාංශික පෙරමුණ බවට පරිවර්ථනය වූ බව ද, නැවතත් ඒ වාමාංශික පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බවටම පරිවර්ථනය වූ බව බව ද පෙන්වා දුන්නා.
අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පොදු ජන එක්සත් පෙරමුණ බවට පත් වී ඊට පසුව බුලත් කොළය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බවට පරිවර්ථනය වූ බව ද ඒ ශිෂ්‍යයා මා සමග විස්තර කළා. මේ තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්‍ෂය ස්වාධීන සහ තනි දේශපාලන පක්‍ෂයක් ලෙස මේ සියලූ තත්ත්වයන්ටත්, අභියෝගයන්ටත් මුහුණ දී මේ තරම් කාලයක් එකට ගමන් කළා කියන්නේ ඒ පක්‍ෂයට විශාල ශක්තියක් තිබෙන බව යැයි ඔහු පෙන්වා දුන්නා.
එවැනි ශක්තියක් සහ සංවිධානයක් තිබෙන දේශපාලන පක්‍ෂයක් මැතිවරණයක දී ජයග්‍රහණය කිරීම හෝ පරාජය වීම සිදුවිය හැකි නමුත් කිනම් වාතාවරණයක් යටතේ හෝ ඒ දේශපාලන පක්‍ෂය ඉදිරියට ගෙන යමින් නැවත ජයග්‍රහණය කරා මෙහෙය විය හැකි නිසා ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම දේශපාලන පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය ලෙස තමා හඳුන්වන බව ද ඒ ශිෂ්‍යයා කියා සිටියා. සිය කතාව පිළිගන්නේ යැයි ද, එසේ පිළිගන්නේ නම් ඊට හේතුව කුමක්දැයි ද ඒ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා මගෙන් විමසා සිටියා. ඔහුගේ කතාව පිළිගන්නා බව කියා සිටි මම ඊට හේතුව ඩී.එස්. සේනානායක මහතා යැයි ද පෙන්වා දුන්නා.
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා එක්සත් ජාතික පක්‍ෂය නිර්මාණය කර තිබෙන්නේ කිසිවෙකුට විනාශ කළ නොහැකි දේශපාලන පක්‍ෂයක් ලෙස බව මම ඒ ශිෂ්‍යයාට තේරුම් කර දුන්නා. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණහම ඒ නිදහස ආරක්ෂා කිරීමටත්, ශ්‍රී ලාංකිකත්වය රැක ගැනීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ආරක්‍ෂා කිරීමටත් දේශපාලන පක්‍ෂයක් අවශ්‍ය බව තේරුම් ගත් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂය නිර්මාණය කළා.
අපට බලය ලැබුණොත් අප ආණ්ඩු පක්‍ෂයේ සිට මේ වගකීම් සහ කාර්යභාරයන් ඉටු කරන්නේ යැයි ද, බලය නොලැබුණොත් විරුද්ධ පක්‍ෂයේ සිට හෝ ඒ සියල්ල ක්‍රියාත්මක කරන්නේ යැයි ද එතුමා එදා කියා සිටියා. ඒ කියන්නේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා එක්සත් ජාතික පක්‍ෂය නිර්මාණය කළේ ආණ්ඩු පක්‍ෂයේ හෝ වේවා, විපක්‍ෂයේ හෝ වේවා ඒ දෙපක්‍ෂයේම සිටිමින් සිය වගකීම් සහ කාර්යභාරයන් ඉටු කළ හැකි අයුරිනුයි.
එක්සත් ජාතික පක්‍ෂය හැරුණු කොට බලය අල්ලා ගැනීමට පමණක් ක්‍රියා කරන අනෙකුත් දේශපාලන පක්‍ෂ අම්බලමට සමානයි. ආණ්ඩු පක්‍ෂය අම්බලමක් යැයි කියන කතාව ඇත්තක් වන නමුත් එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ අම්බලමක් නොවෙයි. එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ නවීන ශ්‍රී ලංකා දේශපාලන ෙක්‍ෂ්ත්‍රයේ ඉතාම වැදගත්ම අංශයයි. පාර්ලිමේන්තු ක්‍රමය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය තහවුරු කර යහපාලනයකින් රට සංවර්ධනය කරමින් ජනතාවට සහන සැලසීම අපේ අරමුණයි.
