අමිල ගුණරත්න
ලංකාව දෙකඩ කිරීම සඳහා වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ නඩය යුදමය වශයෙන් පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ සමත් විය. එය පැසසිය යුතු කරුණකි. ජේ ආර් ගේ සිට චන්ද්‍රිකා දක්වා රාජ්‍ය නායකයන්ට කිරීමට නොහැකි වූ දෙයක් මහින්ද කළේය. එය ඔහුගේ සතුරන් පවා කියන දෙයකි. එම නිසා කිසිම කුහක බවක් හිතේ නොදරා ඒ සම්බන්දයෙන් අප ඔහුව පසසමු. වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ නඩය වේදිකාවෙන් ඉවත් වූ පසු අලුත් යුද සේනාංකයක් යලි ලංකාව දෙකඩ කිරීම සඳහා අවි අමෝරාගෙන පැමිණ තිබේ. ඒ දෙමල ඩයස්පෝරාවයි. විශාල ගිනි බලයක් තිබු එල් ටී ටී ඊ සංවිධානය මල්ටි බැරල් වලින් පරාජය කිරීමට හැකි වුවද දෙමල ඩයස්පෝරාව සමග සටන් කිරීමට මහින්ද සමත් වේද ? අපගේ තක්සේරුව අනුව මේ දක්වා මහින්ද සමත් වී නැත. කේ පී උස්සාගෙනවිත් තමන්ගේ පැත්තට හරවාගත් පසු දෙමල ඩයස්පෝරාවේ ප්‍රශ්නය විසදුවේ යැයි මහින්ද සිතන්නට ඇති. එහෙත් එය එසේ නොවීය . ඩයස්පෝරාව වඩ වඩාත් ශක්තිමත් වෙමින් අවි අමෝරාගෙන එති. මෙම ලින්ක් එක බලන්න http://www.youtube.com/watch?v=M9rvex_rBno කැනඩාවේ පාර්ලිමේන්තුවට අලුතින් පත්වී ආ දමිල මන්ත්‍රීවරිය වන රතිකා පසුගිය 18 දින කැනඩාවේ වාසය කරන ද්‍රවිඩ ප්‍රජාව අමතා අමතන අයුරු මෙහි දැක්වේ. එසේම එල් ටී ටී ඊ සංවිධානය අවසන් හුස්ම අදින කාලයේ ඔස්ට්‍රේලියාවේ ද්‍රවිඩ ප්‍රජාව දියත් කල උද්ගෝෂණයක් ද මෙම ලින්ක් එකෙන් දැකගත හැකිය. http://www.youtube.com/watch?v=9wuHHuTuydU දෙමල ඩයස්පෝරාව නිෂ්පාදනය කිරීමට මහත් දායකත්වයක් ලබා දුන්නේ 1983 දී අපගේ ජාතිආල පිස්සු බල ඇණිය විසිනි. ජාතිආලකාරයන් වගා කර දුන් දෙමල ඩයස්පෝරාව දැන් මුළු ලංකාවටම තර්ජනයක් වෙමින් පවතී.
