EXCLUSIVE: ගෝඨාභය රාජපක්ෂ හොරුත් සමග හෙළුවෙන්


(මම ගෝඨාගේ කකුලක් ජෙනරාල් ගාමිණී ජයසුන්දර කියයි )



අමිල ගුණරත්න 


ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දරගේ අක්‍රමිකතා සම්බන්දයෙන් ශ්‍රී ලංකා ගාර්ඩියන් පුවත් පත විසින් කල හෙළි කිරීම නිසා කලබලයට පත් වූ ජෙනරාල් ගාමිණී ජයසුන්දර ජාතික ශිෂ්‍ය භට බලකාය සම්බන්ධ විස්තර මාධ්‍යට ලබා දුන් බවට චෝදනා කරමින් රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන්ට අනතුරු අඟවා තිබේ. එසේ අනතුරු අඟවමින් "මම ගෝඨාගේ කකුලක් පත්තරකාරයන්ට මම බය නැහැ නිවුස් පිටට දෙන එවුන් මම ගෙදර යවනවා " යැයි පවසා ඇත.

ජාතික ශිෂ්‍ය භට බලකායේ නිලධාරීන් පෙන්වා දෙන අන්දමට මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ යෙදී සිටියදී උතුරේ සිවිල් වැසියන්ගේ නිවෙස් වල තිබු රුපවාහිනී යන්ත්‍ර ඇතුළු වටිනා බඩු භාන්ඩ නීති විරෝධී ලෙස කොලඹට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබු අයෙකි. ඔහු විසින් මෙසේ අයතා ලෙස ප්‍රවාහනය කරමින් සිටි උතුරේ සිවිල් වැසියන්ගේ භාන්ඩ තොගයක් වරක් කන්කසන්තුරේ ජැටියේදී යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම භාණ්ඩ ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන්ගේ නිවස්නයේ ප්‍රයෝජනය සඳහා බව අසත්‍ය ප්‍රකාශ කරමින් එම සිද්ධිය යටපත් කිරීමට ඔහු සමත් වී ඇත. එසේම පරීක්ෂණ පැවැත්වුවහොත් ශ්‍රී ලංකා යුද හමුදාව උතුරේ ද්‍රවිඩ වැසියන්ගේ භාණ්ඩ කොල්ලකන බවට ලැබෙන වැරදි ප්‍රචාරය ගැන සලකා එවකට සිටි හමුදාපති එම සිද්ධිය යට ගසා තිබේ. තවද මන්නාරම් ප්‍රදේශයේ තම ඒකකයේ සොල්දාදුවන් යොදාගෙන හොරෙන් හරක් ප්‍රවාහනය කිරීමද මොහු විසින් සිදු කරන ලදී. යුද්ද කිරීමට වඩා සුද්ද කිරීමේ දක්ෂතාව නිසා ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් සහ සොල්දාදුවන් විසින් ජෙනරාල් ගාමිණී ජයසුන්දරව හදුන්වන ලද්දේ සුද්දෝදන යන විසුළු නමිනි.

ගාමිණී ජයසුන්දරගේ වංචනික ක්‍රියා නිසා ජෙනරාල් නීල් ඩයස් ,ජෙනරාල් ජනක පෙරේරා, ජෙනරාල් සරත් ෆොන්සේකා යන නිලධාරීන් ඔහුව කිසිදු ප්‍රධාන මෙහෙයුම් වලට සහබාගි නොකරගත්තා පමණක් නොව ඔහුට කිසිදු ගරුත්වයක්ද නොපෙන්වන ලදී. ගාමිණී ජයසුන්දර කර්නල්වරයෙකුව සිටි කාලයේ ජෙනරාල් නීල් ඩයස්ට ඉමහත් බියක් දැක්වීය. උතුරේ සිවිල් වැසියන්ගේ භාන්ඩ සොරකම , හොරෙන් හරක් ප්‍රවාහනය කිරීම වැනි ක්‍රියා නිසා ජෙනරාල් නීල් ඩයස් ගාමිණී ජයසුන්දරව පිළිකුල් කළේය. ජෙනරාල් නීල් ඩයස් එන විට ඔහුව මග හැර යාමට ගාමිණී ජයසුන්දර පුරුදුව සිටින ලදී.

ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපති වන විට ජෙනරාල් ගාමිණී ජයසුන්දර හමුදාවේ සිටියේ නම් ඔහුගේ අක්‍රමිකතා යලි විභාගයට ගැනෙනු නියත බව ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේ උසස් නිලධාරියෙකු පවසයි. නමුත් ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපති වීමට සුළු කාලයකට පෙර ඔහු විශ්‍රාම ගියේය. විශ්‍රාම ගිය ජෙනරාල් ගාමිණී ජයසුන්දරගේ පිහිටට එන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි. ගෝඨාභය රාජපක්ෂ, ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ ලෙස ඉතා අවංකව රාජකාරි කල බ්‍රිගේඩියර් තම්මිට මහතා එම ධුරයෙන් ඉවත් කොට අපකීර්තිමත් සේවා ඉතිහාසයක් තිබු ජෙනරාල් ගාමිණී ජයසුන්දර එම පුටුවේ ඉන්දවයි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙසේ වංචනිකයෙකුට එම තනතුර දුන්නේ කැබිනට් ඇමතිවරයෙකුගේ ඉල්ලීම මත බව ජාතික ශිෂ්‍ය භට බලකායේ හිටපු කර්නල්වරයෙකු පෙන්වා දෙයි. එසේම ගාමිණී ජයසුන්දර නිබඳවම කේලම් සපයමින් ආරක්ෂක ලේකම්වරයා නොමග යැවු බව මෙම කර්නල්වරයා වැඩි දුරටත් කියයි.

ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂක ධුරයට පත්වීමත් සමගම එම බලකායේ සේවය කල අවංක නිලධාරීන් වෙනත් ඒකක වලට අනියුක්ත කොට වංචනික ක්‍රියා සඳහා අනුබල ඇති වංක නිලධාරීන් කණ්ඩායමක් ජාතික ශිෂ්‍ය භට බලකායේ වැදගත් තනතුරු වලට පත් කරන ලදී. එසේම පාබල හමුදාවේ ඔහුගේ අක්‍රමිකතා වලට සහය දුන් නිලධාරීන් කිහිප දෙනෙකුද සහායකයන් ලෙස පත් කර ගන්න ලදී. මෙය නීති විරෝධී හා ජාතික ශිෂ්‍ය භට පනතට පටහැනි බව බලකායේ හිටපු කර්නල්වරයෙකු පෙන්වා දෙයි. වංචනික ක්‍රියා සඳහා එකගතාවය ඇති නිලධාරීන් කණ්ඩායම මාර්ගයෙන් මාසයකට වරක් පැවැත්වෙන ශිෂ්‍ය භට පුහුණු කඳවුරු වලින් මුදල් ගසා කෑමට ජෙනරාල් ගාමිණී ජයසුන්දර පුරුදු විය. මෙසේ ගසා කන්නේ ශිෂ්‍ය භටයනට නියමිත ආහාර හෙවත් රැෂන් වලට වෙන් කල මුදල්ය.
ශිෂ්‍ය භටයන්ට නිසරු ආහාර දෙමින් වියාජ බිල්පත් ඉදිරිපත් කරමින් මසකට රුපියල් ලක්ෂයකට අධික මුදලක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර සොරකම් කරන බව බව රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු අවංක නිලධාරීන් පවසති. තවද හර්මන් ලූස් වැනි විශාල කඳවුරු පැවැත්වෙන විට යටිමඩි ගැසෙන රැෂන් මුදල් කන්දරාව අති විශාලය. මේ හැර විශේෂ කඳවුරු පැවැත්වෙන දින වල ජෙනරාල් ගාමිණී ජයසුන්දරගේ බිරිඳ වන ප්‍රියන්ති ජයසුන්දර මහත්මිය ශිෂ්‍ය භටයන්ට වෙන් කල කුකුල් මස් , බල මාළු වැනි ආහාර වර්ග බලකායේම කැබ් රියක පටවාගෙන කොළඹ ගෙනියන බව ප්‍රසිද්ද රහසකි. ප්‍රියන්ති ජයසුන්දර කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ ගුරුවරියකි. ඇය ජාතික ශිෂ්‍ය භට බලකායේ සේවා වනිතා සංගමයේ සභාපතිනිය ලෙසටද ක්‍රියා කරයි.

ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දරගේ සුනාමි කන්ටේනර් වංචාව ප්‍රකට එකක් නමුත් එය ගොඩින් බේරා ගැනීමට ඔහු සමත් විය. සුනාමි සහනාධාර යටතේ ජාතික ශිෂ්‍ය භට බලකායේ මේජර්වරයෙකුද සහබාගිකරවාගෙන ගෙන්වන ලද කන්ටේනරයක් ජාතික ශිෂ්‍ය භට බලකායේ කොළඹ මුලස්ථානයේ තබාගෙන පිටකොටුවේ තොග වෙළදුන් කිහිප දෙනෙකුට විකුණා මුදල් කිරීමට ඔහු ක්‍රියා කළේය. මෙම සුනාමි කන්ටේනර් වංචාව පිළිබඳව එක්තරා සති අන්ත පුවත් පතක් විසින් හෙළි කරන ලදී. මේ සම්බන්දයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමත් පෙර ඔහු සුනාමි සහනාධාර කන්ටේනරයේ තිබු වටිනා රෙදිපිළි කොටසක් ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුට හා ගණකාධිකාරීවරයෙකුට තිලින කළේය. එසේම දකුණු පළාතේ ශිෂ්‍ය භට බලකා සිටින පාසල් වලට කන්ටේනරයේ තිබු බඩු බෙදු බවට තම ගෝලබාලයන් මගින් දිවුරුම් පෙත්සම් ලබාගත්තේය. සුනාමි කන්ටේනර් වංචාව සම්බන්දයෙන් විමර්ශනය කල ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාද ජෙනරාල් ගාමිණී ජයසුන්දර සමග එකට කුඩු කෑ නිසා ගලේ පැහැරූ බළලෙකු මෙන් නිහඩ විය. (කොහොමද ටිකිරි මොලේ)

තමාගේ පැවැත්ම සඳහා ආරක්ෂක අමාත්‍යයංශය හොදින් තබා ගැනීම වැදගත් නිසා ජෙනරාල් ගාමිණී ජයසුන්දර ආරක්ෂක අමාත්‍යයංශයේ නිලධාරීන් හමුවේ නිතරම ඔලුව නැමුවේය , ඔවුන්ව ඇමතුවේ සර් , ඔබතුමා , මැතිතුමා යන වදන් වලිනි. එසේම ආරක්ෂක අමාත්‍යයංශයේ නිලධාරීන්ගේ ගෙදරක දානයක් පිරිතක් තිබුනේද ශිෂ්‍ය භටයන්ගේ රැෂන් ආහාර , කුකුල් මස් මාළු කැබ් දෙක තුනක පටවා
ජාතික ශිෂ්‍ය භට බලකායේ කනිෂ්ඨ නිලධාරීන් දෙතුන් දෙනෙකු සමග යැවීමට ඔහු පුරුදු විය. ආරක්ෂක අමාත්‍යයංශයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල අයට රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානය නිවාඩු නිකේතනයක් මෙන් භාවිතා කිරීමට ඉඩ දුන්නේය. ආරක්ෂක අමාත්‍යයංශයේ නිලධාරීන් ඔවුන්ගේ භාර්යාවන් ළමා ලපටින් ශිෂ්‍ය භටයන්ගේ රැෂන් ආහාර අනුභව කරමින් බලකායේ වාහන වලින් දඹාන වැනි ප්‍රදේශ සංචාර කළහ. මේ හැර දඩ මස් වලට අසා කරන ආරක්ෂක අමාත්‍යයංශයේ උසස් නිලධාරීන් සඳහා ඔහු රන්දෙනිගල රක්ෂිතයේ වල් ඌරන් , ගෝනුන් මස් කිරීමට තම ගෝලයන්ට අණ දුන්නේය. මීට මස තුනකට පමණ පෙර වල් ඌරු මස් කිලෝ 30 නීති විරෝධී ලෙස ත්‍රිවිලරයකින් ප්‍රවාහනය කරමින් සිටි ජාතික ශිෂ්‍ය භට බලකායේ කනිෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුනට ඉදිරි කාලයේදී මහියංගන උසාවියේදී නඩු පැවරේ. නමුත් ප්‍රධාන නළුවා ගෝලයන්ගේ බෙල්ල දී තමන්ගේ ඇඟ බේරා ගත්තේය.

