එච්. එම්. අයි. හේරත්
රජරට විශ්ව විද්‍යාලය
විජයාගමනයේ සිට වර්තමානය දක්‌වා වන වසර 2500 අධික කාලපරිච්ඡේදය තුළ අභීත සිංහලයාට විවිධාකාරවූ පෙරඅපර දෙදිග ආක්‍රමණ වලට මුහුණ දීමට සිදුවූ බවට සාධක අපමණය. චෝල, පාණ්‌ඩ්‍ය, රාෂ්ත්‍රකූට, විජයනගර්, ජාවක, පෘතුගීසි, ලන්දේසි සහ ඉංගී්‍රසි යනාදි බලසම්පන්න හමුදා සමූහයකින් අනූන වූද සුවිශාල යටත් විජිත දාමයකින් සමන්විතවූ ඒකී විදේශ ආක්‍රමණිකයන්ට එරෙහිව ස්‌වකීය නිදහස උදෙසා සටන් වැදුනු සිංහලයා සතුව උපායශීලී ආරක්‌ෂක සංවිධානයක් මෙන්ම දියුණු අවිආයුධ සහ සන්නාහ ක්‍රම පැවති බවට පැහැදිලි සාධක සාහිත්‍ය මුලාශ්‍රවලින් මෙන්ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින්ද අනාවරණය වේ. විශේෂයෙන්ම කාලයෙන් කාලයට දිවයිනට පැමිණි විවිධාකාර සංක්‍රමණිකයන් සහ ආක්‍රමණිකයන්ගේ යුධෝපකරණ හා ස්‌පර්ශය ලබමින් සිංහල අවිආයුධ සහ සන්නාහ ක්‍රමෝපායන් ක්‍රමිකව සංවර්ධනය වූ බව පෙනේ. කෞටිල්‍යගේ අර්ථශාස්‌ත්‍රය, වෛජන්ත තන්ත්‍රය යන කෘතීන්ට අනුව ඉපැරණි සිංහලයන් විසින් යුධෝපකරණ නිෂ්පාදනය කරන ලදි. වෛජන්ත තන්ත්‍රයට අනුව අවිආයුධ නිෂ්පාදනය කිරීම සඳහා ලෝකඩ, පිත්තල, තඹ, යකඩ, රත්රන්, රිදී, කළු රසදිය සහ සුදු රසදිය යන ලෝහ වර්ග ප්‍රයෝජනයට ගැණින. අවිආයුධ පණ පෙවීම සඳහා අවැසි ද්‍රව්‍ය, ස්‌ථානය, සුභ අසුභ සංකේත, නැකත් පිළිබඳ විස්‌තර ඉපැරණි පුස්‌කොල පොත් වලින්ද අනාරණය වෙයි.
පුරාතනයේ සිට මහනුවර යුගය දක්‌වා කාල පරිච්ඡේදය තුළ විශිෂ්ඨ යුධෝපකරණ නිෂ්පාදන ක්‍රියාවලියක් පැවති බවට අනුරාධපුරය, සමනලවැව, කොත්මලේ ආශ්‍රීත ප්‍රදේශ වල සිදු කරන ලද පුරාවිද්‍යාත්මක කැනීම් අනුසාරයෙන් හමුවී ඇති යකඩ උදුන්, යබොර සහ අවිආයුධ යනාදි පුරාකෘති මගින් පැහැදිලි වෙයි. පොළොන්නරු යුගයේ රචිත අභිධානප්පදීපිකාවට අනුව සිංහල අවි ආයුධ කොටස් 04ට බෙදනු ලැබේ. ඒවා නම්,
* මුත්තාමුත්ත - දමාගැසීමෙන් හෝ අතේ තබාගෙන පහරදිය හැකි ආයුධ
* අමුත්ත- අතේ තබාගෙන පමණක් පහරදිය හැකි ආයුධ
* පාණිමුත්ත- අතින් මුදාහරින ආයුධ
* යන්තමුත්ත-උපකරණයක් මගින් මුදාහරින ආයුධ
මීට අමතරව ඉපැරණි සිංහලයන් භාවිතා කළ ප්‍රමුඛතම අවිආයුධ 32 මහැදුරු තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් හඳුනාගෙන තිබෙන අතර ඒවායින් කීපයක තොරතුරු පමණක් අපට හමුවෙයි. දෙතිස් ආයුධ පහත දැක්‌වෙයි.
