රාජපක්ෂගේ අමානුෂික පහරදීම දැඩි පිළිකුළෙන් හෙළා දකී.

පෞද්ගලික අංශයේ හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් කොල්ලකෑම සඳහා ගෙන ඒමට උත්සාහ කරන ඊනියා විශ්‍රාම වැටුපට එරෙහිව අද (24) කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් සාමකාමී විරෝධතාවක නිරත වූ අතර ආණ්ඩුව කැරලි මර්දන ඒකකය යොදා එම සේවකයින්ට ඉතා අමානුෂික ලෙස පහර දී තිබේ.

මෙම පහරදීම සිදු කළේ සිය සාමකාමී විරෝධතාව නිමා කොට වැඩබිම් වෙත හා නිවෙස් වෙත යාමට සූදානම් වෙද්දී බවත් බස් රථවල යමින් සිටි අයට පවා පොලිසිය ඉතා දරුණු ලෙස පහර දුන් බවත් සේවකයෝ පවසති. පොලිස් පහරදීමෙන් සේවක සේවිකාවන් රැසකට තුවාල සිදුව ඇති අතර තවත් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ආණ්ඩුවේ මෙම අමානුෂික පහරදීම ජනතා විමුක්ති පෙරමුණ දැඩි පිළිකුළෙන් හෙළා දකී.

ආණ්ඩුව මෙම විශ්‍රාම වැටුප් ප්‍රෝඩාව ක්‍රියාත්මක කරන්නේ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ හිතසුව පිණිස නොව පෞද්ගලික අංශයේ සේවකයින් දිවා රෑ නිදි වරා දහඩිය මහන්සියෙන් උපයා ගත් මුදලින් ගොඩනගා ඇති අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාව මත කොල්ලකෑම සඳහාය. තමන් දුක් මහන්සියෙන් උපයා ගත් මුදලින් ගොඩනැගූ අරමුදල් ආරක්ෂා කර ගැනීමට සේවකයින්ට සාධාරණ වූ අයිතියක් ඇත. එමෙන්ම ආණ්ඩුව තමන්ට බලපාන යම් තීරණයක් ගන්නා අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සිය මතය කියා පෑමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් සෑම අයකුටම ඇත. නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් ක්‍රියාත්මක කළේ එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි. එම නිසා සේවක අරගලය කිසිසේත්ම අසාධාරණ නොවන අතර ආණ්ඩුවේ පහරදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී, අමානුෂික හා හෙළා දැකිය යුතු එකකි.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුප් පනත සම්බන්ධයෙන් ආණ්ඩුවේ හිතවතුන් සමග මිස තවමත් වැඩ කරන ජනතාවගේ සැබෑ නියෝජිතයින් සමග සාකච්ඡා කර නැත. එලෙස සාකච්ඡා මග හැර යන්නේ පෞද්ගලික අංශයේ සේවකයින් මෙම පනත පිළිබඳව නගන ප්‍රශ්නවලට පිළිතුරු නැති නිසා බව පැහැදිලිය. එලෙස සාකච්ඡා මග හැර යන ආණ්ඩුව සේවකයින්ගේ සාධාරණ මෙන්ම සාමකාමී විරෝධතාවන්ට මුහුණ දෙන්නේ මේ පරිද්දෙන් නම් එහි අර්ථය මෙම පනත වැඩ කරන ජනතාවට කිසිසේත්ම හිතකර එකක් නොවන බවයි.

මෙම පහරදීම මගින් ආණ්ඩුව උත්සාහ කරන්නේ බිය ගන්වා සේවක විරෝධතා යටපත් කිරීමට බව පැහැදිලිය. ආණ්ඩුවේ එම අරමුණ කිසිසේත්ම ඉටු නොවන බවත් එක් අරගලයක් මර්දනය කරන විට එය අරගල දහසකට උපත සලසන බවත් මේ මොහොතේ අවධාරණය කළ යුතුය. එමෙන්ම, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අරමුදල් කොල්ලකන විශ්‍රාම වැටුප් ප්‍රෝඩාව පරාජය කරන තුරු වැඩකරන ජනතාවට නායකත්වය දෙමින් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් සමග එක්ව සටන් කරන බවත් අවධාරණය කරමු.

අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් සියලූ දෙනා වහා නිදහස් කරන ලෙසද වැඩ කරන ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත නොතබන ලෙසද අපි ආණ්ඩුවට බල කරමු. එමෙන්ම, ආණ්ඩුවේ කවර බාධා කිරීම්, මර්දනයන් හමුවේ වුවත් නොපසුබටව පෙරට එන ලෙසත් විශ්‍රාම වැටුපට මුවා වී පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අරමුදල් කොල්ලකන පනතට එරෙහිව හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම උදෙසා පෙළ ගැසෙන ලෙසත් අපි සමස්ත වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

දේශපාලන මණ්ඩලය - ජනතා විමුක්ති පෙරමුණ

Tell a Friend