සිරියාවේ පිය- පුතු දේශපාලනය

2011 රාමදාන් ලේ වැගිරීම සහ 1982 හාමා සංහාරය

නිලන්ත ඉලංගමුව

ස්ලාම් බැතිමතුන්ගේ රාමදාන් උපවාසය ආරම්භ කිරීමට පැය කිහිපයකට කලින් මාස ගණනාවක් පුරා සිරියාවේ ඩමස්කස් සහ හාමා ඇතුළු නගර වලට පැමිණ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කරමින් සිටි ජනතාවට එරෙහිව තවත් මාරාන්තික ප්‍රහාරයක් සිරියානු ආරක්ෂක හමුදා විසින් ඊයේ එල්ල කරනු ලැබීය. ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව පිළිබඳව නිවැරදි තොරතුරු තවමත් ලැබී නැති නමුත් ස්වාධීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට ප්‍රහාරයේදී සාමාන්‍ය වැසියන් සීයකට වැඩි පිරිසක් මිය ගියහ. ලැබෙන අලුත්ම වාර්තා වලට අනුව මියගිය ගණන 147 කි. මේ වසරේ මුල සිට නැගෙනහිර ආසියාව පුරා පැතිරී ගිය එක් එක් ආණ්ඩු වලට විරුද්ධව ජනතාවගේ උද්ඝෝෂණ සිරියාවේද මාස ගණනාවක් පුරා ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ හේතුවෙන් මිය ගිය ගණන අති විශාල වන අතර ඊයේ එල්ල කරනු ලැබූ ප්‍රහාරය, ප්‍රහාර මාලාවක එකක් පමණි.

සිරියානු ජනධිපති වරයා අදාළ ප්‍රහාරය සිදු කිරීමට අණ ලබා දෙනු ලැබුවේ සිරියානු හමුදාවේ 66 වන සංවත්සරය පැවැත්වීමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට මොහොතකට පෙරදීය. අදාළ උලෙලෙදී තමාගේ බලය රැක ගැනීම සඳහා සිරියානු හමුදාව සහයෝගය දක්වන ආකාරය ගැන අභිමානයෙන් යුතුව කතා කළ හෙතම සිරියාව භාවිත කළ යුත්තේ ජයග්‍රහණයන් නිර්මාණය කිරීමට සහා සතුරන් පරාජය කරීමට බව සඳහන් කළේය. එසේම, " අද දවසේදී පුද්ගලික ශක්තිය සහා මගපෙන්වීම ඔස්සේ යමින් අපේ ගෞරවය රැක ගැනීමේ කර්තව්‍ය සඳහා කටයුතු කිරීමට තීරණය කොට ඇත්තෙමු...එය කලබලකාරයින්ට සහ ලේ වෙළෙන්දන්ට අපේක්ෂබංගත්වය සහ නීරස අත්දැකීම් ලබා දෙමින් අපේ ජයග්‍රහණය අපට ලබා දෙනු ඇත," යැයි ජනාධිපති බසාර් අල් - අසාද් ප්‍රකාශ කරුණු ලැබීය. ඊයේ දිනයෙදී ඔහු සිදුකළ කතාව සහ ඉන් පැය කිහිපයකට පසු රට තුළ ඇති වූ ලේ වැගිරීම අතර ඉතා කිට්ටු සම්බන්ධයක් තිබේ. කෙසේ වෙතත් ජනාධිපති බසාර් බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් පෙන්නනු වෙනුවට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොහොත් සිරියානු ජනතාවගේ සැබෑ නිදහස තහවුරු නොකරන තාක් දුරට එරට ගැටුම් වල අඩුවක් සිදු වේ යැයි අපේක්ෂා කළ නොහැකිය. ඒ පිළිබඳව ජනධිපති අල්- අසාද් ප්‍රකාශ කරනු ලැබුවේ සිරියාව ඇයටම අවේණික වූ නිදහසේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ දේශපාලන බහුත්වවාදයේ මොඩලයක් හඳුන්වා දෙනු ඇත. එහි පරාමිතීන් ගැන නොකීමට පරෙස්සම් වූ ජනධිපතිවරයා කියා සිටියේ අවශ්‍ය වී ඇත්තේ අපේම ආකෘතියක් හඳුන්වා දීම මිස රටේ සතුරු පාර්ශවයනට හිස නවා ඔවුන් හඳුනවා දෙන මොඩලය පිළිගැනීම නොවන බවයි.

