මැරකරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගනිමු

පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්‌ථවිර

මිනිසා විසින් මිනිසා උදෙසා කෙරෙන පාලනය සරල වශයෙන් ගත්කල ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ ගන්වන එක්‌ පාඨයකි. දෙවියන්ගේ නියෝජිතයා යන මතය පාදක කොට ගෙන සුමේරියානු යුගයේදී නිර්මාණය කෙරුණු රාජ සංකල්පය අත්දැකීමෙන් ම මානව සමාජයට අහිතකර බව අවබෝධ කරගනිමින් සියවස්‌ ගණනාවක්‌ මුළුල්ලේ එයට එරෙහිව මහජනයා ගෙන ගිය අරගලය බ්‍රිතාන්‍ය ඉතිහාසයෙන් අනාවරණය වේ. ඒ ආකාරයට පුරාණ ග්‍රීක සමාජයම ලොවට හඳුන්වා දුන් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය මානව සමාජයට දායාද කිරීමට බ්‍රිතාන්‍ය ජනයා සමත් වූයේ ජීවිත විශාල සංඛ්‍යාවක්‌ පුද කරමින් බවත් රහසක්‌ නොවේ.

අපරදිග රාජ සංකල්පය දේව නියෝජනයක්‌ පාදක කරගෙන නිර්මාණය කෙරුණත් පෙරදිග රාජ සංකල්පය දසරාජ ධර්මය පාදක කොටගෙන මානව සමාජයේ යහපැවැත්ම තේමා කොටගෙන නිර්මාණය වීම නිසා ලාංකීය රාජ පාලනය ද මහජනයාගේ යහපැවැත්ම උදෙසාම සිය පාලන බලය යෙදවූ ආකාරය හෙළ වාරි කර්මාන්තය, කලා ශිල්ප හා ගෘහ නිර්මාණයන් තුළින් මනාව පැහැදිලි වේ.

එහෙත් හෙළ රාජ පරපුර මහනුවර යුගයේදී නිමා කෙරෙමින් නායක්‌කර් රාජ වංශය පාලනයට පිවිසීමෙන් පසුව ලාංකීය රාජ වංශයේත් ආකල්පමය වෙනසක්‌ ඇතිවීම මත රාජ බලය ජන පීඩන යන්ත්‍රයක්‌ බවට පත්වීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට ලංකාව සිය ග්‍රහණයට ගැනීමට මංපෙත් විවර කළ අයුරුත් ඉතිහාසයේ දැක්‌වේ.

1815 දී ඒ ආකාරයට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්‌ බවට පත්වීමෙන් පසුව ජාතියට නිදහසට අමතරව බොහෝ දේ අහිමි වූ අයුරු අපේ ඉතිහාසයේ දැක්‌වේ. කොහොම නමුත් බ්‍රිතාන්‍යයන් අපට බොහෝ දේ අහිමි කළත් නූතන ලෝකය වඩාත් ප්‍රශස්‌ත පාලන ක්‍රමය ලෙසින් පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදය අපේ සමාජයට ලබාදීමට කටයුතු කිරීම ප්‍රශස්‌ත කාරණයකි.

1931 සිට ඩොනමෝර් කොමිසම මගින් ලබාදුන් දළ-රළු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමිකව වර්ධනය වෙමින් අංග සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයකට මංපෙත් විවර කළ අයුරු මෑත ඉතිහාසයේ දැක්‌වේ.

එහෙත් තුන්වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවලට පොදු සාධකයක්‌ බවට පත්ව තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය යනු වසර කීපයකට වරක්‌ ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමේ වරම ය යන මිථ්‍යා මතය අද වන විට ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බරපතළ තර්ජනයක්‌ වෙමින් පවතී. ප්‍රජාතන්ත්‍රවාදය යනු වසර කීපයකට වරක්‌ සිය පාලන නියෝජිතයා තෝරා පත්කර ගැනීම උදෙසා ජන්දය පාවිච්චි කිරීම පමණක්‌ ය යන්න සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ළඟා කිරීමකට වඩා වැඩි යමක්‌ නොවන බව ජනතාව අවබෝධ කර ගැනීමට කාලය උදාවී ඇති බව අවධාරණය කළ යුතුය.

