ජනාධිපතිගේ පෞද්ගලික ඡායාරූප ශිල්පි සුදත්, නිර්මාණ මංකොල්ල කා යුරෝපයේ ප්‍රදර්ශන තබයි

කිසිදිනෙකු යුද බිමට ගොස් නොමැති, ජනාධිපතිවරයාගේ පෞද්ගලික ඡායාරූප ශිල්පී සහ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක‍ෂවරයෙකුවන සුදත් සිල්වා මහතා යුද බිමේ සිටි වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ඡායාරූප එකතුවක් "මානුෂික මෙහෙයුමේ" අවස්ථා ලෙස දක්වමින් යුරෝපය පුරා ප්‍රදර්ශන තබමින් සිටී. එය මුලූමනින්ම නිර්මාණ මංකොල්ලයක් බව තානාපති කාර්යාල නිලධාරියෙකු පැවසීය.

ජනාධිපතිවරයාගේ ඡායාරූප ශිල්පියා ලෙස ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර සංචාරය කරන අවස්ථාවලදී පමණක් එම ප්‍රදේශවලට ගොස් ඇති සුදත් සිල්වා මහතා යුරෝපයේ ප්‍රදර්ශනය කෙරෙන ස්වකීය "රජත දැක්ම" ඡායාරූප ප්‍රදර්ශනයේදී විදේශිකයන්ගේ අවධානය දිනාගෙන ඇත්තේ "මානුෂික මෙහෙයුමේ" අවස්ථා දැක්වෙන වෙනත් ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප හරහාය.

එම ඡායාරූප සියල්ල රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතනවල ඡායාරූප ශිල්පීන් යුද බිමේදී සජිවීව ලබාගත් නිශ්චල ඡායාරූපයන් වේ.

නිර්මාන මංකොල්ලයක යෙදී ඇති සුදත් සිල්වාගේ මෙම ඡායාරූප ප්‍රදර්ශන මාලාව සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ යුරෝපයේ ශ්‍රී ලංකා තානාපති කාර්්‍යාල විසිනි.

දිවිපරදුවට තබා බෝම්බ හා වෙඩි ප්‍රහාර මැද යුද බිමට ගොස් වෘත්තීයේ නියැළුන ඡායාරූප ශිල්පීන්ගේ නිර්මාණ විකුණමින් ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වා මහතා සිදුකරන ජාවාරමට ආණ්ඩුවේ මුදල් වියදම් කිරීම බරපතල අපරාධයක් බව ඒ සම්බන්ධයෙන් අප වෙත තොරතුරු ලබාදුන් තානාපති කාර්යාල නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Lanka news web

Tell a Friend