පසුගිය ජුනි 20 වැනිදාද ජනාධිපතිවරයා මෙවැනිම කතාවක් සිදු කළේය. ඉතා දීර්ඝ දේශනයක් වූ එය ඩමස්කස් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී ඉදිරිපත් කළේය. එහිදී බසාර්ගේ පාලනය රැක ගැනීම වෙනුවෙන් දිවි පිදු අයට තම කෘතඥතාවය දැක් වූ ජනාධිපතිවරයා තම රටේ ගැටලූ විසඳා ගත යුත්තේ තම ජනතාව මිස වෙනත් අයවලුන් නොවන බව සඳහන් කළේය. එසේම රටේ හදිසි අවශ්‍යතාවය වන්නේ පැතිරී යන ව්‍යාකූලත්වය සාධාරණීකරණය නොකිරීම බව හෙතම එදින සඳහන් කළේය. " කටකතා කියන්නේ කිසිඳු වැදගැම්මකට නැති දෙයක්. අපට වැදගත් වන්නේ කාලය. කාලය තමයි අපට අලුත් දේවල් ගෙනත් දෙන්නේ. ඒ නිසා කාලය ගැන කල්පනා කිරීම වැදගත් කටකතා වලට අවධානය යොමු කරනවාට වඩා. මම සහභාගී වුණු සෑම ඉහළපෙලේ හමුවීමකදීම ඒ අයට ඕන වුණේ කතා බහ කරනවාට වඩා කටකතා ගැන දැන ගැනීමට. මම ගැන, මගේ පවුල ගැන හෝ මගේ රාජකාරි ගැන පතුරුවන කටකතා කිසිවකට කිසිම පදනමක් නැහැ. ඒවා අහිංසක චේතනාවෙන් කළද දුෂ්ට සිතුවිල්ලෙන් කළත් අසත්‍ය දේවල්, " ජනාධිපති බසීර් පසුගිය ජුනි මාසයේදී ප්‍රකාශ කළේය.

'සිරියාවේ වත්මන් ජනාධිපතිවරයා දේශාපාලනයට ඒමට බලාපොරත්තුවෙන් සිටි අයෙක් නොවේ. ඔහුගේ දේශාපලන ආගමනය සිදු වූයේ අහම්බෙනි. තම පියා වන ජෙය්ෂ්ඨ අසාද්ගේ තේරීම වූයේ වත්මන් ජනාධිපතිවරයගේ වැඩිමහල් සහෝදරයා වූ බැසිල් අල්- අසාද්ය . නමුත් ඔහු හදිසි රිය අනතුරකින් 1994 ජනවාරි 21 වැනිදින මිය ගියේය. එහි ප්‍රතිපලය ලෙස එවකට අක්ෂිවෛද්‍ය විද්‍යාව පිළිබඳව අධ්‍යනය කරමින් සිටි අඩි හයයි අඟල් 2 උසැති වත්මන් ජනාධිපතිවරයා දේශපාලනයට ගෙන ඒමට ඔහුගේ පියා කටයුතු කළේය.'