කඩුව තෙබ කන්ඩිතලය යගදාව කරවල තලිකොලේ කැතිආයුදේ පාරාවළල්ල අඩයට් ඉෂ්ටි චන්දප්ප්‍රඋරට්‌ටිය චක්‍රය මුගුර කොන්තේ නවලය නලිනොලය මුගුර ත්‍රිශූලය
ඊ දණ්‌ඩ තෝමරය ශේලායුධය හෙන්ඩුවලේ කෙටේරිය නරච්චියේ මහත්ඉතලේ සිරිය
දැමුණු කොළ ආයුදේ
සුරිග සවලය වජරමුෂ්ටි සොරනොල්ල ආයුදේ
මේවායින් වැදගත්ම ආයුධය වූවේ කඩුව, දුන්න, මුගුර, සිරිය සහ හෙල්ලය. ප්‍රහාරයක දුර අනුව පැරණි සිංහල ආයුධ කොටස් තුනකට බෙදිය හැක.
කෙටි දුර ප්‍රහාරක ආයුධ :- කඩුව, මුගුර, කෙටේරිය, සිරිය, යගදාව
මධ්‍යම ප්‍රහාරක ආයුධ උදා :- චන්ද්‍රවංකය, පාරාවළල්ල, චක්‍රය
දිගුදුර ප්‍රහාරක ආයුධ - උදා :- දුන්න, ගල්ප්ටිය, ගල්දුන්න
කඩුව
මුහුණට මුහුණලා සටනකදී, ගරිල්ලා ප්‍රහාරයකදී සහ වධක කාර්යයේදී අත්‍යවශ්‍ය වූ ආයුධයකි. කඩුව (Sword) දරුණු ලෙස කැපෙන මුවහතකින් සහ තුඩක් සහිත සෘජු දිග තලයකින් යුත් කඩුවේ ලෝහමය සහ දාරුමය මිට හස්‌ති, හංස, මොණර, සිංහ, සවස්‌තික, ශංඛ යනාදි මෝස්‌තරවලින් අලංකාර කෙරින. රාජකීය කඩුව, මඟුල් කඩුව ගිතෙලින්ද, රණශූරයාගේ කඩුව රුධිරයෙන්ද, සාමාන්‍ය කඩුව කිරෙන්ද පණ පෙවිය යුතුවිය. දේව, රක්‌ෂ, මනුෂ්‍ය යන ත්‍රිවිධ ගණ වලට අයත් සෙබලූන් සටනකදී ඒ ඒ ගණවලට අදාල කඩු වර්ග භාවිතා කළ යුතු වේ. රාජකීය කඩුවක දිග අඟල් 50 කින්ද, සාමාන්‍ය කඩුවක් අඟල් 49 න්ද දිගුවූ අතර, පළල අඟල් 2x3 අතර විය. අසි, ඛගිගෝ, සායකෝ, මණ්‌ඩලග්ගෝ, නෙත්තිංසෝ, කස්‌තානය, ඛග්ග, සායකෝ, මණ්‌ඩලග්ගෝ, නෙත්තිංසෝ, කස්‌තානය, ඛග්ග, යනාදී විවිධ නාමයන්ගෙන් පුරාතනයේ හැදින්වූ කඩුව අනවශ්‍ය අවස්‌ථාවල බහාලීම සඳහා සැහැල්ලූ ලෝහයෙන් නිපදවූ කොපුවක් භාවිතා කෙරිනි. කඩු ශිල්පය පැරණි සිංහල සෙබලාගේ යුද්ධ අභ්‍යාස වල ප්‍රමුඛතම අංගයක්‌වූ බව මහාවංශය සහ කඳවුරු සිරිත පෙන්වා දෙයි. අනුරාධපුර යුගයේ රජුගේ කඩුව භාර තැනැත්තා අසිග්ගාහක නම් නිලධාරියා විය. දඹදෙනි අස්‌නේ ගුර්ජර්, ජාවා, වංග, අයෝධ්‍ය, චීන, අරබි, රන්, තෙලිඟු, සිරිවැල් යනාදී කඩු වර්ග රැසක් ලැයිස්‌තුවේ දැක්‌වේ. රණ බිමේදී භාවිතයට ගන්නා කඩුවලට වඩා වධක කාර්යයේදී භාවිතා කරන කඩුවේ තලය විශාල විය. මහා වංශයට අනුව සුරනිමල යෝධයාගේ ප්‍රියතම ආයුධය වුයේ කඩුවය. මූලිකවම කඩුව දරණ ලද්දේ වමතිනි. තවද දඹදෙනි අස්‌නේ විෂ කැවූ තල සහිත කඩු පිළිබඳ විස්‌තර ඇතුළත්වේ. පුරාතන, මධ්‍යකාලීන සහ නූතන යන සෑම යුගයකදීම එකසේ ජනප්‍රියවූ ආයුධයකි කඩුව.