දෙමල ඩයස්පෝරාව සමග සටන් කිරීමට මහින්ද අසමත් වුයේ මන්ද ? මේ සඳහා හේතු ගණනාවක් පෙන්වා දිය හැකිය. එල් ටී ටී ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමත් සමගම එල් ටී ටී ඊ සංවිධානය විසින් කල ජන ඝාතන , ළමා සොල්දාදුවන් බඳවාගැනීම්, නිරායුධ ජනතාව පලිහක් සේ භාවිතය වැනි කරුණු නිවැරදිව පහදා සනාථ කර හැකි සාක්ෂි සමග ජගත් ප්‍රජාවට ඉදිරිපත් කිරීම මහින්ද රාජපක්ෂ රෙජීමය ප්‍රමාද කළේය. නැතොත් එලදායිව සිදු කලේ නැත. එම නිසා එල් ටී ටී ඊ සංවිධානය විසින් කල අපරාධ එලියට ආවේ නැත. මේ සඳහා එක ප්‍රධාන හේතුවක් වූයේ ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව , රුසියාව ඇතුළු යුරෝපිය රටවල තානාපති සේවයේ නියුතු වගකිවයුත්තන්ගේ අක්‍රිය භාවයයි. ලක්ෂ්මන් කදිරගාමර් වැනි ඇති දක්ෂ විදේශ ඇමතිවරුන්ගෙන් පසු විදේශ ඇමති පුටුවට ආවේ රෝහිත බෝගොල්ලාගම වැනි ලොස් චරිතයකි. ඔහු වරක් විදේශ ඇමතිවරුන් අමතා කල කතාව ඇසූ විට තමාට මේසය යටට රිංගා සැගවීමට සිතුනු බව දයාන් ජයතිලක කියයි. තවද විදේශ කටයුතු අමාත්‍යංශය තමන්ගේ නින්දගමක් ලෙස පාලනය කල විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රොමේෂ් ජයසිංහලා ද මේවාට වග කිව යුතුය.
විදේශ සේවය සඳහා මහින්ද රාජපක්ෂගේ තේරීම් අන්තිම දුබල විය. ඔහු දක්ෂතාවයට වඩා බැලුවේ නෑ සබඳතා , කොතරම් දුරට එහෙයියෙකුද වැනි කරුණුය. උදාහරණයක් ලෙස රුසියාවේ තානාපති ධුරයට පත් කොට ඇති උදයංග වීරතුංග මහින්ද රාජපක්ෂගේ කිට්ටුම ඥාතියෙකි. රුසියාවේ ඉගෙනගෙන රුසියාවේ තේ විකුණමින් සිටි උදයංගට මේ නයින් තානාපති පදවියක් ලබාගත හැකි විය. රුසියානු භාෂාවෙන් කතා කිරීම හැරුණු කොට ඔහුට රාජ තාන්ත්‍රික කුසලතාවක් නැත. මීට වඩා දක්ෂ පුද්ගලයෙක් රුසියාවේ සිටියේ නම් ජගත් සංවිධානය ලංකාවට එදිරිව එන මෙවැනි මොහොතක රුසියාව හරහා පීඩනයක් බැන් කී මූන්ට දැමීමට තිබුණි. නමුත් ආණ්ඩුව කලේ වීරවංස වැනි ජෝකර් රිලා මොටයන් ලවා දේශීය තගක් බැන් කී මූන්ට දැමීමට ගොස් යුද අධිකරණ දක්වා වැඩ කුරුවල් කර ගැනීම ය.
දයා පෙරේරා වැනි හැකියාවන් එක්ස්පයර් වූ නීතිඥයෙකු කැනඩාවේ තානාපති සේවයට පත් කොට එවීමද මහින්ද රාජපක්ෂගේ දුබලවූ සිලෙක්ෂන් පෙන්වන ලද අවස්ථාවකි. බැරි බැරි ගානේ වැඩ කරමින් සිටි දයා පෙරේරා අන්තිමේදී ලංකාවට කැඳවීමට සිදුවිය. ටොරොන්ටෝවේ දෙමල ඩයස්පෝරාවේ කටයුතු වලට එදිරිව මතවාදයෙන් සහ කරුණු පැහැදිලි කිරීමෙන් කැනේඩියානු රාජ්‍ය නිලධාරීන්ට තතු පැහැදිලි කල බන්දුල ජයසේකර වැනි දක්ෂයෙකු තානාපති සේවයෙන් ඉවත් කිරීමද අනුවන ක්‍රියාවකි. ඇමරිකාවට ගිය බන්දුල ජයසේකර තානාපති කාර්යාලයේ සේවය කරන ලංකික කාන්තාවකට නුසුදුසු බලපෑමක් කලේ යැයි ලංකාවට කැඳවන