1977 දී ඇරැඹි ෙ-. ආර්. ජයවර්ධන පාලන යුගය රටට - ජාතියට බොහෝ දේ අහිමි කරද්දී ප්‍රජාතන්ත්‍රවාදයත් උඩුයටිකුරු කළ බව නොරහසකි. එහිදී රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අමතරව සිය පක්‍ෂ ව්‍යවස්‌ථාවත් වෙනස්‌ කරමින් ජනතා නියෝජිත සංකල්පය වෙනුවට පක්‍ෂ නියෝජිත සංකල්පයක්‌ හඳුන්වා දුනි. ඒ මගින් මහජන නියෝජිතයා ජනාධිපතිගේ නියෝජිතයකු බවට පත්වීමත්, පාර්ලිමේන්තුව තුළ ජනතා පරමාධිපත්‍ය බලය නාමමාත්‍රික තත්ත්වයට පත් කරමින් ජනාධිපති නියෝජිතයන්ගේ භූමියක්‌ බවට පත් කරගත් ආකාරයත් නූතන ඉතිහාසයේ දැක්‌වේ. එයට මනාප ක්‍රමයකුත් ඈඳමින් ජනතා නියෝජනයට හා නීති සම්පාදකයකුට ඇවැසි මූලික ගුණාංග සියල්ල ඉස්‌මතු කරමින් මුදල ඉස්‌මතු කෙරිණි. විශාල මුදලක්‌ වැය කිරීමට හැකි, දිස්‌ත්‍රික්‌කයක්‌ පුරා සිය ප්‍රචාරණ කටයුතු පවත්වා ගෙන යැමට හැකි ධනවතුන් බහුතරයකට පාර්ලිමේන්තුව, පළාත් සභාව, නගර සභා සහ ප්‍රාදේශීය සභා තුළ නියෝජනය අත්පත් කර ගැනීමේ භාග්‍යය උදා විණි.

විශේෂයෙන්ම යහපත් ව්‍යාපාර තුළින් මුදල් උපයා ගත් අයට වඩා අයථා ක්‍රම වලින් ධනවතුන් වූ ඔවුන්ගේ සහචරයන්ට දේශපාලන බලය නැතහොත් ජනතා පරමාධිපත්‍ය බලය හිමි කෙරිණි. "ලෝ මේකර්ස්‌" ඛAඋ ඵAණෑRS හෙවත් නීති සම්පාදකයන් බවට එවැනි පිරිස්‌ පත්වීම නිසා සමාජ විරෝධී, නීතිවිරෝධී, ආගම් විරෝධී ක්‍රියාවන්ට එරෙහි ක්‍රියා අඩපණ විමටත් බෙහෙවින්ම බලපා තිබේ. ඒ වාගේම ජනතා නියෝජන සංකල්පය යටපත් කරමින් පක්‍ෂ නියෝජන සංකල්පය නිර්මාණය කිරීමට ඡේ. ආර්. ජයවර්ධන පාලනය කටයුතු කිරීමේ විපාකයක්‌ වශයෙන් සමාජ විරෝධී ක්‍රියාවල නිරත නූගත් මැරයන්ටත් දේශපාලන බලය අත්පත් කරගැනීමට මංපෙත් විවර වීම නිසා බලය අත්පත් කරගැනීමත් සමගම ජනතා නියෝජිත ආකල්පයෙන් බැහැරව ජනතා හාම්පුතකු බවට පත්වීම වත්මන් සමාජය තුළ ප්‍රායෝගිකව දැකගත හැකිය. ඒ වාගේම එවැනි ආකල්පයෙන් කටයුතු කරන දේශපාලකයන්ගේ මැර හස්‌තයට ඔහු නියෝජනය කරන බල ප්‍රදේශයේ පොලිසිය, ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාසල, රෝහල ඇතුළු මහජන ආයතන පමණක්‌ නොව පන්සල, දේවස්‌ථානය මෙන්ම නගරයේ ව්‍යාපාරික ස්‌ථාන පවා යටපත් කරගෙන ජනතාව මත පීඩනයත්, දූෂණය හා භීෂණයත් මුදාහරින ආකාරයට කැලණිය වැනි ශුද්ධ භූමි පවා කදිම නිදසුන් බවට පත්ව ඇත.

මෙය පාලනය කිරීමට නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුට පැවැරීම ලේනකුට සිය වලිගයෙන් මහා සාගරය සිඳීමට භාරකිරීමක්‌ බඳු හාස්‍යජනක ක්‍රියාවකි. එය එසේ වන්නේ ෙ-. ආර්. ජයවර්ධනයන් උඩුයටිකුරු කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවත්, මැතිවරණ ක්‍රමයත් නැවත සැබෑ ජනතා නියෝජිත ක්‍රමය ස්‌ථාපනය කෙරෙන ආකාරයට වෙනස්‌ කිරීම සිදු කෙරෙන තෙක්‌ ජනතා හාම්පුත් ආකල්පය පිටු දැකිය නොහැකි හෙයිනි.

එය යථාර්ථයක්‌ බවට පත් කිරීම අභිමානවත් අගනගරයක්‌ නිර්මාණය කිරීමේ මහඟු ක්‍රියාදාමයට සේම ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීමේ මාහැඟි අරමුණ, අධිෂ්ඨානය ප්‍රායෝගික යථාර්ථයක්‌ බවට පත්කර ගැනීමටත් අතිවිශාල ශක්‌තියක්‌ වනු නොඅනුමානය.

ඒ වාගේම නූතන වංශ කථාව රචනය කිරීමේදී ඡේ. ආර්. ජයවර්ධනයන් උඩුයටිකුරු කළ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවතත් යථා තත්වයට පත්කරමින් සැබෑ ජනතා නියෝජිතත්වය නිර්මාණය කිරීමට පුරෝගාමී වීමේ මාහැඟි උරුමය ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් ඇතුළු රාජපක්‍ෂ පවුලේ සියලුම සාමාජිකයන්ට අත්කර දීමට අපේ වංශකථා කරුවන් පෙළඹෙනු නියතය.

Tell a Friend