මහාචාර්ය නලීන් ද සිල්වා පිලිබඳ කෙටි සටහනක්

අමිල ගුණරත්න

1) මෙම ලේඛකයාට මහාචාර්ය නලීන් ද සිල්වා පිළිබඳව ඇත්තේ මිශ්‍ර හැගීම් බව මුලින්ම කිව යුතුය. ඔහුගේ අදහස් මම කියවා ඇත්තෙමු . වාර්ගික ගැටලුව විශ්ලේෂණය කිරීමීදී ඔහුගේ ඇතැම් අදහස් තර්කානුකූල වන අතර සමහර අදහස් අන්තවාදීය. නමුත් බටහිර කෙරෙහි ඔහුට ඇති අඝාත වයිරය මට තේරුම් ගත නොහැකිය. ඊටත් වඩා මට නොතේරෙන්නේ බටහිර ලෝකයෙන් ඉගෙන ගෙන තම දුවා දරුවන් පවා බටහිර ලෝකයට යවා ඔවුනටද බටහිර අධ්‍යාපනය ලබා දී බටහිර ලෝකය තරම් නරක ස්ථානයක් නොමැති බව කෙලින්ම සහ වක්‍රාකාරව දේශනා කිරීමයි. මෙය එක්තරා අකාරයේ කුහකත්වයක් බව මට සිතේ. එය මෙරට විශ්ව විද්‍යාල වල අත්දැකීම් අඩු ශිෂ්‍යන්ට බටහිර ලෝකයට විවුර්ත වීමට ඇති ඉඩ ප්‍රස්තාව නැති කරමින් ඔවුන්ගේ ලෝකය ලිං මැඩියන්ට සීමා කිරීමේ උත්සහයක් විය නොහැකිද? ඔවුන් ලිං මැඩියන් කිරීමෙන් ඕනෑම මතවාදයක් ඔවුන්ට ලේසියෙන් ගිල්විය හැකි බව මහාචාර්ය නලීන් ද සිල්වා නොදන්නවා නොවේ. අන්තරය කරන්නෙත් මේ දෙයම නොවේද ? කාලයක් මෙවැනි ලිං මැඩි සිසුන් ලවා කොළඹ විශ්ව විද්‍යාලයේ කොකාකෝලා තහනමක් (බලහත්කාරයෙන් ) මහාචාර්ය නලීන් ද සිල්වා ඇති කලේය. ඩෙනිම් කලිසම් ඇඳීම තහනම් කළේය. ඔහු සමාජය වෙනස් කිරීමට ගියේ බලහත්කාරය සහ ප්‍රතිවාදියාට නින්දා අපහාස කිරීම මගිනි. ඔහුගේ ඇතැම් ලිං මැඩි ගෝල බාලයන් ශාරීරික හින්සනයේද නිරත වුහ. මේ කරුණු නිසා මහාචාර්ය නලීන් ද සිල්වා අන්තවාදියෙක් බව සිතේ. බටහිර කෙරෙහි ඔහුට ඇති අඝාත වයිරයේ මුලාරම්භය ගැන මට සිතෙන්නේ බටහිර විශ්වවිද්‍යාල වල පදවියක් ඔහුට ලබා ගැනීමට නොහැකි වීම ,වැනි කරුණක් නිසා ඇති කෝපය මෙම තත්වය ජනිත කරන්ට ඇති බවයි.

2) මහාචාර්ය නලීන් ද සිල්වා විසින් ලියන ලද රජරට වකුගඩු රෝගය හා බටහිර බංකොළොත් දැනුම ලිපිය කියවන විට ඔහු විද්‍යාත්මක ක්‍රම වේදයන් ගැන කිසිවක් නොදන්නා ගැමියෙකු මෙන් කතා කරන බව පෙනේ. බලන්න ඔහු ලියන දෙය.