කෙසේ වෙතත් ජනාධිපතිවරයාගෙන් තමන් ආරක්ෂා වන පරිදි සිදු කරන කතා හැරෙන්නට රට තුළ පවතින ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හෝ ඒවා ඇති වීම සඳහා ඇති වූ හේතු පිළිබඳව මැදිහත් විවේචනයක් බලා පොරොත්තු විය නොහැකිය. නමුත් සිරියාව 1946 දී නිදහස ලබා ගැනීමෙන් පසුව ගෙවී ගිය දශක ගණනාව පුරාම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියක් වෙනුවට දැක ගත හැකි වූයේ දේශපාලන විවිධත්වයක් නැති තනි පක්ෂ බලාධිකාරියකට නතු වූ දේශපාලනයකි. මෙහි නිර්මාතෘ වන්නේ වත්මන් ජනාධිපතිවරයා නොව එනම් ඔහුගේ පියා වන හෆෙස් අල් - අසාද් ය. විවිධ විවේචන තිබුණත් හෙතම හසේෆ් ක්‍රමෝපයෙහි දක්ෂයේකි, ඉතාම දුගී පවුලකට දාව උපන් හෙතම පළමු ගුවන් හමුදා නිලධාරියෙකු ලෙස සේවය කොට පසුව 60 දශකයේදී බාත් පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කරනු ලැබීය, 1963 දී සිරියාවේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයේ එක් ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ හෙතම බාත් පක්ෂය බලයට ගෙන ඒම සඳහා මහඟු සේවයක් සිදු කළේය. කුමන්ත්‍රණයේ ප්‍රතිපලයක් ලෙස අසාද් හට ගුවන් හමුදාවේ උසසවීමක්ද ලැබුණි . එනම් ඔහු මේජර් වරයෙකු ලෙස උසස් විය. 1964 දී ජනරාල් දූරයට පත් වන හෙතම බාත් පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකු ලෙසද සේවය කළේය. ඉන් පසු 1965 දී ඔහු සිරියානු ගුවන් හමුදාවේ හමුදා පති ධූරයට පත් විය. 1966 වසර සිරියානු දේශපාලනයේ ඉතා වැදගත් වසරක් විය, එම වසරෙදී බාත් පක්ෂය තුළම කුමන්ත්‍රණ ඇති විය. එහි ප්‍රතිපලය ලෙස අසාද් ආරක්ෂක ඇමති ධූරයට පත් විය . මේ අතර වාරයේදී එනම් 1967 දී ඊශ්‍රායලය සමඟ ඇති වූ සය දින යුද්ධයේදී සිරියානු හමුදාව අන්ත පාරජයට පත් වූ අතර ජෝදනය සහ පලස්තීනය අතර ඇති වූ කළු සැප්තැම්බරය නමින් නම් කළ යුද්ධයේදීද සිරියානු හමුදාව අසාර්ථක විය. අදාළ යුධමය පරාජයන් සමඟ ආණ්ඩුව තුළම ආරක්ෂක ඇමතිවරයාට චෝදනා එල්ල වූ අතර බාත් පක්ෂයේ නියෝජය මහා ලේඛම් සහ ජනාධිපති වරයා අසාද්ගේ හමුදා නිලතලයන් බලරහිත කිරීමට තීන්දු කළේය. නමුත් ජනාධිපති නිරුදී අල්- අටස්සි සහ මහා ලේකම් සලැහැ ජදිඩ් ප්‍රමාද විය. ඒ වන විටත් එනම් 1970 නොවැම්බර් 13 වනදා අසාද්ගේ පිරිස පක්ෂය තුළ සාමකාමී කුමන්ත්‍රණයක් ඔස්සේ බලය අල්ලාගෙන තිබුණි. එසේම අසාද්ගේ අණින් ජනාධිපතිවරයා සහ මහලේඛම් වරයා සිර ගත කරනු ලැබීය. අදාළ සිදු වීම සිරියානු ඉතිහාසයේ ඉතා වැදගත් දිනයක් ලෙස සැලකෙන අතර එය ශෝධක විප්ලවය ( සිරියානු ශෝධක විප්ලවය) නමින් හැඳින්වේ.බොහොමයක් අසාද්ගේ දේශපාලනයට රුචියක් දක්වන පිරිස් නුතන සිරියාවේ ආරම්භය ලෙස එදින සඳහන් කරනු ලබයි.