එක්සත් ජාතික පක්‍ෂයෙන් තොරව ඒ වගකීම සහ කාර්යභාරය ඉටු නොවන අතර අප ඒ කටයුතු කරන්නේ මේ පක්‍ෂය සාමාජිකයන්ගේ පක්‍ෂයක් වන නිසයි. එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධිතව ශාඛා සමිති ක්‍රමය නිර්මාණය කළේ ඒ නිසයි. කෙසේ නමුත් මනාප ක්‍රමය හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ පමණක් නොව, අනෙකුත් දේශපාලන පක්‍ෂ ශාඛා ක්‍රමය ද අඩාල වූ නමුත් අපේ පක්‍ෂයේ ශාඛා සහ සමිති නැවත සංවිධානය කිරීමට අප අවුරුද්දක් සම්පූර්ණයෙන්ම වෙන් කර තිබෙනවා.
ඒ ඒ සංවිධායකවරුන් මේ ශාඛා සහ සමිති නැවත පණ ගන්වා ජනතාව සංවිධානය නොකරන්නේ නම් ඒ වගකීම් සහ කාර්යභාරයන් අලූත් සංවිධායකවරුන් මාර්ගයෙන් හෝ සිදු කිරීමට අප තීරණය කර තිබෙනවා. බිම් මට්ටමේ ඒ ජනතා බලය නොමැතිව අපට රටේ පාලන බලය අල්ලා ගැනීමට නොහැකි බව කිව යුතුයි. එම නිසා ඉදිරි අවුරුද්ද ඇතුළත දී අප මේ ශාඛා සහ සමිති නැවත පණ ගන්වා ජනතාව පෙළ ගැස්සවීම සිදු කරනවා.
1956 දී එක්සත් ජාතික පක්‍ෂය සම්පූර්ණයෙන්ම විනාශ වුණා යැයි සියල්ලන් සිතා සිටියත් අප නැවත නැගී සිටි අතර, 1970 දී නැත්තටම නැතිවුණා යැයි සිතුවත් අප 77 දී සිටියාටත් වඩා ශක්තිමත්ව ඉදිරියට පැමිණියා. උතුරේ ත්‍රස්තවාදයට මුහුණ දුන් එක්සත් ජාතික පක්‍ෂය දකුණේ ත්‍රස්තවාදයට ද මුහුණ දුන් අතර ඒ ඒ මැතිවරණවල දී මැතිවරණ කළ අපේ මිනිස්සු උණ්ඩයට මුහුණ දුන්නා. මේ අභියෝග හමුවේ අපේ සමහරුන් අපේ පක්‍ෂය වෙනුවෙන් උණ්ඩයට ජීවිත පූජා කළ අතර අප සෑම අවස්ථාවකම එක්සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කළා.
සමහරුන් දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට දෝශාභියෝග ඉදිරිපත් කරමින් එක්සත් ජාතික පක්‍ෂය අභ්‍යන්තරිකව කඩා විනාශ කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී මම ඊට එරෙහිව එදාත් මේ පක්‍ෂය ආරක්‍ෂා කර දුන්නා. 1994 දී එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගන්නා විට අපේ සියලූම නායකයන් ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර ආදියට ලක්ව ජීවිතක්‍ෂයට පත්ව සිටි අතර අභ්‍යන්තරයේ තිබූ භේද හේතුවෙන් පක්‍ෂයේ ඡන්ද පදනම දෙදෙරා ගොස් තිබුණා.
මේ තත්ත්වය යටතේ 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බලයට පත්වූ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්‍ෂයේ අවසානය සිදු වුණා යැයි බොහෝ අය සිතා සිටියත් අප කෙසේ හෝ නැවත මේ පක්‍ෂය ගොඩනැගුවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය අවුරුදු 20 ක් බලයේ සිටිනු ඇතැයි බොහෝ අය සිතා සිටියත් එතුමියට එසේ බලයේ රැදී සිටීමට හැකි වුණේ නැහැ. මේ අතර එක්සත් ජාතික පක්‍ෂය 2001 දී නැවත වතාවක් මේ රටේ බලයට පත්වූ අතර ඊට පසුව ඒ බලය අහිමි වුණා.