රජරට වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවෙහි බෙහෙත් නැත. බෙහෙත් තබා රෝග කාරකය කුමක්‌ දැයි කියාවත් බටහිර වෛද්‍ය විද්‍යාවට දැනගත නොහැකිය.බටහිර වෛද්‍ය විද්‍යාවට වකුගඩු රෝගයේ කාරක තේරුම් ගත නොහැකි වුවත් අපට රෝගය සඳහා ප්‍රතිකාර ද ඇත. දැනටමත් ඒ ප්‍රතිකාර හේතුකොටගෙන පදවි ශ්‍රී පුර රෝහලේ රෝගීන් කිහිප දෙනෙකු සුවය ලබා ඇත. අපේ ප්‍රතිකාර සුද්දන් අපේ වෙදකම විනාශ කිරීමට පෙර පැවති සිංහල නිල වෙදකම මත පදනම් වෙයි. සිංහල වෙදකම ශරීරයට කරන වෙදකමක්‌ පමණක්‌ නොවේ. එහි ආධ්‍යාත්මික පැත්තක්‌ද ඇත. වෛද්‍යවරු අඩුම තරමින් පන්සිල් රැකිය යුතු අතර අපි රෝගීන් සඳා රෝහලේ පරිත්‍රාණ දේශනා ද සංවිධානය කරමු. ප්‍රතිකාර හා රෝග විනිශ්චය ද අර ටෙස්‌ට්‌ මේ ටෙස්‌ට්‌ මගින් නොව ආධ්‍යාත්මික ව කරන්නෙමු. බොරුපන ප්‍රවාදය අනුව බෙහෙත් ඒ ප්‍රදේශයෙන්ම ලබා ගනිමු. (රජරට වකුගඩු රෝගය හා බටහිර බංකොළොත් දැනුම - මහාචාර්ය නලීන් ද සිල්වා)
මෙම ලිපිය අනුව සිංහල නිල වෙදකම මත නලීන් ද සිල්වා හෝ ඔහුගේ වෙදුන් පදවි ශ්‍රී පුර රෝහලේ රෝගීන් කිහිප දෙනෙකට සුවය ලබා දී තිබේ , කවුද මේ වාසනාවන්තයන් ඔවුන් ගැන නලීන් ද සිල්වා මහතා හෙළි කරනවාද ? එසේ කළහොත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වකුගඩු විසේසඥයන්ට මෙම රෝගීන් ගැන අද්‍යනය කරන්න පුළුවන් නේද ? ප්‍රතිකාර හා රෝග විනිශ්චය ද අර ටෙස්‌ට්‌ මේ ටෙස්‌ට්‌ මගින් නොව ආධ්‍යාත්මික ව කරන බව කියයි. එසේ නම් 10,000 වැඩ අධික වකුගඩු රෝගීන්ට බෙහෙත් ගෙන්වන්නේ මන්ද ? අධික වියදමක් යන පරීක්ෂණද අවශ්‍ය නොවේ. රෝගීන්ට සිල් රක්කවමින් බන භාවනා කරවමු. මෙයට සෞඛ්‍ය අමාත්‍යවරයාද කැමති වනු ඇත. වකුගඩු රෝගීන්ට වියදම් වන මුදල් වලින් එතුමාට සහ නිලධාරීන්ට රට සවාරි යා හැකියි. මොකක්ද මේ සිංහල නිල වෙදකම ( මෙය මෑතකදී හදවත් රෝගී දරුවාගේ පිට පාගා කල වර්ගයේ එකක්ද ? ) මොකක්ද මේ බොරුපන ප්‍රවාදය? සියලුම වකුගඩු රෝගීන්ගේ යහපත සලකා මෙම දැනුම සහ ක්‍රමවේදය එලියට දාන්න කැමතිද? නැත්නම් බොහෝ කුහක සිංහල වෙද මහත්තුරු සේ මේවා පාරම්පරික රහස් කියා සගවාගෙන දැනුම සමග වල පල්ලට යනවාද ? මහාචාර්ය නලීන් ද සිල්වාට පෙන්නන්නට බැරි බටහිර දොස්තරලා නම් මෙවැනි දැනුම එකතු කොට පොදු ජනයාගේ යහපතට පොදු බෙහෙත් බවට පත් කරති. ඒවා ගිනි ගණන් බව ඇත්තයි , නමුත් බෙහෙත් නැතිව මැරෙනවාට වඩා හොඳ නොවැ. ඉතින් කියන්න මේ ප්‍රතිකාර ක්‍රමය කවදාද එලියට දන්නේ කියා ?

Tell a Friend