යුධ අපරාධ සහ බලලා මල්ලෙන් එලියට පැනිම.


එල්.ටී.ටී.ඊ සංවිධානය හා රජයේ ආරක්ෂක හමුදාවන් අතර යුද්ධයේ අවසාන සමයේ ඇතිවූ ගැටුම්වලදී සිවිල් වැසියන් 5000 ක් පමණ ඝාතනයට ලක්වන්නට ඇතැයි තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී,මහාචාර්ය රජීව විජේසිංහ මහතා පවසයි.

බී.බී.සී මාධ්‍ය ආයතනයේ සංදේශය හා හාර්ඩ් ටෝර්ක් යන වැඩ සටහන් හා ලන්ඩනයේදී සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළ බව බී.බී.සී උපුටා දක්වයි.

යුද්ධයේදී කිසිදු සාමාන්‍ය වැසියෙකු හෝ ඝාතනය නොවූ බව‍ට රජය විසින් පුන පුනා ප්‍රකාශ කරන දේ සමග මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හා පරස්පර විරෝධීවන බවත්,මෙමගින් රජය විසින් සාමාන්‍ය වැසියන් යුද්ධයේදී සිය ගිය බව පිළිගැනීමක් නොවේදැයි බී.බී.සී මාධ්‍යවේදියා ප්‍රශ්න කරනු ලබයි.

ඊට පිළිතුරු දෙමින් රජයේ හමුදාවන් විසින් කිසිදු විටෙක සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල නොකළ බවත්,මෙය තමන්ගේ පුද්ගලික ගණන් බැලීම බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

කෙසේ වෙතත් මිය ගිය එකී 5000 ක පමණ සිවිල් වැසියන්ට වන්දි ගෙවිමක් පිළිබඳ මෙතෙක් තීරණයකට එළඹ නැති වුවද ඔවුන්ට හැකි උපරිම සහය ලබා දී යළි පදිංචි කිරීමේ කටයුතු විධිමත් කරන බව ද ඔහු සඳහන් කළේය.

රජයේ හමුදාවන්ට භාරවීමෙන් පසු එල්.ටී.ටී.ඊ කැරැලිකරුවන් ඝාතනයට ලක් කළ බවට 2009 දී එක්සත් ජනපදය විසින් හා දරුස්මාන් වාර්තාවෙන් පෙන්වාදී ඇති කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමක් කිරීම හොඳ බව තමන් පෙන්වාදුන් බවද විජේසිංහ මහතා මෙහිදී කියා සිටියේය.

හර්ෂි සි. පෙරේරා

Tell a Friend