වෙළඳ කලාප සේවක මර්දනය හෙළා දකිමු!

පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ බලවත් විරෝධය නොසලකා ආණ්ඩුව විසින් සම්මතකර ගැනීමට උත්සාහ කරන සේවක විශ්‍රාම වැටුප් පනතට එරෙහිව අද (30) කටුනායක නිදහස් වෙළඳ කලාපය ආශ්‍රිතව පැවැති සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුව පොලීසිය ලවා පහර දී වෙඩි තැබීමෙන් උද්ඝෝෂණයට සහභාගී වූවන් රැසක් තුවාල ලබා තිබේ. ඉන් නොනැවතුණු ආණ්ඩුව ආරක‍ෂක සේවා යොදවමින් කටුනායක වෙළද කලාපයේ කර්මාන්ත ශාලාවලට කඩා පනිමින් එහි සේවය කරන සේවක සේවිකාවන් බලහත්කාරයෙන් රැගෙන ගිය බවද වර්තාවේ. සිය සාධාරණ අයිතීන් වෙනුවෙන් සාමකාමී ලෙස උද්ඝෝෂණයේ යෙදුණු වෙළඳ කලාප සේවක සේවිකාවන් වෙත එල්ල කරන ලද ආණ්ඩුවේ අමානුෂික ප්‍රහාරය හා ඔවුන් වෙත මුදාහරිම්න් තිඛෙන මර්දනය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අපි, නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන්ට එරෙහිව ක්‍රියාත්මක කර තිඛෙන ආණ්ඩුවේ මර්දනය වහාම නවත්වන ලෙස බලකර සිටිමු.

පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ යහපතට යැයි කියමින් ආණ්ඩුව විසින් සම්මත කිරීමට සැරසෙන විශ්‍රාම වැටුප් පනත ඉතාම පැහැදිලි ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා අධිරාජ්‍යවාදී වුවමනාවන්ට අනුව ගෙනෙන හා ආණ්ඩුවේ මුල්‍ය අර්බුදය සේවක වැටුප් අරමුදල්වලින් විසඳා ගැනීම සඳහා ගෙනෙන එකක් බව දැන් හොඳින් පැහැදිලි වී තිබේ. පෞද්ගලික අංශයේ සමස්ත සේවක සේවිකාවන්ගේම විරෝධය නොසලකා හිතුවක්කාරී ලෙස හා අත්තනෝමතික ලෙස මෙම විශ්‍රාම වැටුප් පනත කෙසේ හෝ සම්මත කර ගැනීමට ආණ්ඩුව දරන උත්සාහයෙන්ම පෙනී යන්නේ, මෙය සේවකයින්ගේ යහපත සඳහා ගෙනෙන්නක් නොව ආණ්ඩුව වෙනුවෙන්ම ගෙන එන්නක් බවය.

මෙම විශ්‍රාම වැටුප් ප්‍රෝඩාවට එරෙහිව රට පුරා නිර්මාණය වී ඇති දැවැන්ත විරෝධය තේරුන් ගන්නවා වෙනුවට පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ හඬට, වෘත්තීය සමිතිවල හඬට ඇහුන්කම් දෙනවා වෙනුවට ආණ්ඩුව එක් අතකින් තම මැති ඇමැතිවරුන් ලවා බොරු පැහැදිලි කිරීමේ කරමින් සේවකයින් නොමග යැවීමටද එසේ නොහැකි වූ විට ඔවුන් වෙත මර්දනය මුදාහැර ඔවුන් බිය වද්දා තම අරමුණ ඉටු කර ගැනීමටද කටයුතු කරන බව පෙනේ.

එසේම සේවක අරගල මර්දනය කිරීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන බවද පෙනේ. එබැවින් ඒ පිළිබඳ බරපතළ අවධානයෙන් සිටින ලෙස අපි පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගෙන්ද ඉල්ලා සිටිමු.

අවසාන වශයෙන් සේවක හඬට ඇහුන්කම් නොදී හිතුවක්කාර ලෙස හා අත්තනෝමතික ලෙස විශ්‍රාම වැටුප් පනත සේවකයින් මත බලෙන් පැටවීමට ආණ්ඩුව ගන්නා උත්සාහයත් ඊට එරෙහිව සාමකාමී ලෙස උද්ඝෝෂණය කළ වෙළඳ කලාප සේවක සේවිකාවන්ට පොලීසිය ලවා ප්‍රහාර එල්ල කරමින් බරපතළ තුවාල සිදුකරමින් හා අත්අඩංගුවට ගනිමින් කරගෙන යන දැඩි මර්දනයත් දැඩි පිළිකුලෙන් යුතුව යළි යළිත් හෙළා දකින අපි, සේවක මර්දනය වහාම නතර කරන ලෙසත් සේවක විශ්‍රාම වැටුප් ප්‍රොඩාව වහාම හකුළා ගන්නා ලෙසත් ආණ්ඩුවට බලකරමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ

Tell a Friend