දුන්න
දුර සිටින සතුරෙකු විනාශ කිරීම සඳහා පැරණි සිංහලයන් භාවිතා කළ ප්‍රමුඛපෙලේ ආයුධ වන්නේ දුන්න (Bow) සහ ඊතලයයි. (arrow) මධ්‍යකාලීන යුගයේ රචිත දඹදෙනි අස්‌නට අනුව තත්තාරි දුනු, ගල් දුනු, මාරදුනු, කළුදුනු, චන්ද්‍රාවංක දුනු, තිවංක දුනු, මිටි දුනු ඇතුළු දුනු වර්ග 21 ක ලැයිස්‌තුවක් අන්තර්ගතය. ඉපැරණි යුද්ධ පුහුණු සැසිවලදී අනිවාර්යයෙන් ඉගැන්වූ ධනුර්ධ ශිල්පයේදී චන්ද්‍රාලෝකයට අනුව විදීම, සතුරාගේ ශබ්දයට අනුව විදීම, සතුරාගේ මරු නිළ වලට මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම වැනි ක්‍රම වේද 12 ක් පැවති බව මුලාශ්‍ර වල සඳහන් වේ. පැරණි යුගයේ චාප, දුනු යනාදී නාම වලින් දුන්න හඳුන්වා දී ඇත. සාමාන්‍ය, දුනුවායා ධනුග්ගහ, ධනුර්ධර සහ ඉස්‌සාස යනුවෙන් ශිලා ලේඛන වල හඳුන්වා දී ඇත. ඉපැරණි දුනුවායා දුන්න, ඊතල සහ කොපුව යන යුධෝපකරණ වලින් සන්නද්ධ විය. නියමාකාර දුන්න මාළුවෙකු පිටේ හැඩයට සමාන විය. මුලිකවම දුන්න අර්ධ කවාකාරව නවා කෙලවර දෙකට අඟලක් පමණ මෙහායින් කට්‌ටක් හො මැලියම් මිශ්‍රිත වරපට හෙවත් දුනු දිය සවිකර ගැනීම සඳහා ලෝහමය මුදලක් එකතු කරන ලදි. දුනු දිය හෙවත් දුනු ලණුව සඳහා නුග පට්‌ට, ගෝණ බඩවැල්, නියදි, අරළු යනාදි ශාකමය වැල් වර්ග යොදාගත් අතර දුනු ලීය සඳහා කළු, කළුවැල්, වේවැල්, සින්දුරම් යන ගස් වර්ග යොදා ගන්නා ලදි. ඊතලය (arrow) සඳහා ගැටවණ, කොබ්බෑ, කැති දෙමට, වේවැල්, කුකුරුමහන් සහ කරඩු වැනි සැහැල්ල දැව වර්ග භාවිතා කෙරිණි. ඊ හිස් (arrow head) සඳහා යකඩ, සත්ව ඇට කටු, සහ ලී වලින් සකසන ලද ඊ හිස් ප්‍රයෝජනයට ගන්නට ඇත. බොහෝ විට ඊ හිස සතුරාගේ ශරීරයට මාරාන්තික ඇමිණෙන ලෙසට සකසා තිබිනි. මීට අමතරව යුධ ඇතුන්, අශ්වයන් ඝාතනය කිරීම සඳහා මධ්‍යකාලීන සිංහල දුනුවායන් ගෝකන්න නම් විශේෂ ඊතල වර්ගයක් නිපදවා තිබිණි. විශේෂයෙන්ම ගරිල්ලා, යුද්ධවලදී උඩරැටියන්ට අතිශයින්ම ප්‍රයෝජනවත්වූ දුන්න යුද්ධ කාර්යයට පමණක් නොව පණිවිඩ හුවමාරු කිරීම සඳහාද ප්‍රයෝජනයට ගැනින. දුන්නෙන් විදිනා ආකාරය පූජාවලියේ මෙලෙස විස්‌තර කෙරේ.