නමුත් අසාද් බලයට පැමිණි මුල වසර කිහිපයේදී ඉතාමත් ආකර්ශනීය වැඩපිළිවෙල රැසක් සිදු කරනු ලැබුවද ක්‍රමයෙන් ඔහුගේ සැබෑ අවශ්‍යතාවයන් සේම තම පවුල මත බලය රඳවා ගැනීම සඳහා ක්‍රමෝපායන් ක්‍රියාත්මක විය. විශේෂයෙන් 1982 දී සිදු කරනු ලැබූ හමා මනුෂ්‍ය ඝාතනය සැලකිය හැකිය. එය සිරියානු ඉතිහාසයේ සිදු වූ ප්‍රභලම මනුෂ ඝාතන වලින් එකකි . ජනාධිපති හෆෙස් අල්-අසාද් පුද්ගලික මඟ පෙන්වීම යටතේ ඔහුගේ බාල සහෝදරයකු වන රිෆාට් අල් අසාද් විසින් සිදු කළ ජන සංහාරයක් වූ එහිදී මිය ගිය සංඛ්‍යාව 20,000 සිට 40,000 දක්වා වන බව සඳහන් වේ. කෙසේ වෙතත් අදාළ ඝාතනය පිළිබඳව විවිධ කණ්ඩායම් විවිධ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරති. එය ජනාධිපතිවරයා විසින් හාමා ප්‍රදේශයේ විසු සුන්නි මුස්ලිම් වරුන්ට විරුද්ධව සිදු කරනු ලැබූ අතර ඊට හේතුව වූයේ ආණ්ඩුවට එරෙහිව කැරලී ගැසීම බව සඳහන් වේ. කෙසේ වෙතත් ප්‍රහාරයේදී නිරායුධ සිවිල් වැසියන් සමූහ වශයෙන් ඝාතනයට ලක් වූ බව වාර්තා සඳහන් කරනු ලබයි . මෙම හමා මනුෂ්‍ය සංහාරය සහ සමාන වන තත්වයක් සිරියාවේ වත්මන් දේශාපලන හැඩගැසීම තුළින්ද පෙනේ. නමුත් 1982 දී අදාළ ඝාතනය සිදුවීමෙන් පසුද 2000 වසරෙදී ජනාධිපති අසාද්ගේ මරණය සිදුවන තෙක් ඔහු බලයේ සිටීමට සමත් විය. රට තුළ විවිධ මට්ටමේ විරෝධතා පැමිණියද ඒවා ක්‍රමික මර්ධනයකට යටත් කිරීමට ජනාධිපති වරයාට හැකිවිය. එක් හේතුවක් වූයේ ක්‍රමෝපායිකව සිරියානු ආරක්ෂක හමුදාව පාලනය කිරීමට අසාද්ට තිබු කෞශල්‍යය . එසේම තොරතුරු දැන ගැනීමේ අයිතිය රට තුළ දැඩි ලෙස නීතිමය වශයෙන් පාලනය කොට ඇත. එක් පියවරක් ලෙස සිරියාවේ ෆේස් බුක්, ට්විටර් , යාහු, ගුගල් වැනි වෙබ් අඩවි වලට තමන්ගේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන ස්ථානවලින් පිවිසෙන සියලු දෙනා ගැනම වාර්තාවක් තබාගැනීම නීති ගත කොට ඇත. එසේම තවත් බොහොමක් වෙබ් අඩවි වලට පිවිසීම තහනම් කොට ඇත. අනෙක් කාරණය වන්නේ අසල්වැසි අරාභී රටවල් සමඟ සහ ඒවායේ ක්‍රියාත්මක වන කැරලි කණ්ඩායම් සමඟ ඇති කිට්ටු සම්බන්ධතාවයයි. එසේම චීනය, රුසියාව, උතුරුකොරියව, ඉරානය සහ ප්‍රංශය සමඟ ඉතා සමීම සම්බන්ධතාවයක් සිරියාවට තිබේ. එරටට අවශ්‍ය බොහොමයක් අවි ආයුධ මිලදී ගනු ලබන්නේ එකී රටවලිනි.

සිරියාවේ වත්මන් ජනාධිපතිවරයා දේශාපාලනයට ඒමට බලාපොරත්තුවෙන් සිටි අයෙක් නොවේ. ඔහුගේ දේශාපලන ආගමනය සිදු වූයේ අහම්බෙනි. තම පියා වන ජෙය්ෂ්ඨ අසාද්ගේ තේරීම වූයේ වත්මන් ජනාධිපතිවරයගේ වැඩිමහල් සහෝදරයා වූ බැසිල් අල්- අසාද්ය . නමුත් ඔහු හදිසි රිය අනතුරකින් 1994 ජනවාරි 21 වැනිදින මිය ගියේය. එහි ප්‍රතිපලය ලෙස එවකට අක්ෂිවෛද්‍ය විද්‍යාව පිළිබඳව අධ්‍යනය කරමින් සිටි අඩි හයයි අඟල් 2 උසැති වත්මන් ජනාධිපතිවරයා දේශපාලනයට ගෙන ඒමට ඔහුගේ පියා කටයුතු කළේය. ඒ සඳහා නීතියද වෙනස් කරනු ලැබූ අතර මැතිවරණයකට සහභාගී විය යුතු අයෙකුගේ අවම වයස 34ක් කරනු ලැබුවේ එවකට අසාද්ගේ වයස 34 ක් වූ බැවිනි. ඉන් පසු 2000 දී හෆෙස් අල් අසාද් ගේ සිදු වූ මරණයෙන් පසු බසාර් අල් - අසාද් බාත් පක්ෂයේ සහ හමුදාවේ නායකත්වයට පත් කරනු ලැබුවේ ඒක පාර්ශවීය මැතිවරණයක් ඔස්සේය. එහිදී ඔහු ලැබූ චන්ද සංඛ්‍යාව 97.2% ක් බව රජයේ වාර්තා සඳහන් කරනු ලැබුවේය. ඉන් පසු 2007 මැයි 27 වන දින පැවති මැතිවරණයෙන් හෙතම යළිත් වසර 07 ක් සඳහා ජනාධිපතිධූරයට පත් වූ අතර එහිදීද ඔහු ලබාගත් චන්ද සංඛ්‍යාව මුළු ප්‍රකාශිත චන්ද සංඛ්‍යාවෙන් 97.6 % ක් බව එරට මාධ්‍ය වාර්තා කරනු ලැබීය. මේ කිසිවක් ස්වාධීන මැතිවරණ නිරික්ෂයින්ගේ වාර්තා නොවේ. තම පවුලේ ඒකාධිකාරියක් පතුරුවාගෙන සිටින අසාද්ගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන වාර්තා වේ. ඊයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනය අසාද්ගේ පාලනය ප්‍රශ්න කරමින් සිටින ජනතාවට එරෙහිව සිදු වූ ප්‍රහාරයක් බව ඉතා පැහැදිලි වේ.

