අතුරලියේ රතන බුද්ධ පුත්‍රයෙක්ද ?

අමිල ගුණරත්න

පසුගිය ජූලි 21වැනිදා සීනිගම දෙවොල් දේවාලයේදී හෙළ උරුමයේ අතුරලියේ රතන ඇතුළු පිරිසක් විසින් පොල් ගසා මිරිස් අඹරා 13 ගේ කණ්ඩායම යැයි කියන කණ්ඩායමේ සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල් වල උදවිය නැතිභංගස්ථාන කරන ලෙස යදින ලදී. අපට දැනගැනීමට ලැබුණු පරිදි මෙම 13 කණ්ඩායම මෙසේය. 1. කෘෂි රසායන සමාගම් නියෝජිතයන්-ක්‍රොප් ලයිෆ් කන්ඩායම 2.අනුර විඡේසේකර-පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් 3. ජනිතා ලියනගේ- කැලණිය විශ්ව විද්‍යාලය 4.බන්දුලසෝම විඡේගුණසේකර-කාර්මික තාක‍ෂණ ආයතනයේ විද්‍යාගාර ප්‍රධානී 5.නිමල් දිසානායක-බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක‍ෂ 6.කමල් මාන්කෝට්ටේ-කෘෂිකර්ම අධ්‍යක‍ෂ ජෙනරාල් 7.කේ. ඊ. කරුණාතිලක- කෘෂිකර්ම ලේකම් 8. ඕ. ඒ. ඉලේපෙරුම-පේරාදෙණිය විශ්වවිද්‍යාලය 9.උපාලි සමරවීර- පේරාදෙණිය විශ්වවිද්‍යාලය 10. වික්ටර් අයිවන්-රාවය කර්තෘ 11. හඩ්සන් සමරසිංහ-ගුවන්විදුලි සංස්ථා සභාපති 12. බිමාලි ජයවර්ධන- කැලණිය විශ්වවිද්‍යාලය 13. සාගරිකා කන්නන්ගර- කැලණිය විශ්වවිද්‍යාලය.

ඉහත නම් සඳහන් පුද්ගලයන් කෙරෙහි අපට විශේෂ වෛරයක් හෝ ඇල්මක් නැත. නමුත් මතවාදයක් නිසා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල් වල දුවා දරුවන් හැඳිගෑවී යන ලෙස කරන මිනීමරු සහගත සිතිවිල්ල අපට අනුමත කල නොහැක. විශේෂයෙන් බෞද්ධ භික්ෂුවක් ලෙස සිවුර දරා අනෙකෙකුට විනාශය පැතිය හැකිද ? අභිධර්මයට අනුව පොල් ගසා මිරිස් අඹරා සාප කරන විට රතානගේ සිතේ පහල වන්නේ අකුසල් සහගත ද්වේශමූල සිත්ය. මෙම අකුසල් සහගත ද්වේශමූල සිත් අපායගාමී වර්ගයට අයත් වෙයි. බුදුන්වහන්සේ දෙසු පරිදි භික්ෂුව විසින් මිතුරාටද, සතුරාටද , සතා සිපාවාටද මෛත්‍රී කල යුතුය. එම නිසා අතුරලියේ රතනගේ ක්‍රියාව බුධාගමට උචිත වන්නේ නැත. එය කෝකාලික නිකායේ භික්ෂුවකගේ ක්‍රියාවට සම කල හැකිය. රතන දේශනාකරන බණ වල හරය ගත විට එය වෛර ප්‍රකාශන හෙවත් Hate Speech ගණයට අයත් වේ.

රට ජාතිය වෙනුවෙන් අන්තවාදී නොවී , ලාභ සත්කාරයට ගිජු නොවී මැදහත්කාර සිතින් සිංහල බෞද්ධයාගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කල මඩිහේ නාහිමි, දිඹුලාගල හිමි වැනි සංඝ පිතෘවරුන් ගිය මග හැරදමා අන්තවාදී ගමනක් යන අතුරලියේ රතන බුදු මගට ගැනීමට මහානායකවරුන් හෝ කටයුතු කල යුතුය. අතුරලියේ රතන ජනතා මුදලින් කාමභෝගී මන්දිර සාදාගෙන සිංහල බෞද්ධයා මුලා කරගෙන යන මෙම ගමන බුදුදහමට වින කටින්නක් බව පෙන්වා දෙමු. මෑතකදී මාධ්‍ය විසින් රුවන්වැල්ලේ ඒ සෝභිත නමැති ශ්‍රමණ ප්‍රතිරුපකයාගේ කෙරුවාව රටට හෙළි කරනු ලැබිය. රුවන්වැල්ලේ ඒ සෝභිත කෙලසන්නේ ඔහු ලඟට එන තරුණියන්ය. නමුත් රතනලා ජාතියක කොඳු නාරටිය කෙලසමින් සිටිති. එම නිසා රුවන්වැල්ලේ ඒ සෝභිතට වඩා අතුරලියේ රතනගේ අන්තවාදය රටට හානිකරය. තමන්ගේ මතවාදයට එකඟ නැති පුද්ගලයාගේ විනාශය ප්‍රර්ථනා කරන, ඒ සඳහා මතවාද නිර්මාණය කරන හා අනාගතයේ මිනිසුන් ශාරීරිකව විනාශ කිරීමට අන්තිවාරම සකසන මෙවැනි පුද්ගලයන් වඩාත් ගැළපෙන්නේ හිට්ලර්ගේ තෙවැනි රයිකයටය. රතනලා මේ කරමින් සිටින්නේ කුමක්ද ? ඔවුන් දායක වෙමින් සිටින්නේ නෝර්වේ වල මහා ඝාතන කළ මිනිසා වැනි අය අනාගතයේ ලංකාවේ නිර්මානය කරන්නට ය.

Tell a Friend