ආත්මය තුළ හිලක්‌; ඒ හිල තුළ යකෙක්‌!

දේශපාලනික වශයෙන් දිවයින පුවත්පත සම්ග අපට මොන මට්ටමේ නොගැලපීම තිබුනත් අද දින කතුවරයා විසින් ලියනු ලැබූ කතු වැකිය අනර්ඝය. ලිව්වේ අනුර සොලමන් විය යුතු. බෙලි කැපිලි නැමත්තේනම් යහ ගුණයෙන් පිරි මහත්මා ගුණයක් අනුරට තිබේනම් ඔහු ඉතා දක්ෂ ලේඛකයෙකි. ඔහුට අනෙකා වසඟයට ගැනීමේ හැකියාවක් තිබේ. කෙසේ වෙතත් අද දින දිවයින කතු වැකියට පාදක වී ඇති කතාව පිළිබඳව අතිරේඛ කාරණා අවශ්‍ය නොවේ. අවශ්‍ය කාරණය සහ සුද්දෙන්ම මදි නොකියන්න ලියා ඇත. පොලිසිය නිවට වී ඇති තැනක නීතියක් නැති තැනක විසඳුම 2X2 පොලුය. ලංකාවේ ඇත්ත එයය.

ඊට සමගාමිව යන ලංකාවේ ලිංගික ප්‍රශනය ගැනද මේ ආකාරයෙන්ම කතා කිරීමට හැකිනම් අනර්ඝය. ඇතැම් පුවත්පත්වලම ලොක්කන් පොඩි පොඩි ගැටවුන්ගේ අර අහවල් තැන තමන්ට රිසි සේ පාවිච්චි කොට මාධ්‍යවේදියෙක් යයි නම් කොට කාඩ් එකක් දෙති. තවත් සමහරක් පොඩි ගැටිස්සියන් පිටිපස්සේ දුවති. එසේම අද දිවයිනේම ප්‍රදේශිය පුවත් කතුවරයා වන නාරධ නිශ්ශංක වාර්තා කරන පරිදි එක්තරා පුද්ගලයෙක් යුවතියක් නාන තැනට ගොඩ වී සෙයාරූ ගැනීමට යාමෙන් මාට්ටු වී ඇත. අවුල ඇත්තේ සමස්ත සමාජයේ මෙන්ටලිය තුළය. ග්‍රීස් යකා වූ කලී ආර්ථික සහ ලිංගික අසහනයේ දේශීය නිෂ්පාදනයකි. දිවයින කතු වැකිය පහත පලවන්නේ කිසිඳු සංශිධනයකින් තොරව ආසියාවේ ආශ්චර්ය ගැන හද පිරි සතුටෙනි,

-------------------------------

මේ රටේ පැජරෝවල යන අති නවීන ධනවතුන්ගෙන් වැඩි දෙනකුගේ ගෙලෙහි හෝ ඉනෙහි සුරයක්‌ තිබේ. විරුද්ධ වාදීන් හැඳි ගෑවී යන ලෙස කන්නලව් කරමින් දේවාල ගානේ යන ඔවුහු පොල් ගසමින් ද මිරිස්‌ අඹරමින් ද ස්‌වකීය විඤ්ඤාණවාදී ලෝක තුළට වී ළඟ එන අපල උපද්‍රව ගැන කල්පනා කරමින් ළතැවෙති.

ශ්‍රී ලංකාව යනු ඉතා වේගයෙන් පරිගණක තාක්‍ෂණය වැළඳ ගනිමින් සිටින රටකි. පරිගණකය ජන ජීවිතයට කොතරම් ආසන්න වෙමින් පවතින්නේද යත් අද වන විට හඳහන් බැලීම ද පරිගණකයෙන් සිදු කෙරේ. මෙකල කර්මාන්ත ශාලා වැඩිහරියක තාක්‍ෂණික පරිපාලනය සිදු කෙරෙන්නේ පරිගණකය මගිනි. එසේ තිබියදී කල්ලු මලයාලි වශී ගුරුකම් කරන, එපා අය වෙන් කර දෙන, ඕනෑ අය දෙපා ළඟට ගෙන්වා දෙන චීවරධාරීන් සහ "ගුරා" ලා විශාල වශයෙන් ප්‍රසිද්ධව සිටිති. සමහරු හරිගියාම ගාස්‌තුව ගෙවන්නැයි කියති. සමහරු "ගාස්‌තුවත්" එපා - පූජා භාණ්‌ඩවලට සුළු මුදලක්‌ වැය කරන්නැයි" කියති. තවත් කෙනකුගේ ඉල්ලීම වන්නේ "දේවාලය හැදීමට උළු, ගඩොල්, ජනෙල්, උළුවහු පරිත්‍යාගයක්‌ කරන ලෙසය. මේ රටේ මිනිසා යාන්ත්‍රික වශයෙන් දියුණුවෙන් දියුණුවට පත් වෙද්දී ආත්මීය වශයෙන් හුදෙකලා වන සෙයක්‌ පෙනේ. ඔවුන්ගේ ආත්මය තුළ හිලක්‌ ඇත. ඒ හිලට රිංගීමට යකෙක්‌ පුල පුලා බලා සිටී.