දුන්නක් ගෙන්වා යටි පිලාව වම්පස මාපට ඇඟිල්ලෙහි නිය පිට තබා දුන්න (පූ.ව. 146)
චන්ද්‍රවක්‌කය
චන්ද්‍රවක්‌කය හෙවත් සිංහල බූමරංගයද මධ්‍යකාලීන හා නූතන සිංහලයා සතුව පැවති අවශේෂ මාරාන්තික ආයුධයකි. විවිධාකාර බූමරංග සිංහලයන් ඕස්‌ටේ්‍රලියාවේ ඇබෝර්ජිනිස්‌වරු (Aborigines), නවසීලන්තයේ මඕරිවරු, අන්දමන් දූපත්වාසීන්, දකුණු ඉන්දියාවේ නිල්ගිරිස් ගෝත්‍රීකයන් විසින්ද සත්ව දඩයම සහ සතුරන් ඝාතනය කිරීම සඳහා භාවිතා කළ බව පෙනේ. මූලිකවම සිංහල චන්ද්‍රවක්‌කය දෙවැදෑරුම්වූ අතර එහි අර්ධකවාකාර මා වේවැලක් දිගින් අඟල් 30x40 පමණ දිගු වන අතර එයින් අර්ධයකට වඩා විශාල ප්‍රමාණයක් යකඩ මුදු යොදා ශක්‌තිමත් කර තිබුණි. එහෙත් අනික් වර්ගය අඩස\කාරව නිමවන ලද ශක්‌තිමත් දැවයෙන් සවිගන්වා තිබිනි. විශේෂයෙන්ම මෙහි වක්‍ර, පැතලි ස්‌වරූපය හේතුවෙන් සතුරා ඉලක්‌ක කර විසිකල සැනින් නැවත ප්‍රහාරකයා මතට ආගමනය වේ. මෙයින් සතුරාට මරණීය තුවාලයක් ඇතිවිය හැක. ඇතැම් විට මෙහි ප්‍රහාරක ශක්‌තිය වේගවත් කිරීම සඳහා චන්ද්‍රවක්‌කය අල්ලා ගන්නා ස්‌ථානය අසල දැවමය හෝ යකඩ ගුලියක් සවිකරන ලදි. රාමසරය යන නමින්ද හඳුන්වන චන්ද්‍රවක්‌කය නිපදවීම සඳහා ශක්‌තිමත් දැව සහ හරක් අඟත් ප්‍රයෝජනයට ගැණින. මහනුවර යුගයේදී බහුල වශයෙන් භාවිතා කෙරුණු මෙය ග්‍රාමීයව නිෂ්පාදනය කෙරිණ. අඩි 2, අඟල් 8 ක් දිගැති චන්ද්‍රවක්‌කයන් කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත්කර තිබේ. මීට අමතරව දඹුල්ල, කබැල්ලෑ ලෙන විහාරවල ඇඳි බිතු සිතුවම්වලින් චන්ද්‍රවක්‌කවල රූපසටහන් හමුවෙයි.
තෝමරය
තෝමරය හෙවත් ඉලුක්‌කෝලය ද යුද්ධ කාර්යය සංවිධානයේදී පැරණි සිංහල ආයුධ ආදිවාසීහු භාවිතා කළ තවත් වැදගත් ආයුධයකි. මෙය මහනුවර යුගයේදී මෙය ඉලුක්‌කොලය නමින්ද හදුන්වා තිබේ. මෙහි ඉහල කොටසෙහි හැඩය ඉලුක් ගසක පත්‍රයට සමාන වීම හේතුකොට ගෙන උක්‌ත නාමය බිහිවූ බව පෙනේ. සතර කොරළයේ පවතින ජන කතාවකට අනුව ගල්ඔය නම් තොටුපලේදී II රාජසිංහ රජු විසින් එක්‌තරා මිනීමරු කිඹුලෙකුගේ උගුර පසාරු කරගෙන යන ආකාරයට දමා ගසා ඇත්තේ මෙම ඉලුක්‌කොලයයි. පසුව රජුට එය ගලවා ගැනීමට අපහසු වීලූ. මෙහි මුල් කොටස ඉතා තියුණු උලකින් සමන්විතය. දල වශයෙන් අඟල් 30x40 ප්‍රමාණයකින් යුතු මෙම ආයුධය ඇනීමෙන් පමණක් නොව සතුරා වෙත දමා ගැසීමෙන්ද ප්‍රහාර එල්ලකල හැක. මහනුවර යුගයට අයත් හඟුරන්කෙත, දඹුල්ල යන විහාරස්‌ථාන වලට අයත් බිතුසිතුවම් වල මෙම ආයුධය ඇඳ ඇත.
