සුසිප්රියා මරා දැම්මේ කොහොමද? ජත්‍යයන්තර පරික්ෂණයක් අවශ්‍යයයි.

හර්ෂි සි. පෙරේරා
කොටි හඬ නාලිකාවේ සේවය කළ බව කියන ඉසිප්‍රියා නමැති තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කළ යුතු බව ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වන කමිටුව(Committee to Protect Journalists)පවසයි.

චැනල්-4 ආයතනය මගින් විකාශය කෙරුණු වාර්තාමය වැඩසටහනින් ඇය ශ්‍රී ලංකා රජයේ හමුදාවන් විසින් ඝාතනය කළ සැක කළ හැකි කරුණු තහවුරු කෙරෙන බව CPJ සංවිධානය කියා සිටියි.

සුසිප්‍රියා නමැති මෙම තරුණිය මාධ්‍යවේදිණියක් ලෙස සේවය කළ හෙයින් ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව CPJ සංවිධානය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් බොබ් ඩිට්ස් පවසා ඇති බව AFP පුවත් සේවය උපුටා දක්වයි.

කෙසේ වෙතත් චැනල් 4 වාර්තා චිත්‍රපටය මගින් මාධ්‍යවේදිනියක හා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස පෙන්වාදෙන ලද ඉසිප්‍රියා නැමැති කාන්තාව එල්.ටී.ටී.ඊ සාමාජිකාවක බව හෙළිවී ඇතැයි ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබිණි.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඉසිප්‍රියා වෙත නිකුත්කරන ලද හැඳුනුම්පතෙහි ඡායාරූපයක් ද ආරක්ෂක අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කර තිබුණු අතර ඇය එල්.ටී.ටී.ඊ සංවිධානයේ යුද කටයුතු සඳහා දායකත්වය ලබා දී ඇති බවට අනාවරණය කරමින් එම ඡායාරූපයෙහි ඉසිප්‍රියා එල්.ටී.ටී.ඊ නිල ඇඳුමින් සැරසී සිටින අයුරු දක්නට ලැබේ.

එසේම චැනල් -4 ආයතනය මගින් විකාශය කරන ලද වාර්තාමය වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානිකර හා ව්‍යාජ එකක් බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී තිබුණු බවද AFP පුවත් සේවය වැඩිදුරටත් කියා සිටියි.



Tell a Friend