ලදී. බන්දුල ජයසේකරගේ වැටීම ගැන ඇමරිකාවේ තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරියෙක් පවසන්නේ ඊලාම්වාදීන්ට තර්ජනයක්ව සිටි බන්දුල ජයසේකරව ඊලාම්වාදීන් විසින් අදාල කාන්තාව හරහා (බොහෝ විට මිලට ගෙන ) බන්දුලට වින කැටවු බවයි. බන්දුලගෙන් පසු එම පුටුවට තෝරාගත් කරු පරණවිතාන දක්ෂ ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් කරුණු පැහැදිලි කිරීමට ඇති අසීරුවෙන් පෙළෙන්නෙකි. එම නිසා කැනේඩියානු දමිල ඩයස්පෝරාවට එදිරිව මතවාදීව සටන් කිරීමට කරු පරණවිතාන අසමත් ය. එයද මහින්ද රාජපක්ෂගේ අවධානයට යොමු නොවූ කරුණකි. විදේශ සේවයෙන් ඉවත් කල සහ යලි කැඳවන ලද දයාන් ජයතිලක වැන්නවුන්ගෙන් නිසි සේවය ලබා ගැනීමට මහින්ද දක්ෂ විය යුතුය. දක්ෂතා ඇතිමුත් ඇතැම් විට දයාන් දුර දිග නොබලා මෝඩ කතා කියන්නෙකි. එම නිසා දයාන් වැනි කෙනෙකු නිසි පරිදි මෙහෙයවනු ලැබුවොත් ඔහුට විශාල වැඩ කොටසක් කල හැකිය.
වේලුපිල්ලේ ප්‍රභාකරන් නොමැති දෙමල ඩයස්පෝරාව තනි තනිව ගත් විට දුබල බියසුලු කොටසක් නමුත් සමුහයක් ලෙස ගත් විට ශක්තිමත් අන්තර්ජාතික ප්‍රජාවට විශාල බලපෑමක් කල හැකි කොටසකි. එම නිසා ඩයස්පෝරාවට මුහුණ දීමට ආණ්ඩුව මීට වඩා ප්‍රඥාවන්ත විය යුතුය. උතුරු නැගෙනහිර දෙමල ප්‍රජාව සඳහා යම් සාධාරණයක් මහින්ද රාජපක්ෂ රෙජීමය ඉටු කිරීම මගින් අන්තර්ජාතිකව රජයට ප්‍රසාදයට ලක් වනවා පමණක් නොව දේශීය වශයෙන්ද දමිල ප්‍රජාවගේ අසහනකාරී තත්වය සමනය වෙයි. එයට සුපුරුදු පරිදි ජාතිවාදීන් සහ බොර දියේ මාළු බෑමට කැමති ටිල්වින්ලා කෑ ගසනු ඇත . නමුත් රටේ අනාගතය යලිත් අන්තවාදීන් නිසා අනතුරේ හෙලනවාද යන්න ආණ්ඩුව සැලකිලිමත් ලෙස කල්පනාවට ගත යුතු වේ.
උතුරේ යුද්දයට මුදල් පොම්ප කිරීම මගින් දෙමල ඩයස්පෝරාවද මෙම විනාශයේ කොටස්කරුවන්ය. ඔවුනට එම චෝදනාවෙන් ගැලවිය නොහැකිය. මෙම කරුණ අන්තර්ජාතික වශයෙන් යොදා ගැනීමට අසමත් වීම මගින් මහින්ද රාජපක්ෂ රෙජීමයේ දුබලතාවය පෙන්නුම් කරයි. දෙමල ඩයස්පෝරාව උතුරේ දුප්පත් ද්‍රවිඩයන්ගේ ළමුන් යුද්දයට යැව්වේ ඔවුන්ගේ ළමුන්ට සුරක්ෂිත අනාගතයක් තනමිනි. දුප්පත් ද්‍රවිඩයන්ගේ ලේ වලින් ඊලම නිර්මාණය කොට සීත කාලයට පමණක් උතුරට විත් සැප ගැනීමට ඔවුන් සිහින මැවීය. ඔවුන් මුදල් පොම්ප කොට විනාශ කල උතුරේ අන්තිමට ඉතිරි වුයේ සමතලා වූ ගොඩනැගිලි සහ අවතැන් වූ ජන සමුහයකි. දෙමල ඩයස්පෝරාවේ අවස්ථාවාදය ගැන මහාචාර්ය රාජන් හූල් විසින් ලියන ලද ග්‍රන්ථ වල දැකගත හැකිය.yes sir no sir three back full sir කියමින් ජනාධිපති මැදුරේ කුරහන් තලප සමග කාලයද කන ජනාධිපති උපදේශකයන් මෙම කරුණු නිසි ලෙස ඩයස්පෝරාවේ චෝදනා නිෂ්ප්‍රභා කිරීමට යොදා ගන්න ආකාරයවත් මහින්දට කියා දී නැත.