කිරිච්චිය
සිරිය, ජූරිකාව යන නාමයන්ගෙන් හඳුන්වන්නාවූද, සුවිශේෂී සිංහල ආයුධයකි කිරිච්චිය. (Dagger) මෙයද විවිධාකාර යුද කටයුතු සඳහා පෙරඅපර දෙදිග ඉපැරණි ජාතීහූ ප්‍රයෝජනයට ගත් ප්‍රමුඛ පෙලේ ආයුධයකි. සිංහල කිරිච්චිය තුඩයේ ස්‌වරූපය, තලයේ ස්‌වරූපය, පළදින ස්‌වරූපය අනුව වර්ග කීපයකි. උල්වී ගිය තුඩ, ගිණිසිළුවක ස්‌වරූපය, අර්ධ වක්‍රාකාර තලය, කැපුනු මුදුන ඇති තලය, සිහින් තුඩක් සහිත යනාදී විවිධාකාර තල සහිත පැරණි සිංහල රණකාමීහු විසින් භාවිතා කරන ලදි. සතුරාට කෙටි ප්‍රහාර එල්ල කිරීම, ශරීර අලංකරණය සහ ආත්ම ආරක්‌ෂාවට විවිධාකාර ලෙස හැඩ දැමූ කිරිච්චි වර්ග සිංහල ප්‍රභූවරු සහ සාමාන්‍ය ජනතාව විසින් භාවිතා කල බව පෙනේ. අනුරාධපුර, පොළොන්නරු සහ මහනුවර යුග වල මෙය ඉතා ජනප්‍රියව පැවතිනි. විශේෂයෙන් මහා පරාක්‍රමබාහු රජුගේ හමුවෙහි රන් කිරිච්චියෙන් සන්නද්ධ මහා හමුදාවක් සිටි බව මහා වංශයේ සහ නිකාය සංග්‍රහයේ සඳහන් වෙයි. ක්‍රි. ව. 17-19 සියවස්‌වල යුරෝපා ආක්‍රමණයන්ට එරෙහිව ගරිල්ලා යුද්ධවලින් ජයගත් සේනාපතිවරුන් සහ සෙබළුන්ට රජු විසින් මැණික්, ඇත් දළ, රිදීයෙන් සහ රනින් වැඩදැමූ චමත්කාරජනක කිරිච්චි තෑගි කළහ. බොහෝ විට උඩ රට ප්‍රභූවරුන්ගේ නිලබල ක්‍රමයට අනුව කිරිච්චියේ ස්‌වරූපය වෙනස්‌විය. කොළඹ ජාතික කෞතුකාගාරයේ අංක 6-7 මැදිරිවල, මහනුවර, රත්නපුර කෞතුකාගාර වල උඩ රට කිරිච්චි වර්ග හඳුනාගත හැක. වර්තමානයේ උඩරට සිංහල මුල් ඇඳුමේ කොටසක් වශයෙන්ද කිරිච්චියක් අන්තර්ගත වේ.
මුගුර
සතුරාට මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම, සතුරාගේ සිරුර බෙලහීන කිරීමට සහ සතුරාගේ යුධෝපකරණ විනාශ කිරීම සඳහා පැරණි සිංහල රණකාමීහු භාවිතා කළ වැදගත් ආයුධයකි මුගුර (Klab) යගදාව, යදාව, බලතඩි යන විවිධ නාමයන්ගෙන්ද මෙය හැඳින්වේ. මුගුර සටන් සඳහා අනුයුක්‌ත කරන ලද්දේ ඉතා ශක්‌තිමත් අයවලුන් වූ අතර ඔවුන්ට කැට ගලක් හෝ සිරුරට පතිත නොවන පරිදි වේගවත් මුගුරු හසුරුවන ආකාරය උගන්වන ලදි. ක්‍රි.ව. 13 වන සියවසට අයත් දඹදෙණ අස්‌නට අනුව දැව, ලෝකඩ, රිදී සහ රනින් මුගුරු නිපදවූ බව සඳහන් වේ. සාමාන්‍යයෙන් මුගුරක අතින් අල්ලා ගන්නා කොටස ක්‍රමයෙන් විශාල වන ලෙසට දැවයෙන් හෝ ලෝහයෙන් නිමකරන ලදී. උක්‌ත ප්‍රහාරක කොටස ක්‍රමයෙන් විශාල වන ලෙසට දැවයෙන් හෝ ලෝහයෙන් නිම කරන ලදි. උක්‌ත ප්‍රහාරක කොටසෙහි සාමාන්‍යයෙන් සතුරාට මරණීය තුවාල සිදුවන ආකාරයට යකඩ උල්, ගල්, විෂ කටු සහ දැවමය උල් සවි කෙරිණි. මුගුරු වල ප්‍රමාණයන් වියත් 11x12 අතර විය. මහනුවර යුගය වන විට රජවාසල මල්ලව පොර සඳහාද බහුල වශයෙන් මුගුරු භාවිතා කල බව පෙනේ.