එක්සත් ජාතික පක්‍ෂය නැවත වතාවක් ඒ ඉදිරි ගමන යා යුතුව තිබෙන අතර ඒ ගමන යන්න අපට හැකියාව සහ ශක්තිය තිබෙනවා. ඒ සඳහා අප සියල්ලන් අපේ පාක්‍ෂිකයන් එක්රැස් කර සංවිධානය කරමින් ආණ්ඩුවට මුහුණ දිය යුතුයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අවුරුදු 15 ක් හෝ 20 ක් බලයේ සිටිනු ඇතැයි සමහරුන් කියා සිටියත් එසේ සිදු වන්නේ නැහැ.
මේ රටේ වැඩ කරන පන්තිය සහ මධ්‍යම පන්තිය ගොඩනැගඣ එක්සත් ජාතික පක්‍ෂය පොඩි මිනිහාගේ දේශපාලන පක්‍ෂයයි. සියලූ සේවක වැටුප් වැඩි කිරීමට ද, නව කර්මාන්ත ඇති කරමින් විරැකියාව දුරු කිරීමට ද, අර්ථ සාධක අරමුදල වැඩි කිරීමට ද, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ඇති කිරීමට ද අප ක්‍රියා කළා. එක්සත් ජාතික පක්‍ෂය අර්ථ සාධක අරමුදල ශක්තිමත් කරමින් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ඇති කළ නිසා ශ්‍රී ලංකාවේ වැඩිම මුදල් සම්භාරයක් මේ වන විට තිබෙන්නේ ඒ අරමුදල්වලයි.
ජනතාවගේ සල්ලි තිබෙන සේවක අර්ථ සාධක අරමුදල සහ භාර අරමුදල ආරක්‍ෂා නොකළ මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව මේ අරමුදල කොල්ල කෑමට උත්සාහ කළා. ඊට එරෙහිව කම්කරු ජනයා නැගී සිටි අතර රොෂාන් චානක තරුණයා ඒ වෙනුවෙන් සිය ජීවිතය පූජා කළා. මේ තත්ත්වය යටතේ පොඩි මිනිසාට හානියක් වන්නේ මේ ආණ්ඩුවෙන් බවත්, පොඩි මිනිහා ආරක්‍ෂා වන්නේ එක්සත් ජාතික පක්‍ෂයෙන් බවත් පැහැදිලියි. මේ ආණ්ඩුව ගොවියාට පොහොර ලබා දෙනවා වෙනුවට පොහොර සමග වස ලබා දීමෙන් මේ තත්ත්වය මනාව පැහැදිලි වී තිබෙනවා.
ජනතාවට ඉඩම් බෙදා දී නිවාස ඉදිකර දුන්නේ ද, නිදහස් අධ්‍යාපනය ලබා දුන්නේ ද, කොමිස් නොගසා මහා මාර්ග ඉදි කළේ ද, විදුලි බලය ලබා දුන්නේ ද, මහවැලි යෝජනා ක්‍රමය ඇතුලූ ජල විදුලි සහ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළේ ද, රූපවාහිනිය හඳුන්වා දුන්නේ ද, ජංගම දුරකථනය හදුන්වා දුන්නේ ද එක්සත් ජාතික පක්‍ෂයයි. අප ඒ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මධ්‍යම පන්තිය නිර්මාණය නොකළේ නම් ඔබට මේ අයුරින් ජීවත්වීමට හැකියාවක් ඇත්තේ නැහැ. කෙසේ නමුත් මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව මේ වන විට මධ්‍යම පන්තිය විනාශ කර ඇති නිසා ඒ පන්තියේ මිනිස්සුන්ට ජීවත් වීමට හැකියාවක් ඇත්තේ නැහැ.
මධ්‍යම පන්තිය විනාශ කළ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව වැඩ කරන ජනතාවටත්, පොඩි මිනිහාටත් පහර ගැසීමට ක්‍රියා කරනවා. මහින්ද චින්තන වැඩපිළිවෙළ අනුව මේ රටේ ක්‍රියාත්මක වන්නේ ලොකු මිනිස්සු සියල්ලන්ලෙන්ම මුදල් උපයා ගන්නා අතර පොඩි මිනිස්සු සියල්ලෙන්ම තැලී පොඩි වීමයි. සුළුතරයකට මුදල් හම්බ කර ගෙන අති සුඛෝපභෝගී මර්සිඩීස් වර්ගයේ බෙන්ස් කාර් පාවිච්චි කිරීමේ අවස්ථාව ලබාදීම සඳහා ත්‍රී රෝද රථ සේවාව මුළුමනින්ම නැති කර ඒ ජනතාව අතරමං කර තිබෙනවා.