දෙමල ඩයස්පෝරාව සක්‍රියව තබා ගනිමින් මුදල් එකතු කොට සුපිරි ජීවිත ගත කරන කණ්ඩායම් යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සිටීති. ඔවුන් තවමත් විදේශගත ද්‍රවිඩ ප්‍රජාව බිය වද්දමින් මුදල් එකතු කරමින්, ප්‍රජාවට විවිධ බලපෑම් කොට උද්ගෝෂණ වලට ගෙන්වා ගනිති. මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ ඔස්ට්‍රේලියාවේ වෙසෙන දමිල කාන්තාවක් ප්‍රකාශ කලේ උද්ගෝෂණ වලටනොඑන ද්‍රවිඩ ජාතිකයන්ට දුරකතනයෙන් මරණ තර්ජන කෙරෙන බවය. එසේම උතුරු ඇමරිකාවේ ජීවත් වන ද්‍රවිඩ ඉංජිනේරුවෙකු ප්‍රකාශ කලේ 2009 ටොරොන්ටෝ හි මහා මාර්ගය වැසූ උද්ගෝෂණයට සහභාගී නොවූ නිසා තම බෙන්ස් රථයේ වින්ඩ්ස්ක්රීනය කඩන බවට ද්‍රවිඩ තරුණයන් තිදෙනෙකු විත් තමන්ට කියූ බවය. මෙවැනි මද්‍යස්ථ අදහස් දරන දමිල ජාතිකයන් දිනා ගැනීමට අපගේ තානාපති කාර්යාල වල ක්‍රමවේදයක් තිබේද ? විදේශගත ද්‍රවිඩ ප්‍රජාව බිය වද්දමින් මුදල් එකතු කරන ද්‍රවිඩ කණ්ඩායම් නිරායුද කිරීමට ඒ ඒ රටවල පොලිසි සමග සම්බන්ද වෙමින් ක්‍රියා කරන වඩා පිළිවෙලක් අපගේ තානාපති කාර්යාල වල තිබේද ?, ඔවුන්ව හඳුනා ගැනීමට සහ ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ සබඳතා සොයා ගැනීමේ බුද්ධිමය මෙහෙයුම් අපගේ තානාපති කාර්යාල හරහා කෙරෙනවාද ? (ඉන්දියාව , ඊශ්‍රයලය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුනා යැයි කියාගන්න ඇමරිකාවේ අදාල තානාපති කාර්යාල මෙවැනි බුද්ධිමය මෙහෙයුම් කරති) ඊලාම්වාදීන් විසින් මුදලට ගෙන ඔවුන් වෙනුවෙන් කතා කරන යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ දේශපාලකයන් ඒ ඒ රටවල නිදහස් පුවත්පත් හරහා නිරාවරණය කිරීමට අපගේ තානාපති කාර්යාල කරන ක්‍රියාවලිය කුමක්ද ? අපට වැටහෙන අන්දමට එලදායි කිසිවක් මෙතෙක් නොවන බවයි. අන්තිමේදී ප්‍රභාකරන්ට අවුරුදු 30 යුද්ද කොට කර ගැනීමට බැරි වූ දෙය දෙමල ඩයස්පෝරාව විසින් ජගත් ප්‍රජාව හරහා කරනු ඇත.

Post a Comment