හෙල්ල
සත්ති, පටිස්‌ථාන, කුන්තායුධය, සොටිය, ලැස්‌කරීන් යන විවිධ නාමයන්ගෙන් හඳුන් වන හෙල්ල (Spear) පැරණි සිංහල රණකාමින් අත පැවති සුපතල ආයුධයකි. කෙටි දුරක සිටින සතුරාට සෘජු ප්‍රහාර එල්ල කිරීම සඳහාද එල්ලය බලා සතුරා වෙත විසිකොට මරා දැමීම සඳහා මෙම අයුධය භාවිතා කරන ලදී. සාමාන්‍යයෙන් මෙහි තලය අඟල් 15x25 අතර දිගුවූ අතර පළල අඟල් 2 ක් විය. ඇතැම් කල සතුරාට ඇණීමෙන් පසුව නැවත ඇද ගැනීමේ පහසුව සඳහා ත්‍රිශූලාකාරව, ත්‍රිකොණාකාරව සහ තරංගාකාරව නිමවා ඇත. ඉපැරණි ද්වාර ආරක්‌ෂකයින්ගේ ප්‍රමුඛතම ආයුදයක් වූයේ මෙයයි. වැලි කොට්‌ට හෝ පඹයන්ට ඇනීමෙන් හෙලි සටන් ක්‍රම පුරුදු කරවන ලදී. විශේෂයෙන්ම ඇතුන් පිට හෝ අසුන් පිට නැඟී ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙන්ම ඇත්, අසරු හමුදා බෙලහීන කිරීම සඳහාද මෙය භාවිතා කළ බව පෙනේ. උක්‌ත හෙල්ලෙහි අවස්‌ථානෝචිත විකාශනයක් ලෙසි විසි හෙල්ලය හවත් අඩයට්‌ටිය පෙන්වා දිය හැක. මෙය පුරාතන රෝම ලීජන්වරු භාවිතා කළ පීලම් (Pillaum) නම් දමා ගසන හෙල්ලට සමාන කළ හැක. බොහෝ විට හෙලි වල සහ අඩයට්‌වල තලය තරංඟාකාර , සෘජු වලින් සහ තියුණු තුඩකින් සන්විත වූ අතර එමගින් සතුරාට මාරාන්තික තුවාල ඇති කර විය හැක.
ගල් පටිය
අවම වශයෙන් යාර 300 ක පමණ දුරක සිටින සතුරෙකුට නිවැරදිව ප්‍රහාර එල්ල කළ හැකි සරල ආයුධයකි ගැට ලණුව හෙවත් ගල් පටිය (Slinger) මෙය වර්ථමානයේදීද මධ්‍යම, සබරගමු පලාත්වල ගම් වැසියන් දඩයම සඳහා භාවිතා කරති. දිගින් අඟල් 3Ù7 ක් පමණ වූ අණ්‌ඩාකාර තට්‌ටුවක දෙපසින් ලණු දෙකක් විහිදෙයි. එයින් කෙටි ලණුව අඩි 3 ක් පමණ දිගු පුඩුවකින් කෙළවර වෙයි. දිගම ලණුව අඩි 4 ක් පමණ දිගය. මෙම ආයුධය භාවිතා කිරීමේදී සෙබලා දික් ලණුවේ අග කොණ දෙතුන් වටයක් ස්‌වකීය අතේ පටලවා ගනී. පසුව ගල් කැටයක් තබා කොට ලණුවේ අග පුඩුව එම අතේ දඹරඟිල්ලට දමා ගනී. පසුව ගල් කැටය ගල් පටියේ එල්ලයි. ගල් කැටය විසි කෙරන්නේ අතපසුපස සිට ඉදිරියට වරක් අර්ධ කවාකාරව වේගයෙන් පැද්දීමෙනි. නැතහොත් ගල්පටිය කිහිපවරක් කැරකවීමෙනි. විශාල ප්‍රවර්තන වේග ශක්‌තියක් ලැබුණු පසුව පුඩුව ඇඟිල්ලෙන් ලිස්‌සා හිරිනු ලැබේ. මෙය පුරාතන ඇසිරියන්වරු, හීබෲවරු, රෝමන්වරු යුද්ධයේදී භාවිතා කල විශේෂ ආයුධයකි. විශේෂයෙන්ම පුරාතනයේදී මෙම ආයුධය භාවිතා කිරීම සඳහා බහුල වශයෙන් අනුයුක්‌ත කරන ඇත්තේ වමත්කරුවන්ය.
රණ පොරව
ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිටම සිංහල රණකාමීහු සතුව පැවති සුලභ ආයුධයක් වූයේ රණ පොරවයි. (Battle axe) මෙය වෛකින්, ප්‍රෑන්ක්, චීන, බුරුම රණකාමිහූ භාවිතා කල අතිශය මාරාන්තික ආයුධයකි. තනි අතින් හෝ අත් දෙකින්ම පහර දීමට හැකි ලෙස නිපදවා තිබුණි. මෙහි දරුණු ප්‍රහාර එල්ල කිරීම සඳහා සුදුසු පරිදි ත්‍රිකෝණාකාර, චන්ද්‍රාකාර, අර්ධ චන්ද්‍රාකාර, සෘජුකෝණාකාර හැඩැති මුවහත් සවිකර තිබුණි. ඇතැම්විට දමා ගැසීමේ හැකියාව පැවති රණ පොරව විවිධ කාල පරිච්ෙච්දවල කෙටේරිය, අත් පොරව, කොණ්‌ඩ කෙටේරිය යනාදි විවිධ නම් වලින් හඳුන්වා ඇත. වර්තමානයේදී පිටිසරබද ගැමියන් වල් ඌරන් දඩයම් කිරීම සඳහා භාවිතා කරයි.