එක්සත් ජාතික පක්‍ෂය ඉඩම් දී ඉදිකර දුන් කොළඹසාමාන්‍ය ජනතාවගේ නිවාස 65000 ක් මේ ආණ්ඩුව කඩා විනාශ කර දැමීමට යනවා. පොඩි මිනිහාගේ නිවාස කඩා විනාශ කර ඉඩම් කොල්ලකන ආණ්ඩුව ඒ ඉඩම් අනූනව අවුරුදු බද්දට සුද්දන්ට, ඉන්දියන්කාරයින්ට, චීනුන්ට සහ කොරියන්කාරයන්ට ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.
ආණ්ඩුවේ දේශීයත්වය සහ දේශීය චින්තනය කියන්නේ කොළඹඅහිංසක ජනයාගේ නිවාස කඩා විනාශ කර ඒ ඉඩම් සුද්දන්ට අනූනව අවුරුදු බද්දට ලබාදී බදු සහන සැලසීමට ද?
කොළඹ කොමර්ෂල් සමාගම පිහිටා තිබූ ගොඩනැගිල්ල කඩා ඒ අක්කර දෙකක ඉඩම ඉන්දියන් සමාගමකට විකුණා තිබෙන අතර ගාලූ මුවෙදාර පිටිය කොත්තු රොටියක්වත් නිෂ්පාදනය නොකරන චීන හෝටල් සමාගමකට විකුණා තිබෙනවා. කොළඹ ජාතික සම්පත් විකුණා කොළඹපොඩි මිනිහාගේ නිවාස කඩා විනාශ කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව පොඩි මිනිහාගේ සටන කොළඹනගරයෙන් අප ආරම්භ කළේ මේ තත්ත්වය යටතේයි.
එසේ නම් කොළඹමහ නගර සභා මැතිවරණයේ දී ඔබ තීරණය කළ යුත්තේ ඔබට අවශ්‍ය පොඩි මිනිහා වෙනුවෙන් පෙනී සිටින නගරාධිපතිවරයෙකු ද, නැතිනම් ලොකු මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින නගරාධිපතිවරයෙකු ද යන්නයි. ඔබට අවශ්‍ය ඔබ වෙනුවෙන්, ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිටින නගරාධිපතිවරයෙකු ද, එසේත් නොමැති නම් ශ්‍රී ලාංකිකයින් අමතක කරන නගරාධිපතිවරයෙකුද?
කොළඹ නගරයේ නිවාස 65,000 ක් විනාශ කර, ඒ ඉඩම් කොල්ල කා ගාලූ මුවෙදාර පිටිය ඇතුලූ කොළඹඉඩම් විදේශිකයන්ට විකුණන මේ අය එදා සීගිරිය විකිණීමට මම ක්‍රියා කරනවා යැයි මට චෝදනා කළා මට මතකයි. පොඩි මිනිහාත්, ඔහුගේ අයිතිවාසිකමුත් ආරක්‍ෂා කර දී තරුණ පරපුරට හොඳ අනාගතයක් උදා කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. එසේ නම් එක්සත් ජාතික පක්‍ෂය දිනවා පොඩි මිනිහාගේ ආණ්ඩුවක් ඇති කිරීමට අප සියල්ලන් ඇපකැප වී ක්‍රියා කරමු.
එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක දේශබන්දු කරු ජයසූරිය මහතා
එක්සත් ජාතික පක්‍ෂයේ 65 වැනි සංවත්සර උළෙල ඉතා චාම් එහෙත් අභිමාණවත් ලෙස පැවැත්වීමට අපිට හැකි වුණා. එදා විදේශ ආධිපත්‍යයෙන් රට මුදවා ගැනීම සඳහා මහාමානය ඩී.එස්. සේනානායක මැතිතුමා සියලූ ජාතීන් එකතු කරගෙන ක්‍රියා කළා. රට ආරක්‍ෂා කර ගනිමින් ජනතාව වෙනුවෙන් විශාල යුග මෙහෙවරක් එක්සත් ජාතික පක්‍ෂය ඉටු කර තිබෙන බව ආඩම්බරයෙන් අපට සිහිපත් කළ හැකියි.