නමුත් අසාද් පාලනය වෙනස් කිරීමට හෝ සිරියාව දේශපාලනික වශයෙන් වෙනස් කිරීමට පවතින තත්වය තල්ලු කිරීමටනම් එය ඉතා දෙර්ඝ කාලයක් ගත වන වැඩ පිළිවෙලකි. ඒ සඳහා වීදියට බැස සටන් කිරීමෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය වන්නා සේම භුමියේ පවතින මර්ධනකාරී වැඩපිළිවෙල වෙනස් කිරීම සඳහා පැහැදිලි ක්‍රමෝපායක් අවශ්‍ය වේ. විශේෂයෙන් ඊශ්‍රායලයේ හැසිරීම මෙහිදී සැලකිය යුතු කාරණයක් වේ. සිරියාවේ දේශපාලන කෝලාහල ඇතිවීමෙන් මාස කිහිපයකට පසු ඊශ්‍රායලයට විරිද්ධව මහජන නැගිටීමක් ඇති විය. එහිදී සිරියානු දේශසීමාවෙන් ඊශ්‍රායලට ඇතුළු වීමට නිරායුධ උද්ඝෝෂකයින් උත්සහ කළේ යැයි කියමින් ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් ළමුන් ඇතුළු සිවිල් වැසියන් විශාල පිරිසක් මිය ගියහ. අදාළ උද්ඝෝෂණය අසාද්ගේ මගපෙන්වීම යටතේ සිදු කළ එකක් බව ඊශ්‍රායල දැනගැනීමෙන් පසු මොසාඩ් ඔත්තු සේවය රහස් පණිවිඩයක් යවමින් ජනාධිපති අසාද් තවදුරටත් අපට විරුද්ධව කටයුතු කරන්නේ නම් ඔහු මරා දමන බවට සිරියාවට තර්ජනය කළේය. මැද පෙරදිග පුරා පවතින්නේ මෙකි විසෙන් විස නැසීමේ වැඩපිළිවෙල නොහොත් එකට එක කිරීමේ වැඩ පිළිවෙලයි. පසුගිය මාර්තු මාසයේ සිට ආරම්භ වූ උද්ඝෝෂණ වලින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 1500 කට වැඩිය. එසේම ජනාධිපතිවරයා හාමා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාද මාරු කරමින් ගැටලුවලට පැලැස්තර දැමීමට උත්සහ කරනු ලැබීය. සිරියාවේ පවතින දේශපාලන ප්‍රචණ්ඩත්වය තුළින් ඉස්මතුවන්නේ 1982 දී අති වූ හා සමාන වූ තත්වයක් නමුත් දේශීය දේශපාලනය වෙනස් කිරීමේ සැබෑ ශක්තියක් උද්ඝෝෂකයින් සතුව පවතින්නේද යන්න සැක සහිතය. නමුත් ජනාධිපති අසාද් සාමාන්‍ය වැසියන් ඉලක්ක කිරීම තව දුරටත් සංකීරණ කළ හොත් එය සිදු වීමේ ඉඩකඩද අඩු නැත. කෙසේ වෙතත් ප්‍රහාර වල ඉලක්කය වී ඇත්තේ රටේ සුළු ජාතින් යැයි නම් කළ කොටස බව අමතක කළ යුතු නොවේ.

Tell a Friend