මහාචාර්ය සුචරිත ගම්ලත් සාහිත්‍ය අපරාධකාරයන ගැන කියයි

අපේ රටේ අද සාහිත්‍යයක්‌ නෑ. හොඳ සාහිත්‍යයක්‌ නැතහොත් සත් සාහිත්‍යයක්‌ නෑ. පොත් විශාල ප්‍රමාණයක්‌ පළවෙනව. ලේඛකයොත් විශාල ප්‍රමාණයක්‌ ඉන්නව. නමුත් ඒ කිසි කෙනෙක්‌ගෙන් හොඳ පොතක්‌ පළවෙනව මම නම් දැකල නැහැ. දැනට අවුරුදු 40 ක පමණ කාලයක සිට අපේ රටේ අධ්‍යාපනය ක්‍රමක්‍රමයෙන් විනාශ කිරීමේ ප්‍රතිඵලයක්‌. අපේ රට කලින් කලට පාලනය කළ පාලකයෝ මෙයට වගකිව යුතුයි. බ්‍රිතාන්‍ය ජාතිකයෝ තහවුරු කරපු විශිෂ්ට අධ්‍යාපනයක්‌ මේ රටේ තිබුණා. නිදහසින් පසු අපේ රට පාලනය කරපු පාලකයො ඉංගී්‍රසිත් නැති සිංහලත් නැති චින්තනයක්‌ තර්කන ශක්‌තියක්‌ පුහුණු කරන්නෙ නැති පොල්කුඩු අධ්‍යාපනයක්‌ 1961 සිට මේ රටේ ඇති කළා. අද පරම්පරාවට තියෙන්නෙ සාක්‍ෂරතාව පමණයි. ඉංගී්‍රසි නොදන්න නිසා මේ අයට විශ්ව සාහිත්‍යය කියවන්න බෑ. සිංහල හරි හැටි නොදන්න නිසා අපේ පැරැණි සාහිත්‍යය කියවන්නත් බෑ. බටහිර සාහිත්‍ය දන්නෙත් නැති අපේ පැරැණි සාහිත්‍ය දන්නෙත් නැති චින්තන ශක්‌තියකුත් නැති සාක්‍ෂරතාව විතරක්‌ තියෙන අයගෙන් එන්න පුළුවන් දේ තමයි ඔය එන්නෙ. දැන් ඔය නවකතා පහක්‌ උඩදාගෙන ස්‌වර්ණ පුස්‌තක කියල එකකට සම්මානයක්‌ දීල තියෙනවා. ගුණදාස අමරසේකර මහත්තය කියන විදිහට ඕවට මම කියන්නෙ පපඩම් නවකතා. වටේට පිම්බුවට ඇතුලෙ මොකුත් නෑ. ගිය සැරේ සුනේත්‍රා රාජකරුණානායක කියල කෙනෙක්‌ගෙ පොදු පුරුෂයා කියල පොතකට තෑගි දුන්න. ඒක එහෙම පිටින්ම පපඩම් නව කතාවක්‌. නීරස නාටාමි භාෂාවෙන් ලියල තියෙන ඒ කතාව දැකල සුමිත්‍රා රාහුබද්ධ කියල කෙනෙක්‌ නාටාමි භාෂාවෙන් ඒ ජාතියෙම කතාවක්‌ ගොතල සම්මානෙකුත් ගත්ත. මේ වගේ පොත් ලියල පොත් කියවන මිනිස්‌සුන්ගෙ කාලය විනාශ කරන එක විශාල අපරාධයක්‌. හොඳ පොත් කියල මේ පපඩම් නවකතාවලට සම්මාන දෙන සාහිත්‍ය මණ්‌ඩලවල ඉන්න අයත් ඒ අපරාධයේ හවුල්කාරයෝ. මේවට සම්මාන දීල සාහිත්‍යයේ විශාල සංවර්ධනයක්‌ වෙනවයි කියල බොරු මායාවක්‌ මවන ඔය ස්‌වර්ණ පුස්‌තක මණ්‌ඩලයයි රජයේ සාහිත්‍ය අනු මණ්‌ඩලයයි වහාම විසුරුවා හරින්න ඕන. ඔය මණ්‌ඩල දෙකේම සාහිත්‍ය ගැන දන්න එක මනුස්‌සයෙක්‌ නෑ. පුළුවන්නම් ඇවිත් කතා කරන්න කියල මම අභියෝග කරනව. ඔය මණ්‌ඩලවල ඉන්න අය සාහිත්‍යය ගැන මොනවද කරල තියෙන්නෙ මොනවද ලියල තියෙන්නේ? සාහිත්‍ය අනු මණ්‌ඩලේ සභාපති දන්න සාහිත්‍යය මොකක්‌ද ලියපු පොතක්‌ තියනවද? ස්‌වර්ණ පුස්‌තක මණ්‌ඩලෙත් එහෙමයි. ඒකෙත් කිසිම කෙනෙක්‌ රට පිළිගත්තු බරපතල සාහිත්‍ය පොතක්‌ ලියල නෑ. මේ අයට පුළුවන්ද ස්‌වර්ණ පුස්‌තක තෝරන්න. මේවට ස්‌වර්ණ පුස්‌තක කියනව නම් අමා වතුරට බුත්සරණට මොනවද කියන්නෙ. ඒව දිහා බලන කොට මේවට කියන්න ඕන ස්‌වර්ණ පුස්‌තක නෙමෙයි. මැටි පුස්‌තක.

Tell a Friend