සීපා ගිවිසුම පාවාදීමක්‌ද

ආර්ථික වර්ධනය සඳහා ලද අවස්‌ථාවක්‌ පැහැර හැරීමක්‌ද

සීපා විධිවිධානයන්ට එරෙහි ව්‍යාපාරයන්හි යෙදෙන්නන් කීප දෙනකු විසින් ලියන ලද පුවත් පත් ලිපි සහ පවත්වන ලද දේශන ගණනාවක්‌ පිළිබඳව පසුගිය දිනවල දී අපට දැනගන්නට ලැබිණි. අභාග්‍යයකට මෙන් යථාර්ථයන්ගෙන්ද නිසි දත්තයන්ගෙන්ද පමණක්‌ නොව නිසි විශ්ලේෂණයන්ගෙන්ද තොර වූ මේ බොහොමයකම පාහේ දක්‌නට ලැබුණේ ද්වේෂ සම්ප්‍රයුක්‌ත විවේචනයන් සහ වියතුන්ට ද ස්‌වාධීන විශ්ලේෂකයනට ද අවංක රාජ්‍ය සේවකයනටද පමණක්‌ නොව ඉන්දියාවට ද එරෙහිව නඟන්නා වූ දෝෂාරෝපණයන්ය. ඉන්දියානු විරෝධී ප්‍රකාශ ගණනාවක්‌ හා 70 දශකය තුළ දී රෝහණ විජේවීර ගේ කුප්‍රකට ජවිපෙ පාඩම් පහ තුළ මුලටම ඇතුළත්ව තිබුණු ඉන්දියානු ව්‍යාප්තවාදය සිහියට නංවන පදනම් විරහිත චෝදනාවන් රාශියක්‌ ඇතැම් ප්‍රකාශනවල අන්තර්ගත වී තිබිණි. බොහෝ විට යල්පීනු හා පිරිහුණු මතවාදයන් හා දේශපාලන සටන් පාඨ මෙම ලේඛකයන් කෙරෙහි බලපෑමක්‌ ඇති කරන්නට ඇතැයි සිතිය හැකිය. පාත්ෆයින්ඩර් පදනම විසින් මෙම ලිපිය සකසනු ලැබ තිබෙන්නේ එම තත්ත්වයන් වෙත සැලකිල්ල යොමුකර වඩා අර්ථවත් සංවාදයක්‌ සඳහා අදාළ පාර්ශ්වයන් යොමු කිරීමටය.

2011 වර්ෂය අවසාන වන විට ක්‍රියාවට නැංවීමට අපේක්‌ෂිත සීපා ගිවිසුමට එළැඹීමේ කැමැත්ත "ආසියාන්" හි සාමාජිකත්වය දරන සෑම රටක්‌ම පළකොට ඇත. ශ්‍රී ලංකාව 2000 වර්ෂයේදී ඉන්දු - ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම ඔස්‌සේ ඇතිකරගැනීමට තැත් කළ මෙම තත්ත්වය හා සම්බන්ධ සාකච්ඡාවන් ආරම්භ වූයේ 2003 දීය. ආර්ථික ප්‍රගමනය සඳහා එළැඹෙන අවස්‌ථාවක්‌ දෙවන වරටත් අහිමිකරගන්නට ශ්‍රී ලංකාව දැන් සූදානම් වන්නේද?

ව්‍යවහාර මුදලේ අගය ඉහළ නැංවිය යුතු බවට වූ සුවිශාල බලපෑමකට මුහුණ දීමට 1980 දශකයේදී සිදුවූ හෙයින් "යෙන්" මුදලෙහි අගය සැලකිය යුතු ලෙස ඉහළ යැමට ජපානය ඉඩ හැරීම මෙයට පෙර මතුවූ එවැනි එක්‌ අවස්‌ථාවකි. "යෙන්" මුදලෙහි අගය ඉහළ යැම නිසා සිදුවූ සිය අපනයනයන්හි තරගකාරිත්වය පහත වැටීමේ අවාසිය පිරිමසා ගත හැකි වන පරිදි සිය මුදල වාසිදායක තත්ත්වයට පත් කර ගැනීමට ජපානයට සිදුවූයේ අනෙකුත් ආසියාතික රටවල විශාල වශයෙන් ආයෝජනය කිරීමට ඒ වනවිට ජපාන ආයෝජනයන් සඳහා හඳුනාගනු ලැබූ ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය මෙන්ම ශ්‍රී ලංකාව ද ඉදිරියේ සංවර්ධන අවස්‌ථා උදා වී තිබිණි.