අප ඉහත සඳහන් පූර්විකාව ලියන ලද්දේ වතුකරයේ ග්‍රීස්‌ යක්‌කු තේ කර්මාන්තය වනසති යනාදි වශයෙන් ඊයේ (11 දා) "දිවයිනේ" කොළඹ මුද්‍රණයේත් අද "දිවයිනේ" පිට පළාත්වලත් පළවූ පුවතට පූර්විකා වශයෙනි. මේ දිනවල "ග්‍රීස්‌ යක්‌කු" වශයෙන් ප්‍රසිද්ධියට පත් සල්ලාලයන් ගැන රටේ තැන තැන කතා පවතී. ඇඟ පුරා ග්‍රීස්‌ තවරාගත් මේ සල්ලාලයෝ යට ඇඳුමකින් පමණක්‌ සැරසී රාත්‍රී කාලයේදී හෝ පාන්දර යාමයේදී කැලෑමන්ඩිවලින් මතුවී කාන්තාවන් වැළඳ ගත්තෝය; සිප ගත්තෝය; සිරුරු මඬින්නෝය යනුවෙන්ද කතන්දර පවතී. මේ යකා ගැහැනුන් වැළඳ ගැනීමටත් පෙර ඇතැම් අසරණ නූගත් ගැහැනුන්ගේ හදවත් විසින් ඒ යකුන් වැළඳගැනීම නිසා වතුකරයේ තේ කැඩීම නැවැතී ඇත. යකා එන බවට පෙර සූදානමක්‌ වතුකර වාසීන්ගේ හිත් තුළට පිවිස ඇති හෙයින්a තේ වතුවල වැඩට යැමෙන් වතුකර වාසීහු වැළකෙති. ග්‍රීස්‌ යකා යනු අල්ඛයිඩා සංවිධානය හා සමාන සංකල්පයකි. ඕනෑම අන්තවාදී ඉස්‌ලාමිකයන් කිහිපදෙනකුම ඇමරිකාවට එරෙහිව බෝම්බයක්‌ පත්තු කිරීමට දායක වීමෙන් අල් ඛයිඩා ශාඛාවක්‌ පිහිටුවා ගත හැකිය. මෙසේම ඕනෑම වනචරයකු යට ඇඳුමක්‌ පමණක්‌ ඇඳ ඇඟ පුරා ග්‍රීස්‌, කලුතෙල් හෝ පොල්තෙල් තවරා ගැනීමෙන් ග්‍රීස්‌ යකකු විය හැකිය. මේ යකා පලවා හැරීමට අවශ්‍ය වන එකම සාධකය 2X2 ප්‍රමාණයේ පොල්ලක්‌ පමණි. එම පොල්ල දෑත බදා ග්‍රීස්‌ යකාගේ පිට මතට හෙළීමෙන් සියලු ප්‍රශ්න නිරාකරණය කර ගත හැකි වන්නේය.

යකුන් භූතයන් මළ පෙරේතයන් යනාදීහු ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික සමාජයේ නිත්‍ය සාමාජිකයෝ වෙති. මෙයට වසර 150 කට පමණ පෙර මෙරට විසූ බුද්ධිමතකු වන දොන් දන්ද්‍රිස්‌ ද සිල්වා ගුණරත්න මුදලිතුමා නමැති අද්විතීය පර්යේෂකයා විසින් Demonology and witcheraft in ceylon යනුවෙන් පොතක්‌ ලියා ඇත. සිංහලයා මළ යකුන් සමග මොන තරම් විශාල සම්බන්ධයක්‌ පවත්වන්නේ ද යන්න මේ පොත මගින් ඔහු හෙළිදරව් කර ඇත. අපේ රටේ ලක්‍ෂ ගණනාවක්‌ යක්‌කු වෙසෙති. කැලයට, ප්‍රදේශයට, පළාතට, ගල්ලෙනට පමණක්‌ නොව තාප්ප, බෝක්‌කු හා වතුර වළවල්වලට පවා අරක්‌ගත් යක්‌කු අප අතර සිටිති. ඊට අමතරව මියගිය ඕනෑම මිනිහෙකුට ද යකෙකු හෝ ප්‍රේතයකු වීමේ අවස්‌ථාව තිබේ. යක්‌කු සිටියත් නැතත් උන් සිටින බවට මතවාදයක්‌ පවත්වාගෙන යැම කට්‌ටඬියාට වාසියකි. යකුන් වැඩි වූ තරමට බිස්‌නස්‌ ද වැඩිය. දන්ද්‍රිස්‌ ද සිල්වා ගුණරත්න මුදලිතුමා කතා කළේ ශ්‍රී ලංකාවේ යක්‍ෂ ප්‍රජාව ගැන පමණි. ඉන ඔබ්බෙහි රුසියාවෙහි විසූ ලියෝ ටෝල්ස්‌ටෝයි මහා ලේඛකයා පවා යකුන් ගැන විශ්වාස කළේය. ජීවිතයේ අවසාන කාලයේදී ඔහු ලියූ කෙටිකතා රැසක යකුන් හා පිසාචයන් ගැන ඇත.

යකකු පැරදවීම සඳහා 2x2 ප්‍රමාණයේ පොල්ලකට අමතරව හිතේ හයියද තිබිය යුතුය. මේ ආයුධ ඇතිව මගට බසින්නාට යකුන් එකා පිට එකා බිම දැමීමට හැකි වනවා ඇත.

Tell a Friend