හුදී ජනයාට මිත්‍යාව වපුරන දිවයින

අමිල ගුණරත්න 

ගම් වලට ලයිට් ඇදීමෙන් පසු මහසෝනා රීරි යකා පෙන්ෂන් ගියේය. නමුත් 2011 ජුනි 27 දින දිවයින පුවත්පතට ලියන දොඩම්ගස්‌ලන්දේ - ඩබ්. ඒ. ජයසේකර යලිත් මහසෝනා යලි සේවයට කැඳවා තිබේ. මෙන්න ඒ ලිපිය.

මල්වර මඟුලකට උයාපිහා එද්දී කෝකියා පස්‌සෙන් මහසෝනා ඇවිත් -බිය වී දින දෙකක්‌ සිහිසුන්ව ඉඳලා

දොඩම්ගස්‌ලන්ද - ඩබ්. ඒ. ජයසේකර

මංගල සාදවල අරක්‌කැමියකු ලෙස සේවය කරන්නෙකු මැදියම් රැයේ නිවසට යමින් සිටියදී "මහසෝන්" අවතාරය දැක බියවී දින දෙකක්‌ සිහිසුන්ව සිටියදී කට්‌ටඬි මහතෙකු ඇප නූල් බැඳ ගොඩගැනීමේ පුවතක්‌ දෙල්විට ජංකුරේ ප්‍රදේශයෙන් වාර්තා වේ. දැනට දින කීපයකට උඩදී ගැහැනු ළමයෙකුගේ වැඩිවිය පැමිණීමේ සාදයකට අවශ්‍ය මස්‌මාංශ ආදිය උයාපිහා මැදියම් රැයේ මෙම කෝකියා තම නිවසට යැමේ අරමුණින් සාද නිවසින් එළියට බැස ඇත. තරමක්‌ පාළු කළුවර පෙදෙසක්‌ හරහා නිවසට ළඟාවීමට ඇති අතර රෑද්දගොඩවත්ත මායිමේ දෙල්විට මංසන්ධිය අසලදී තමන් පසුපසින් කිසිවකු එන ශබ්දය ඇසී හැරී බලා කොහේද අයියා යන්නේ කියා ප්‍රශ්න කර ඇත. ක්‍ෂණයකින් මිනිස්‌රුව උසින් උස ගොස්‌ නොපෙනී ගියේය. කෝකියා යටිගිරියෙන් කෑ ගසමින් සිහිසුන්ව ඇද වැටෙද්දී අවට අය පැමිණ නිවසකට ගෙන ගොස්‌ ප්‍රතිකාර කළත් කෝකියා අවසිහියෙන් දොඩවන්නට විය. රෝගියා නිවසට රැගෙන ගිය අතර දින 2 ක්‌ ඇඳක බැඳ තබා සිටියේ කැලෑපනින බැවිනි. "මට අරක්‌කු ඕන - මස්‌ ඕන" යනුවෙන් කෑගසන රෝගියා ප්‍රසිද්ධ යකැදුරෙක්‌ වෙත යොමු කොට දන්නා තොවිල් පවිල් කර යාන්තම් ගොඩදාගත්තේ යකදුරාගෙ දක්‍ෂතාව නිසාමය.

"අරක්‌කුයි මසුයි ඉල්ලන්නෙ මහසෝන් දිෂ්ඨිය වැහිල" යෑයි යකැදුරා පැවසීය.

සටහන

කායික විඩාව , නිදිමත , කාලක් ගසා සිටීම ,මස් මාංශ ඉවීමෙන් පසු කිල්ලට අසු වෙනවායි කියන කතාව විශ්වාස කිරීම, පොඩි කාලේ වැඩිහිටියන් හිතට ඇතුල් කල මහසෝනා බිය වැනි හේතු නිසා තනිපංගලමේ රෑ දෙගොඩහ පැමිණි අරක්‌කැමියා හැලුසිනේෂන් එකක් දැක තිබේ. මේ බිය සහ හිත් කලබලය නිසා යකැදුරා සහ ගෝලයන්ට මස් කා අරක්කු බිමට නියම පිනා චාන්ස් එකක් වැදී ඇත. ඒකට කමක් නැත. නමුත් මිත්‍යාවන්ට එරෙහිව ලියු දිවයින ඇයිද ගමේ බයියන්ගේ හිත් වල තවමත් ඇති මිත්‍යා මත ක්‍රමක් ක්‍රමයෙන් අභාවයට යන්නට නොදී ඒවා තවදුරත් පවත්වාගෙන යන්නේ ? මිත්‍යාව අප සමාජයේ කොතෙක් පැතිරිලාද ? ලංකාදීප පත්‍රයේ පිටු පිරෙන්න හුනියන් දේව ඒජන්තයන්ය. විශ්ව ශක්ති මගඩියන්ය. අසරණ මෝඩ මිනිසුන්ව හුරා කන්න ජනමාධ්‍ය පවා උදවු කරන හැටි බලන්න ගුජුප්සාජනකය. අද එලියන්ත වයිට් , ආචාර්ය චන්දන ජයරත්න වැනි තෝරු මෝරු පවා මිත්‍යාව වපුරා මල්ල පුරවා ගනිති. පුවත් පතක කාර්යභාරය මෙවැනි මිත්‍යාවන්ට එරහිව සටන් කිරීමේ විනා මිත්‍යාව පැතිරීමට උඩ ගෙඩි දීම නොවේ. ආචාර්ය ඒබ්‍රහම් කොවුර් සිටියේ නම් මොවුන් අද දුවන්නේ රෙදි නැතිවය. -

Tell a Friend