එහෙත් 1983 දී ඇරඹි කොටි ත්‍රස්‌තවාදය මතු කළ තත්ත්වයන් යටතේ මෙරට තුළ ජපාන ආයෝජනයන් සඳහා තිබුණු අවස්‌ථාවන් වැළකී යැම නිසා ඉහත සඳහන් සෙසු රටවල් තුන එකල ලබාගත් සංවර්ධන අවස්‌ථාවන් ශ්‍රී ලංකාව වෙතින් ගිලිහිණි. වර්තමානයේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ඉන්දියාවට ඉතා ආසන්නයෙන් හා ප්‍රබල ආසියානු කලාපය තුළ පිහිටා තිබීම ශ්‍රී ලංකාව හමුවේ ඇති වාසිදායක තත්ත්වයක්‌ වුවද මෙහිදී ඉන්දියාව අපට "අවස්‌ථා" උදා කර දේද? නැතහොත් "තර්ජනයක්‌" වේද යන මතවාදයන් පදනම්කොට ගත් බෙදීමක්‌ එහි ඉදිරි පෙළ ක්‍රියාකාරීන් අතර මතු වී ඇත. මෙවැනි ඇතැම් මතවාදයන්ට පාදක වී තිබෙන්නේ හේතු සාධක රහිත හා යථාර්ථවාදී නොවූ ආරක්‌ෂණවාදය හා සම්බන්ධ ආදී කල්පිත භීතීන් වන බැවින් පහත දැක්‌වෙන විරෝධතාවන් පිළිබඳ සියුම් විමර්ශනයක්‌ අවශ්‍ය ය.

- දෙරටෙහි ආර්ථිකයන් අතර පවත්නා අසමමිතිය හේතුකොටගෙන දේශීය නිෂ්පාදනයන්හි හා රැකියා අවස්‌ථාවන්හි බිඳවැටීම තුළින් සීපා තත්ත්වය ශ්‍රී ලංකාවට අහිතකර විය හැකිය.

- ඉන්දු ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම අසාර්ථක වූයේ එයින් ශ්‍රී ලංකාවට දරන්නට සිදුවන පිරිවැය ඉන් අත්වන වාසි අභිබවා සිටි බැවිනි.

- සීපා තත්ත්වය තුළ මෙරට අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාව විශාල ලෙස මැදිහත් වීමේ ප්‍රවණතාවක්‌ තිබේ.

දෙරටෙහි ආර්ථික අසමමිතිය

දෙරටෙහි ආර්ථික අසමමිතීන් අනුව දෙපාර්ශ්වයටම සාධාරණ වන්නා වූ ප්‍රතිපත්තීන් හි අවශ්‍යතාව කෙරෙහි ඉන්දියානු බලධාරීන් ගේ අවධානය යොමු වී තිබේ. දේශීය හා විදේශීය ගෞරවයට පාත්‍ර වුණ වෙළෙඳ ගනුදෙනු සාකච්ඡාවන් හි ප්‍රවීණයෝ මෙරට සිටිති. රටට වාසිකර සාකච්ඡාවන් හි නිරත වීමේ ශක්‌තිය ඔවුන් සතු ය. අතිශය වේගයෙන් බහුධ්‍රැවීය (mutipolar) තත්ත්වයට පත් වෙමින් පවත්නා ලෝකය තුළ ඉන්දියාව ප්‍රධාන ජගත් ක්‍රියාකාරයකු ගේ තත්ත්වය අත්කරගනිමින් සිටින බැවින් ඉදිරි කාලයේදී එරට හා ශ්‍රී ලංකාව අතර පවත්නා ආර්ථික අසමමිතීන් තවදුරට පුළුල්වීමට ද ඉඩ ඇත. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වූ ද්විපාර්ශ්වික වෙළෙ¹ම හා ආයෝජන සම්බන්ධතාවන් කළමනාකරණය පිණිස නීතිමය පදනමක්‌ දැන් අවශ්‍යය. බලය පිළිබඳව දෙරට අතර පවත්නා සම්බන්ධතාවන් හි අසමමිතීන් උග්‍රවීමෙහි ප්‍රවණතාවක්‌ද පවතින හෙයින් "සීපා" සාකච්ඡාවන් ප්‍රමාද නොවිය යුතුය.