මීට පෙර ජාතික ශිෂ්‍ය භට බලකායේ සිටි අධ්‍යක්ෂවරු ආචාර පෙළපාලි ලබා දුන්නේ ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන්ට , හමුදාපතීන්ට නමුදු ජෙනරාල් ගාමිණී ජයසුන්දර තම පුටුව ආරක්ෂා කර ගැනීමට කැබිනට් ඇමැතිවරුනට පමණක් නොව පළාත්සභාවල මන්ත්රීන්ටද ආචාර පෙළපාලි ලබා දෙමින් ජාතික ශිෂ්‍ය භට බලකායේ ගරුත්වය පහල දැමු බව නම හෙළි කිරීමට අකමැති නිලධාරීයෙක් අප හා
පැවසීය. 2008 වසරේදී එවකට හමුදාපති වූ ජෙනරාල් සරත් ෆොන්සේකාට ආචාර පෙළපාලියක් ලබා දී ඔහුව ශේප් කර ගැනීමට ගාමිණී ජයසුන්දරට අවශ්‍යව තිබුනද ජයසුන්දරගේ අතීතය දැන සිටි සරත් ෆොන්සේකා එම ආරාධනය ඉවත දැමිය. මීට පෙර සිටි සෑම හමුදාපතිවරයෙකුම ශිෂ්‍ය භට බලකායේ සම්මාන ආචාර පෙළපාලි වලට සහබාගි වී ඇති නමුත් ජෙනරාල් සරත් ෆොන්සේකා කිසි දින ඊට සහභාගී නොවීය.

පත්තරකාරයන්ට මම බය නැහැ යැයි කීවද ජෙනරාල් ගාමිණී ජයසුන්දර මාධ්‍යකරුවන් (විශේෂයෙන් ආණ්ඩුවේ ) ගෙන්වා ගනිමින් ඔවුනට නිතරම මදුවිත සාද දමයි. තම ප්‍රතිරූපය ඉහල යන මාධ්‍ය වාර්තා පල කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියි. මෙසේ බාහිර අටෝපය ඇති ගාමිණී ජයසුන්දරගේ ජාතික ශිෂ්‍ය භට බලකාය රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු නිලධාරියෙකු උපමා කලේ ඇතුල කුණු වී ගිය එහෙත් පිට පොත්ත දිලිසෙන අඹ ගෙඩියකටය. ඇතුල කුණු වී ගියද ගාමිණී ජයසුන්දරට කම් නැත. "මම ගෝඨාගේ කකුලක් " ඔහු කියයි. ඔහු එසේ කියන විට අපට කියන්නට තියෙන්නේ

ආරක්ෂක ලේකම් තැන්පත් ගෝඨාභය රාජපක්ෂ මැතිදුනි ඔබගේ කුණුවී යන එක කකුලක් කපා දැමුවොත් නරකද ?


(දුෂණ වංචා Exposed තීරයට ඔබගේ ආයතනයේ සිදුවන අක්‍රමිකතා පිළබඳව දැනුම් දිය හැක. සියලු තොරතුරු වල රහසිගත බව සුරැකේ. සත්‍ය තොරතුරු සනාථ කල හැකි සාක්ෂි සමග එවන්න-amila.62gunaratne@gmail.com)

Tell a Friend