අද මේ රටේ සමාජ සාධාරණත්වයක් ඉටුවන්නේ නැහැ. නීතිය නිසි ලෙස ක්‍රියාවට නංවන්නේ නැහැ. අද හැමදේම සිදුවන්නේ පාඨ පක්‍ෂ අනුවයි. එක්සත් ජාතික පක්‍ෂයේ 65 වැනි සංවත්සරය අද මේ සමරන්නේ රට ඒකාධිපති ගමනක් කරා යනු යුගයකයි. මේ රටේ ජනතාව ඒකාධිපතිවාදයෙන් මුදවා ගත යුතුයි. විනාශ වී යන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර දිය යුතුයි.
ඉතිහාසයේ කවර කළකවත් නොවූ විරු ආකාරයට රටේ ජනතාව වත්මන් ආණ්ඩුව යටතේ පීඩාවට පත්ව සිටිනවා. අසීමිත ලෙස ජීවන වියදම ඉහළ දැමීමේ අනිසි ප්‍රතිඵලවලට ජනතාව මුහුණපා සිටිනවා. යකඩ පොලූ සංස්කෘතිය අද රට පුරා පැතිරී ගොස් තිබෙනවා. මේ අකාරුණික පාලනයෙන් රට මුදවා ගත යුතුයි. සියලූ රට වැසියන්ට සමාජ සාධාරණත්වය ඉටුකර දීමට එක්සත් ජාතික පක්‍ෂය කැපවී ක්‍රියා කරන බවට මා සහතික වෙනවා. මේ සඳහා සමගිය එකමුතු කම අත්‍යවශ්‍යයි. ඒ තුළින් වැඩිකල් යෑමට පෙර එජාප ආණ්ඩුවක් වශයෙන් බිහිකර ගත හැකි බව මට විශ්වාසයි.
එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා
එක්සත් ජාතික පක්‍ෂයේ 61 වැනි සංවත්සරය ඉතා චාම්ව හා සුළුවෙන් පැවැත්වීමට අප තීරණය කළා. ඒ අනුව මෙම උත්සවයට බස්නාහිර පළාතේ සංවිධායකවරු හා ක්‍රියාකාරිකයින්ට පමණක් ආරාධනා කළා. එජාප 65 වසරක් පුරාවට නොයෙක් තර්ජන ගර්ජන හා බාධකයන්ට මුහුණ දෙමින් ශ්‍රීලනිප දේශපාලනයේ ශක්තිමත් පක්‍ෂයක් ලෙස ජනතාව අතර සිටිනවා.
ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්‍ෂා කර ගැනීම අපේ පක්‍ෂයේ ප්‍රධාන අරමුණ වුණා. පක්‍ෂය ආරම්භ කළ අවස්ථාවේ දීම විවිධ හැල හැප්පිලිවලට මුහුණ දී සාර්ථක ගමනක් පැමිණි පසුගිය 65 වසර තුළ රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කිරීමට එජාපයට හැකි වුණා. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් 60 වසරක් සම්පූර්ණ වී තිබෙනවා. ඒ පක්‍ෂය ගතවූ අවුරුදු 40 තුළ තනි පක්‍ෂයක් ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසිලා නැහැ. අද ඒ පක්‍ෂයේ නම නැහැ. පක්‍ෂයේ නිල සලකුන වන අත අද නැහැ. ඔවුන් හැම විටම සන්ධාන ගතව විවිධ සලකුණුවලින් මැතිවරණවලට ඉදිරිපත් වුණා.
නමුත් එක්සත් ජාතික පක්‍ෂය හැමදාමත් පක්‍ෂයේ අනන්‍යතාවය ආරක්‍ෂා කරමින් ක්‍රියා කර තිබෙනවා. අද එක්සත් ජාතික පක්‍ෂයේ සැමගේ අරමුණ විය යුත්තේ ජනතා වාදී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි. ඒ අභියෝගය කරට ගෙන රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යැවීමේ ගමන ඇරැඹිමට දැන් කාලය උදාවී තිබෙනවා.