පාරා වළල්ල
සතුරාට ක්‌ෂනික ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉපැරණි සිංහල රණකාමීහු භාවිතා කළ ආයුධයකි වානේ පාරා වළල්ල හෙවත් චක්‍රායුධය. මෙය දිගු කරන ලද දඹරැගිල්ල වටා කරකවා විසිකරන ලදී. මෙයින් සුළු කැපෙන සුළු පරිධියකින් යුත් ආයුධය පාරා වළල්ල විය. බොහෝ විට සටනකදී බොහෝ සතුරන් නැසීම සඳහා චක්‍රයුධ හෝ පාරාවළලු කීපයක් භාවිතා කෙරිණ. මේවා සැහැල්ලු ලෝහයෙන් නිපදවන ලදි.
වේළායුධය
දල වශයෙන් අඩි 4 x 6 අතර ප්‍රමාණයෙන් යුත් වෙලායුධයද සිංහලයන් සතුව පැවති තවත් මාරාන්තික ආයුධයකි. කැපෙන සුළු නම්‍යශීලී දිගු තල සහිත කසයක් බඳු මෙම ආයුධයෙන් සතුරන් විශාල ප්‍රමාණයක් එකවර මරා දැමිය හැක. වර්තමාන කසකරුවන් කස කරකවන ආකාරයට සුපරීක්‌ෂාකාරීව කැරකැවීමෙන් මෙම ආයුධය භාවිතා කළ හැක. එහෙත් අවිකරුට ස්‌වකීය වෙලායුධය නිසි පරිදි භාවිතා කළ නොහැකි වුවහොත් ඔහු එයින් මිය යැමට ඉඩ ඇත.
ජම්බු බටය
දිගින් අඟල් 80 ක් පමණ වන මෙය නවජම්බුව යන නාමයෙන්ද හැඳින්වෙයි. දැවමය කුඩා බටයකින් සමන්විත මෙහි එක් කොනක මැටි පිඩුවක ආධාරයෙන් විෂ පෙවූ හීයක් තබනු ලැබේ. පසුව සතුරු ඉලක්‌කය වෙත අනෙක් අගින් පිඹිමෙන් ක්‍රියාත්මක වෙයි.
සැට්‌ට සහ වෙනත් ශරීරාවරණ
මාරාන්තික ආයුධ වලට අමතරව පැරණි සිංහල රණකාමීහු සතුව වර්ධිත සන්නාහ ක්‍රමෝපයන්ද පැවති බවට සාධක ඇත. එහෙත් ඒ පිළබඳව මූලාශ්‍රවල සාක්‌ෂි හමුවන්නේ දුලබ වශයෙනි. මේ හේතුවෙන් පුරාතන රෝම ලීජන්වරුන්ගේ සහ මධ්‍යකාලීන යුරෝපීය නයිට්‌වරුන්ගේ ලෝහමය යුධ නිල ඇඳුම් දෙස අවිචාරශීලීව නිරීක්‌ෂණය කරන යමෙකු පැරණි සිංහලයන් යුධ සන්නාහ ක්‍රම භාවිතා නොකළ පිරිසක් වශයෙන් ඒත්තු ගැන්වීමට ඉඩ ඇත. එහෙත් ඔවුහූ යුද්ධයකදී ශරීරාවරන නොපැලදවීමට හේතු ක්‌වේරෝස් පියතුමා මෙසේ දක්‌වයි.
යුද්ධයකදී ඔවුහූ හුදු ආරක්‌ෂකසන්නාහ භාවිතා නොකරති එය භය හා දුර්වලභාවය පිළිබඳ ලකුණක් ලෙස සලකති.
එහෙත් මූලවංශය හා මහා පරාක්‍රමබාහු රජතුමාගේ සේනාව දකුණු ඉන්දීය ආක්‍රමණවලදී සහ අභ්‍යන්තර කැරලි මර්දන ව්‍යාපාරයන් වලදී. මී හරක් සමින් (Lather) කල විශාල පලස්, යකඩින් සහ මුව සමින් කළ යුධ සැට්‌ට පැළඳගත් බවට වාර්තා කරයි. සෙබලුන් පමණක් නොව ඇතුන් දොරටුව බිදලු කඩොල් ඇතාගේ කථා පුවතින් සනාථ වෙයි. මහනුවර යුගයේ රචිත මන්නාරම් පුවතෙහිද උඩරැටියන් යුද්ධ කාර්යයේදී ශරීරාවරණ පැළඳගත් බව වාර්තා කරයි.
