මහින්ද රාජපක්ෂ ග්‍රීස් යකෙකු ලෙස

නිලන්ත ඉලංගමුව

සත්‍ය මොකක් වුණත් ලංකාවේ පවතින ප්‍රශ්න යට ගැසීම සඳහා කුමන හෝ කුණු ගොඩක් හොයා ගෙන එය පවතින බැරෑරුම් ප්‍රශ්ණය ලෙස තැකීම ලංකාවේ දේශපාලන මොඩලය වූ බව පසුගිය දශක ගණනාව පුරා දක්නට ලැබුණු රටාව වේ. බොරුව සහ බොරු කිරීමට සේම එය නොකළා සේ වසා දැමීමට ඇති සට කපට කම ලංකාවේ සංස්කෘතිය වන විට අප අතින් ගිලිහුණු දෑ බොහෝය. පසු කාලෙකදී සමස්ථයක් හැටියට රැවටුණු රටක් බවට පත් වෙන්නේ සහ එකිනෙකා රවටා ගන්න රටක් බවට පත් වන්නේත් ඒ නිසාය. අපට දේශපාලන නායකත්වය තුළින්ද ඊට විරුද්ධව පැන නැගුණු නාමික "විප්ලවීය" සටන්කාමී තරුණ කණ්ඩායම් වලින්ද ලැබුණු සැබෑ අස්වැන්න වන්නේ එයයි.

දුටු ගැමුණු රජතුමාගේ කඩුව සහ ඔටුන්න තමන්ට හිමි කර ගැනීම උදෙසා වන මහා විශාල මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා භාවිතා කරන එක් අවියක් ලෙස ග්‍රීස් යකා පිළිබඳව ඇතැමුන් කතා කරති. ඊට අනුව කාන්තාවන් 1000 ගෙන් අවශ්‍ය වී ඇති රුධිර සාම්පල් මඟින් අදාළ ගැමුණුගේ කඩුව සහ ඔටුන්න ලබා ගත හැකි බව විස්වාශ කෙරේ. මෙම කතාව සත්‍ය වුණත් අසත්‍ය වුණත් ඉන් ලංකාවේ සත්‍ය තත්වය ගැන නිවැරදි චිත්‍රයක් ලබා ගත හැකිය . මා විසින් මීට පෙර අවස්ථා ගණනාවකදීම මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ මානසික තත්වය ගැන කියා ඇත්තෙමි. එය සරලව යළිත් ප්‍රකාශ කරන්නේ නම් මහින්ද රාජපක්ෂ වූ කලි සිංහල හින්දු බමුණු අන්තවාදී පුද්ගලයෙකි. මෙනිසා බෞද්ධ සහ ජෛන ආගම් වලින් තම පැවැත්ම නැති වන විට විවිධ උප්පර වැට්ටී ඔස්සේ තමන්ගේ පැවැත්ම තහවුරු කරගත් බමුණන්ගේ ස්වභාවය රාජපක්ෂ විසින්ද තහවුරු කොට ඇත. තවත් අතකින් ගීස් යකා වූ කලි හදිසි නිතීය පවත්වා ගැනීමට භාවිත කරන සමාජීය සාධකය ලෙස ඇතැමුන් ප්‍රකාශ කරති.

රාජපක්ෂට දුටු ගැමුණුගේ කඩුව සහ ඔටුන්න ලැබෙයිද ඉන් පසු කුමක් වන්නේද යන්න ගැන රාජපක්ෂ සහ ඔහුට උපදෙස් දෙන ඇත්තන් පමණක් දනිති. නමුත් රටේ ප්‍රශ්ණය වෙන එකකි. ඒ ආර්ථික අර්බුධයකට තල්ලු වී ඇති රටේ දූෂණයෙන් තොර සමාජ ආරක්ෂණයක් තනන්නේ කෙසේද යන ප්‍රශ්නයය. විසේශයෙන් මේ වන විට ලංකාවේ ආයෝජකයින් බොහොමයක් තම ආයෝජනයන් ගැන කල කිරී ඇති අතර ඊට ප්‍රධාන හේතුව පාලනයකින් තොරව සිදු වන දූෂණයය. දේශපාලනික වශයෙන් කිසිඳු වැදගැම්මකට නැති සම්බන්ධතා නිර්මාණය කරමින් සිටින ආණ්ඩුව තමන් මෙන් හොරුන් සිටින ලෝකයේ වෙනත් රටවල් සමඟ කුළුපඟ වී ඇත. මෙය පුද්ගලික සුඛ විහරණය සඳහා ඉතා වැදගත් වේ. රාජපක්ෂ කරමින් සිටින්නේ මෙයයි.

සත්‍ය වශයෙන්ම රටට පැහැදිලි නායකත්වයක් අවශ්‍ය වේ. එය මවාගත් පුද්ගල ප්‍රතිරූපයෙන් ඔබ්බට ගිය සමාජීය සංස්ථා ( අධිකරණය , පොලිසිය , පාර්ලිමේන්තුව ) වලට නිශ්චිත බලය ලබා දෙන වැඩපිළිවෙලක් ඔස්සේ සිදු විය යුත්තේය. නමුත් රාජපක්ෂ පාලනය යටතේද සිදු වෙමින් පවතින්නේ සමාජීය සංස්ථා වලට තිබූ බලය ඝනතනය කරමින් ඒවා තමන්ගේ පවුල වෙත කේන්ද්‍ර ගත කිරීමකි. මේ නිසා නීතිය වූ කලි තම විරුද්ධවාදියා මට්ටු කිරීම සඳහා යොදා ගන්නා මෙවලමක් බවට කරගෙන තිබේ. රටේ සැබෑ ග්‍රීස් යකුන් වන්නේ මෙකී ආයතන වලට හිමි ස්වාධීන බලතල නැති කර දමා සියල්ලම තමන්ගේ බූදලයක් බවට පත් කර ගන්නා අයවලුන්ය. එනයින් ජනාධිපති මහින්ද රාජපක්ෂ රටේ ප්‍රධානියා ලෙස සිදු කරමින් සිටින්නේ ග්‍රීස් යකෙකු විසින් ගම් මට්ටෙමේදී සිදු කරන ක්‍රියාවලියම වේ. රටේ සැබෑ ප්‍රශ්න හමුවේ ග්‍රීස් තවරා ගත් පුද්ගලයෙකු මිනිසුන්ගෙන් ලෙස්සා යන ආකාරයෙන් රාජපක්ෂද ලිස්සා යාම තම දේශපාලන සංස්කෘතිය ලෙස පේනවා ඇත. මෙම තත්වය හමුවේ ජනතවාට සැබෑ ග්‍රීස් යකා සොයා ගැනීමේ සැබෑ උවමනාවක් තිබේනම් පැමිණිය යුත්තේ තම බිරින්දෑ වරුන්ද රැගෙන අරලියගහ මන්දීරයේ ප්‍රධාන දොරටුව අභියසටය.

Tell a Friend