යුද්ධයක්‌ අවසාන කර සිටින මෙම වකවානුව තුළ දී ශ්‍රී ලංකාව විෂයෙහි සානුකම්පික පිළිවෙතක්‌ අනුගමනය කරන බවක්‌ ද ඉන්දියාව ප්‍රදර්ශනය කර ඇති බැවින් නොපමාව වෙළහෙළඳාම්වලට අදාළ නීතිරීතීන් පිළිබඳ සාකච්ඡාවන්ට අවතීර්ණවීම අවශ්‍යය. දකුණු ආසියානු නිදහස්‌ වෙළෙඳ ගිවිසුම හා සම්බන්ධයෙන් ප්‍රගතියක්‌ ඇති වුවහොත් ඉන්දියාව තුළ සිදුවන සීඝ්‍ර වර්ධනයට හා ප්‍රතිලාභ අත්කර ගැනීමෙහිලා ඵලදායී ඉන්දු - ලංකා සීපා ගිවිසුමක්‌ තුළින් ශ්‍රී ලංකාවට අවස්‌ථාව ද උදාවන්නේය. අදාළ නීති රීති තුළින් ශ්‍රී ලංකාවට උපරිම යහපත අත්වන්නේද? යන්න මෙහි දී වැදගත්ය. කවර වෙළෙඳ ගිවිසුමක වුව ද "දිනුම්" හා "පැරදුම්" යන දෙක ම දැකිය හැකි වන හෙයින් "පැරදුම්" ප්‍රමාණය අභිබවා "දිනුම්" එහි අන්තර්ගත වේද? යන්න කෙරෙහි අප අවධානය යොමු කළ යුතුය.

සාධාරණ ලෙස නිශ්චය කරගැනුණු සෘණාත්මක විෂයාංගයන්ද ආරක්‌ෂණ හා සංක්‍රාන්තිමය විධිවිධානයන් ද බද්ධකොට ගෙන ක්‍රියාවට නැංවෙන සීපා සම්මුතියක්‌ තුළින් ශ්‍රී ලංකාවට ආර්ථික වාසි ළඟාකර ගැනීමට හැකිවනු ඇත. මෑත දී ඉන්දියාව සමඟÊසීපා හා සමාන ආර්ථික විධිවිධානයන් ඇතිකරගත් "ආසියන්" රටවල් අතර ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් සංවර්ධිත මෙන්ම අඩු සංවර්ධනයක්‌ සහිත රටවල් ද තිබේ. සිංගප්පූරුව, කාම්බෝජය, ලාඕසය යන රටවල් ද ඉන්දියාව සමඟ සීපා ගිවිසුමකට එළැඹීමට තීරණය කර තිබේ නම් ඇතිවන බලපෑම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව බියට පත්විය යුතුද? පරිමාණාත්මක පිරිමැසුම් (Scale of Economies) ද සුවිශාල අගය දාමයකට (Value chain) ඇතුළත් වීමේ පමණක්‌ නොව ආයෝජනයන් ළඟාකර ගැනීමේ හැකියාව ද පිළිබඳව සලකා මෙම විශාල වෙළෙඳපොළ ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇති බැවින් සීපා ගිවිසුමක්‌ මගින් දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ අත්වන බව පාත්ෆයින්ඩර් පදනම විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් විය. සීපා ගිවිසුම තුළින් නීති රීති ඔස්‌සේ අර්බුද නිරාකරණය කිරීමේ ක්‍රියාවලීන්ද ශක්‌තිමත් කරගත හැකිවනු ඇත.

ඉන්දු - ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම (ISLFTA)

ඉන්දු - ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම අසාර්ථක වූ බව ඇතැම්හු පවසති. ගැටලු රාශියකට එය මුහුණ දුන් බව සැබෑ වන නමුදු එකී ගැටලුවලට මුහුණදීමේ ක්‍රමවේදයන් ද එහි ඇතුළත් ය. භාණ්‌ඩ වෙළෙ¹ම සඳහා යෝග්‍ය වටපිටාවක්‌ එමගින් පුළුල් කරනු ලැබ ඇති අතර මතු වන බාධාවන් ගණනාවකටද මේ වනවිට පිළියම් යොදා තිබේ. 2000 වසරේ¨ දී ඩොලර් 55 ක්‌ව පැවැති ඉන්දියාව වෙත කෙරෙන ශ්‍රී ලංකා අපනයනයන් 2005 වසර වනවිට ඩොලර් 566 දක්‌වා ඉහළ ගියේය. එතැන් පටන් 2008 වනවිට ඩොලර් 418 දක්‌වාද 2009 වනවිට ඩොලර් 322 දක්‌වාද එම සංඛ්‍යාරූපයන් පහත වැටී ඇත. ඉන්දු - ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුමෙහි ආරම්භය වන විට සීමිත මට්‌ටමකට පැවැති ඉන්දියාව වෙත කෙරෙන ශ්‍රී ලංකා අපනයන සමුදාය 2007 - 2009 අතරතුර දී විවිධාංගීකරණය වූයේ මූර්ථ සඵල විනිමය අනුපාතයන් හි විශාල ඉහළ යැමක්‌ තිබියදීය.