දුනු කඩු පලිහ ලා ගෙන සන්නාහයෙන් හෙල්ල දුන්න තොප්පි සැට්‌ටද සුවහසින
(ම.ප.ප. 120)
පදම් කළ සමින් සහ යකඩයෙන් කළ සැටිටවලට අමතරව මහනුවර යුගයේ සෙබලූ සැහැල්ලු ශරීරාවරණ කීපයක් පැළඳ සිටි බව උඩරට නර්තන ශිල්පියාගේ ඇඳුම සහ ඇම්බැක්‌ක දේවාලය, කබල්ලෑ ලෙන, දඹලු ලෙන, බුළු ලෙන යනාදී ඵෙතිහාසික ස්‌ථාන වලින් හමුවී ඇති චිත්‍ර, කැටයම් පරීක්‌ෂා කිරීමෙන් පැහැදිලි වේ. ඒවාට අනුව උඩරට සෙබළාගේ සන්නාහ කොටස් පහත දැක්‌වේ.
ජාලාකාර පපු ආවරණය
ශ්‍රොaණි ප්‍රදේශ ආවරණය
වැලමිට ආවරණය
උරහිස් ආවරණය
ග්‍රීවා ආවරණය
ඇඟිලි මුදු
මාල
වළලු
කර්ණාභරණ
ඝණ රෙද්දෙන් කළ හිස්‌වැසුමක්
පෙරදිග කඩු ශිල්පයේ මූලික හරය වනුයේ සතුරා කැපීම මිස ඇනීම නොවේ. මේ නිසා උක්‌ත ශරීරාවරණ මෘදු ලෝහයෙන් තනීව සකසා තිබිණි. මෙම`ගින් ශරීරාවරණ පැළඳගත් සෙබළාට විඩාව නොදැනේ. සතුරන්ගේ සැහැල්ලූ ප්‍රහාර වලින් ශරීරය ආරක්‌ෂාවේ.
පලිහ
වෘත්තාකාර, හෘර්කාර, ඉලිප්සාකාර, සමචතුරස්‍රාකාර සහ සෘජුකෝණාස්‍රාකාර හැඩැති ඉපැරණි සිංහල පලිස් (Shiled) ප්‍රධාන වශයෙන් නිපදවීම සඳහා ප්‍රධාන වශයෙන් නිපදවීම සඳහා ගැඩුඹ දැව භාවිතා කෙරිණි. පලිසේ මුහුණත රිදී, ඊයම්, දැව, වානේ සහ පදම් කරන ලද සමෙන් නිපදවින. බොහෝ විට වක්‍රකාර හැඩයගත් පලිහේ මුහුණතේ මධ්‍ය කොටස් ඝණ ඊයම් තට්‌ටුවක් අතුරන ලදී. එමගින් සතුරු ප්‍රහාරයේ ත්‍රීව්‍රතාවය අවම වෙයි. සතුරා වෙතින් එල්ල කෙරෙන කඩු, තෝමර, හෙලි ප්‍රහාර වේගවත්ව වැළැක්‌වීම සඳහා පලිසේ අතුල්ලන හම් හැඩලයක් සවිකර තිsබිනි.මහනුවර, කොළඹ සහ රත්නපුර කෞතුකාගාර වල සිංහල පලිස් තැන්පත්කොට ඇත. මීට අමතරව ඉපැරණි සිංහල සෙබළ යුද්ධ ඇඳුමට කම්බායක්, දෝතියක් සහ තලප්පාවක් අනිවාර්ය විය. උක්‌ත සාධකවලට අනුව ඉපැරණි සිංහල රණකාමීහු සතුව දියුණු අවිආයුධ සහ සන්නාහක්‍රම පැවති බව නිගමනය කිරීම සාධාරණය.
ආශ්‍රිත ග්‍රන්ථ
01 මධ්‍යකලීන ශ්‍රී ලංකාවේ ආරක්‌ෂක සංවිධාන - ටී. ජී. කුලතුංග
02 සිංහල ත්‍රාසජනක ක්‍රීඩා, පී. ඒ. පී. දැරණියගල
03 මහනුවර රාජධානියේ ආරක්‌ෂක ක්‍රමෝපාය, පී. ඇස්. ගමගේ
04 උඩරට මහ කැරැල්ල (II) කාණ්‌ඩය) , තෙන්නකෝන් විමලානන්ද
05 මධ්‍යකාලීන ලංකා සංස්‌කෘතිය, විල්හෙල්ම් ගයිගර්
06 මධ්‍යකාලීන ලංකා සමාජය ජී. ඇම්. බී. ආරියපාල
07 මන්නාරම්පුර පුවත, සංස් ලබුගම් ලංකානන්ද හිමි
08 ලංකා ඉතිහාසය (Ι, ΙΙ කාණ්‌ඩ) - සෙනරත් පරණවිතාන
Post a Comment