පක්‍ෂයේ එකමුතුකම, සමිගිය ආරක්‍ෂා කර ගනිමින් සියලූ පාර්ශ්වයන් එක පවුරක්සේ එකට එක්ව දූෂිත රාජපක්‍ෂ පාලනයෙන් රට මුදවා ගැනීමට ක්‍රියා කළ යුතුයි.
එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති ගාමිණි ජයවික්‍රම මහතා
ගතවූ වසර 65 ක ඉතිහාසය තුළ එක්සත් ජාතික පක්‍ෂය දියකර හැරීමට විවිධ බලවේග උත්සාහ කළා. නමුත් ඒ සෑම අවස්ථාවක දීම පක්‍ෂය ශක්තිමත්ව නැගී සිටියා. කිසිදු බලවේගයකට අපේ පක්‍ෂය දිය කර හැරීමට හැකි වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය 60 වැනි සංවත්සරය සමරන මේ මොහොත වන විට ඒ පක්‍ෂය දියවී ගොස් තිබෙනවා. අද එහි සිටින්නේ සැබෑ ශ්‍රී ලංකා පාක්‍ෂිකයන් නොවෙයි. මේ ආණ්ඩුව නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොවෙයි. ආණ්ඩුවේ ඔළුවක් කදක් ශක්තිමත් වී තිබෙන්නේ එජාපයෙන් ගිය මන්ත්‍රීවරු නිසයි.
ආර්ථික ගාථකයින් එක්සත් ජාතික පක්‍ෂයේ නැහැ. ඒ අය සියලූදෙනා අද ආණ්ඩුව සමග එක්වී සිටිනවා. මේ දූෂිත ආණ්ඩුව පන්නා දමා ජනතාවාදී ආණ්ඩුවක් බලයට ගෙන ඒමට දැන් කාලය උදාවී තිබෙනවා. ඒ සඳහා පෙළ ගැසෙන ලෙස රටේ සියලූ ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.
එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක රවී කරුණානායක මහතා
එක්සත් ජාතික පක්‍ෂය අද 65 වැනි සංවත්සරය සමරන්නේ රටේ ඉතාම තීරණාත්මක අවස්ථාවකයි. මේ රටවෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂය තරම් වෙන කිසිදු පක්‍ෂයක් වැඩකර නැහැ. අපේ අසමගිය නිසා මේ ආණ්ඩුව බලයේ සිටිනවා අපි සමග සම්බන්ධව එකමුතුව කටයුතු කරනවා නම් මේ දූෂිත ආණ්ඩුවේ ගමන නතර කළ හැකියි.
මේ පක්‍ෂය තුළ විවිධ අය සිටිනවා. ලකුණු දෙන අය සිටිනවා ලණු කන අය සිටිනවා. කකුලෙන් අදින අය ඉන්නවා. මේ සියල්ල පසෙකලා සියලූදෙනා එකමුතු විය යුතු කාලය දැන් එළැඹි තිබෙනවා.
1956 දිත් මෙවැනිම තත්ත්වයක් එක්සත් ජාතික පක්‍ෂයට ඇති කරන්න උත්සාහ කළා. නමුත් 1957 කොළඹනගර සභාව ජය ගෙන වැටී තිබූ පක්‍ෂය ශක්තිමත්ව නඟාසිටුවීමට ක්‍රියා කළා සේම අද 65 වැනි සංවත්සරය සමරණ මේ මොහොතේ මා ඉල්ලා සිටින්නේ සියලූදෙනා එක අරමුණකින් ක්‍රියාකර පක්‍ෂය ගොඩගැනීමට පෙළ ගැසෙන ලෙසයි.
එහිදී අනුශාසනා කළ නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තිනියාවෙල පාලිත හිමි.
ජාතික ආගමික හා ශාසනික වශයෙන් රටට විශාල වැඩ කොටසක් කළ පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයයි. පක්‍ෂයේ සමගිය එකමුතු කම ආරක්‍ෂා කරගෙන ඉදිරියට ගියොත් ජයග්‍රහණය නියමිතයි.
කවුරු කවදා මොනවා කීවත් මා ලෝකයෙන්ම ආදරය කරන දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ මහතායි. මේ පක්‍ෂයේ සියලූ අය පරණ භේද අමතක කර එකමුතුව ගමන් යෑමට පක්‍ෂයේ 65 වැනි සංවත්සර පාදක කරගන්නා ලෙස මා පක්‍ෂයේ සියලූ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
Post a Comment