2000 දී ඩොලර් 568 ක අගයක්‌ ගෙන තිබුණු ඉන්දියාවෙන් කෙරෙන ආනයනයන් 2008 වනවිට ඩොලර් 3447 දක්‌වා වැඩි වූ නමුදු 2009 වසරෙහිදී ඩොලර් 1820 දක්‌වා පහත බැස තිබිණි. 2001 දී ඉන්දියාව සමඟ පැවැති ඩොලර් 531 ක වෙළෙඳ පරතරය 2008 වනවිට 3029 දක්‌වා පුළුල් වූයේය. ඉන් අනතුරුව 2009 වනවිට එය ඩොලර් 1498 ක අගයක්‌ දක්‌වා පහත වැටිණ. සෘණාත්මක ගණයෙහිලා ගැනුණු ආනයනයන් වරණීය බදු සහනය නොලබන තත්ත්වයට පත්වූයේය. වාණිජ කටයුතු දෙපාර්තමේන්තුවේ ඇස්‌තමේන්තුවකට අනුව ඉන්දු - ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම යටතේ කෙරෙන ආනයනයන් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් කරන සමස්‌ත ආනයන ප්‍රමාණයෙන් 14% කි. අපනයන වර්ධනය සිදු වී ඇත්තේ ආනයනයන්ට වඩා අඩු මට්‌ටමකින් වුවද ඉන්දියාව වෙත කෙරෙන අපනයන සමුදාය ප්‍රසාරණය වීම මෙන්ම විවිධාංගීකරණය වීම ද විෂයෙහි නිදහස්‌ වෙළෙඳ ගිවිසුම නොතැබුණ ද වෙළෙඳ පරතරය මේ ආකාරයෙන් අසතුටුදායක තත්ත්වයට පත් විය හැකිව තිබිණි.

එසේම පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව තුළ කෙරෙන ඉන්දියානු ආයෝජන ප්‍රමාණයෙහි ද වැඩිවීමක්‌ දක්‌නට ලැබේ. එමඟින් නිර්මාණය වන ද්විපාර්ශ්වික වෙළෙඳ සම්බන්ධතාවන් හි වාසි අත්කර ගැනීම පිණිස වැඩි වැඩියෙන් ආයෝජන කිරීම සඳහා සුදුසු පරිසරයක්‌ ඇතිකරවීමෙහි සමත් ඉන්දු - ශ්‍රී ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම ද මෙයට යම් ප්‍රමාණයකින් දායක වී ඇත.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු තුළට ඉන්දියාව අත පෙවීම

