අමිල ගුණරත්න
අපගේ ජනමාධ්‍ය අපරාධ කිරීමට ටියුෂන් දෙන සේවයක් දක්වා පහත වැටී ඇත. මිනිසුන්ට දිවි නසාගැනීමට ජනමාධ්‍ය අත්වැලක් වුවා සේ දැන් ග්‍රීස් යකුන් පිළිබඳව භීතියද ඒ සඳහා අපේක්ෂක උනන්දුව ඇති කිරීමද ජනමාධ්‍ය විසින් කටයුතු කරගෙන යනු ලැබේ. ලංකාව යනු ආකල්පමය වශයෙන් නොදියුණු , තවමත් වැඩවසම්, රහසින් පවු කරන , නමුත් සුදු පිරුවට පිටට පෙන්වන , මිනිසුන්ගේ ජිව විද්‍යාත්මක ආශාවන්ට තහංචි පනවන , ගැහැණියකගේ කොට ගවුමක් , කලවා යුගලක් දුටු විට තමා තුල සැඟවී සිටින වනචරයා උඩට එන නිසා කිපෙන සදාචාර නීති පැනවීමට උත්සහ දරන සුචරිතවාදීන් සිටින ගෝත්‍රික සමාජයකි. එවැනි සමාජයක විකෘති ආශාවන් ඇති ග්‍රීස් යකුන් බිහි වීම පුදුමයක් නොවේ. නමුත් නොකඩවා දෙන මාධ්‍ය ප්‍රචාරය නිසා ගම් වල නිකරුනේ බෝක්කු උඩ , ත්‍රිවිල් පාක් වල , කාලය මරමින් කාන්තාවන්ගේ ඇඳුම් , ගමන් විලාශය යනාදී මෙකි නොකී දේ ගැන අසහනකාරී කතා කියා කියා ඉන්න තරුණයන්ට ග්‍රීස් යකෙකු වීමට ත්‍රිල් එකක් ඇතිවේ. ඉන්පසු එම ත්‍රිල් එක නිසා හුදකලා පාරවල් වල ගමන් කරන ගැනුන්ගේ ඇඟවල් වලට පැනීමටද , තනි පංගලමේ වෙසෙන ගැහැණුන්ගේ ගෙවල් වලට කඩා වැදීමද මොවුන් කරති. මේ නිසා ජන ජීවිතය අවුල් වී යයි. අහේතුවකට මෙන් ජාතික යැයි පාරම්බාන පුවත්පත් ද ග්‍රීස් යකුන් පිළිබඳව නොකඩවා පුවත් රටට බෙදති. අප මෙම ජාතික පුවත්පත්වල කතුවරුන්ගෙන් එක ඉල්ලීමක් කරමු. කරුණාකර අනවශ්‍ය පරිදි ග්‍රීස් යකුන්ට ජනමාධ්‍ය හරහා ප්‍රචාරය නොදෙනු. ඔබලා මේ යෙදී සිටින්නේ ග්‍රීස් යකුන් ප්‍රවර්ධන වැඩසටහනකය.
Post a Comment