ශ්‍රී ලංකාව වෙත වන ඉන්දීය බලපෑම් වඩ වඩා උග්‍රවීම කෙරෙහි "සීපා" තත්ත්වය හේතුවනු ඇති බවට ද මතයක්‌ පවතී. ඉන්දියාව ජගත් බලවතකු බවට පත් වෙමින් තිබේ. ජී 20 සමුළුවෙහි සාමාජිකත්වය ද දරන ඉන්දියාවට එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක කමිටුවෙහි ආසනයකට පත්වීම පිණිස බොහෝ ප්‍රධාන රටවල සහයෝගය ද ලැබේ. චීනය සමඟ වූ ස්‌වකීය දේශපාලන හා වාණිජ සම්බන්ධතාවන් ශක්‌තිමත් කර ගැනීම තුළින් මෙම තත්ත්වයෙහි සමතුලිතතාවක්‌ ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රයත්න දරමින් සිටි. ශ්‍රී ලංකාව විෂයෙහි වූ ඉන්දියාවෙහි භූ - දේශපාලනමය සැලකිල්ලට පදනම් වී ඇත්තේ ඉන්දියාවට සැතපුම් 20 ක දුරින් පිහිටි ශ්‍රී ලංකාව කිසිවිටෙක ඉන්දියාවට විනා චීනයට ආසන්න කළ නොහැකි වන බවට වූ අවියෝජනීය භූගෝලීය යථාර්ථයයි. ඉන්දියාව, ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වනු ඇත්තේ ස්‌වකීය භෞමික යහ පැවැත්ම විෂයෙහි ශ්‍රී ලංකාව තර්ජනයක්‌ වන්නේ නම් පමණකි. ඉන්දියාවෙහි ආරක්‌ෂක සම්පත් මෙන්ම න්‍යෂ්ටික වැඩසටහන් ද පිහිටවනු ලැබ තිබෙන්නේ රටෙහි දකුණු කොටස ආශ්‍රයේ වන බැවින් ඒ අවට සිදුවන වර්ධනයන් විෂයෙහි ඉන්දියාව සුවිශේෂී උනන්දුවක්‌ දක්‌වයි. මේ අනුව දෙරටෙහි ආර්ථික බැඳීම දැඩිකරලීමත් ස්‌ථාවර හා සාඵල්‍යතා සහිත ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්‌තිමත් කරලීමත් ඉන්දු - ලංකා සීපා තත්ත්වයක්‌ තුළින් ඉටුකරගත හැකිය.

ඉන්දු - ලංකා සම්බන්ධතාවන් හි නිසි කළමනාකරණයක්‌ ඇතිකිරීම තුළින් කොටි ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීම පිණිස ඉන්දියානු සහයෝගය ලබාගැනීමට හැකිවිණි. යුද්ධයෙන් පසුව බටහිරින් එල්ලවූ පීඩනයෙන් ශ්‍රී ලංකාව රැකගැනීම පිණිස ද ඉන්දියාව වැදගත් කාර්යභාරයක්‌ ඉටුකළේය. එසේත් නැතහොත් අපට ජාත්‍යන්තරව සහය දෙන රටක්‌ ලෙස ඉන්දියාව පවත්වා ගැනීම අදට ද අනිවාර්ය වී ඇත.

යෝජිත ඉන්දු - ලංකා සීපා තත්ත්වය සම්බන්ධයෙන් වූ සංවාදයන් දෙස බැලිය යුතු වන්නේ හුදෙක්‌ මනෝමය හා යල් පීනු භීතීන් ඔස්‌සේ නොව, විභව ප්‍රතිලාභ හා පිරිවැය පිළිබඳ විධිමත් තක්‌සේරුවක්‌ ඔස්‌සේය. බෙහෙවින් විශාල වෙළෙඳ පාර්ශ්වකරුවන් සමඟ පවත්වන සම්බන්ධතාවන් සඳහා නීතිරීතිමය පදනමක්‌ සහිත පාලන ක්‍රමවේදයක්‌ නිර්මාණය කර ගැනීම කුඩා රටවලට යහපත්ය. විනයකින් තොරව මෙකී සම්බන්ධතාවන් ක්‍රියාත්මක වුවහොත් බොහෝ බලවත් වෙළෙඳ පාර්ශ්වකරුවන් සමඟ මතු වන ගැටලු සම්බන්ධයෙන් වෙන වෙනම විසඳුම් සෙවීමට සිදුවනු ඇත. වැදගත් වන්නේ ඵලදායී වූ ගනුදෙනු සාකච්ඡාවක නිරත වෙමින් දෙපාර්ශ්වයේම විශ්වාසය නොබිඳෙන ආකාරයෙන් කටයුතු කිරීමයි.

1980 දශකයේදී ජපානයේ මහා ප්‍රාග්ධන අපනයන වැඩපිළිවෙළින් ඵල නෙළාගැනීමට අසමත්වීම හේතුකොටගෙන අප රටට බොහෝ අවාසි අත් වූයේය. ඉන්දියාවේ ආර්ථික වර්ධනය ඔස්‌සේ නිර්මාණය වන්නා වූ අවස්‌ථාවන් ග්‍රහණය කර ගැනීමට අසමත්වීම මෙරට සංවර්ධනයෙහිලා විශාල අවාසියක්‌ වනු ඇත. අනෙකුත් ආසියාන් රටවල් අප අභිබවා ඉදිරි ගමනක යෙදී සිටියි. කාලය අපතේ නොයෑවිය යුතුය.

Tell a Friend