කතුවැකිය : තිරයක් නැති නාඩකම

එක්සත් ජාතීන්ට ප්‍රතිචාර නොදක්වන බව කියා ආණ්ඩුව ප්‍රතිචාර දැක්වීමට සැරසේ

LLRC කොමිසමේ කාලය මාස හයින් දීර්ඝ කෙරේ

හදිසි නිතිය සහ ත්‍රස්තවාදය වැලක්වීමේ පනත ලිහිල් කෙරේ 



නාඩකම ආරම්භ විය. ජනතාවාදී නායකයා රාජ්‍ය නායකයා වී ඒ රාජ්‍ය නායකයා ගිල ගැනීම සඳහා අර අදින බටහිර කුමන්ත්‍රණයට එරෙහිව " උපන් බිමට දා බිඳුවක්... රට සුරකින ජන පවුරක්", නමැති එක්දින ටෙලි නාට්‍ය දැන් තිරගත වී ඇති අකාරය දැක ගත හැකි වනු ඇත. කොළඹට බලෙන් දක්කා ගෙන ආ මිනිසුන් පිරිසකගේ දායකත්වයෙන් අදාළ ජනතාවාදී නායකයා ලෝකයට කියන්නේ තමන් සමඟ සිටින ජනතාවගේ ප්‍රමාණය සහ බෑන් කි මූන් වැරදි සර්පයකු සමඟ සෙල්ලම් කරන බවය. රටේ පවතින දේශපාලන ප්‍රවණතාවයට අනුව කතාව හරිය. නමුත් සත්‍යට අනුව රාජපක්ෂට එක්සත් ජාතීන්ගේ වාර්තාවට වඩා වැදගත් වන්නේ මැයි පළමුදා ඇසීමට නියමිත විරෝධය යටපත් කිරීම සඳහා කටයුතු කිරීමය. මෙය යලිත් කිව යුතු නැත, රාජපක්ෂ දේශපාලනය තුළම සිදු කරන සුක්ෂම මංකොල්ල කෑම වටහා ගැනීමට හෙල්පින් හම්බන්තොට ගැන නොසිතා මෙයම ප්‍රමාණවත්ය.

අදාළ දරුස්මාන් වාර්තාව, එක්සත් ජාතින් විසින් මෙරට පාවා දීමට හෝ යලිත් බෙදුම් වාදයක් ඇති කිරීමේ උවමනාවෙන් කොටි හිතවාදීන්ගේ ඉල්ලීම මත ලියවුනු ලියවිල්ලක් බව ආණ්ඩුව කියයි. අදාළ වාර්තාව සිංහලෙන් ප්‍රකාශ කිරීමටවත්, එය මහජනයාට එනම් සිංහලෙන් කියවන පිරිසට පරිශීලනය කිරීමටවත් ඉඩක් නැත. ආණ්ඩුව එවැන්නක් සිදු කොට නැත. පට්ටපල් බොරු ගොඩක් ගොතමින් මහජනයා මුලාවට ලක් කරන ආණ්ඩුව අදාළ කමිටුවට හොර රහසේ එක්සත් ජාතීන්ට එළබෙන සතියේදී ප්‍රතිචාර දැක්වීමට නියමිතය. එහිදී උගත් පාඩම් සඳහා වන සංහිදියාව නමැති ජනාධිපති කොමිසම හෙවත් LLRC හී කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමටත්, හදිසි නිතීය සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කිරීමට හෝ එය සැහැල්ලු කිරීමට සුදානම් බවද ආණ්ඩුව විසින් එක්සත් ජාතීන්ට දැනුම් දෙනු ඇති බව වාර්තා වන අලුත්ම තොරතුරු වේ. එක්සත් ජාතින් කිසි ලෙසකින් සැහීමකට පත් නොවන අදාළ LLRC කොමිසමේ කාලය මෙම මස මැයි 15 වැනිදා අවසන් වීමට නියමිත අතර එය නොවැම්බර් 15 දක්වා දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය ළඟදීම ප්‍රකාශ කරනු ඇත.

ආරක්ෂක මණ්ඩලයේදී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් වුවහොත් රුසියාවට ඊට සහයෝගය නොදක්වන බව මෙරට සිටින රුසියානු තානාපතිවරයා අද ( මැයි 1 ) ඉංග්‍රීසි පුවත් පතකට ප්‍රකාශ කොට ඇති නමුත් රුසියාවේ විරෝධය විශාල බලපෑමක් කළ හැකි බවක් පෙනෙන්නට නැත. විශේෂයෙන් පසුගිය දශකය පුරාම සිදු වූ ජාත්‍යන්තර මැදිහත් වීම් වලින් එය දකන්ට ලැබුණි. රාජපක්ෂ තමන්ගේ සාටක උඩ දමාගෙන නටන නැටුම් ජාත්‍යන්තර වශයෙන් හාස්‍යට සහ පිළිකුලට භාජනය වී ඇති බව රහසක් නොවේ. පන්දම් කාරයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ ගොදුරක් බවට පත් වී ඇති ශ්‍රී ලංකා තානාපති සේවාවෙන්ද තැනින් තැන 10-12 දෙනා එකතු කර ගත් උද්ඝෝෂණ හැරෙන්නට එක්සත් ජාතින් සමඟ බුද්ධිමත් සාකච්චාවකට අවතීර්ණ වේ යයි සිතීම සිහිනයකින්දු සිතිය නොහැකිය. මේ නිසා ලංකාව තුළ නටන නාඩකමක් හැරෙන්නට ඉන් පිටත රාජපක්ෂ වූ කලී වංචාකාරයෙකුගේ භූමිකාව රඟපාන කපටි නළුවෙකි. එය එසේ නොවේනම් මිලියන ගණන් වියදම් කරමින් ටයිම්ස් සඟරාවේ මැතිවරණය වංචා කරන්නේ නැත. ලංකාව තුළ සැබෑ මැතිවරණ පවා වංචා කළ හැකි වුවද ඉන් පිටත ලෝකය තුළ රාජපක්ෂට කිසිඳු ඉඩක් නැත. මෙවැනි කටයුතු සාමාන්‍ය ව්‍යවාහරයේ ගොන් පාට් යයි කියති.

ආණ්ඩුවේ සිළුමිණ පුවත් පතේ අද දින පල කොට තුබූ කතුවැකිය ලියන්නාගේ ( කරුණාදාස සුරිආරච්චි මහතා විය යුතුය) වචන වලට අනුව, "අපේ රට අපට තිතක් නොව මහාද්වීපයකි. අපේ රට කෙරෙහි අප තුළ ඇති භක්තිය අතුරන්නට පංච මහාද්වීපයත් මදි ය. අපේ රට පිළිබඳව අප තුළ ඇති අභිමානය සදෙව් ලොව දක්වා විහිදයන්නකි. අපි රජෙක් නැති කූඹි රැළක් නොවෙමු. අපි රජෙක් ඇති හස්ති රෑනකි.මේ මොහොතේ දී රටට ආදරය කරන බහුතරය තවත් විශාල වී ඇත. රටට ද්‍රෝහී වන සුළු තරය තවත් කුඩා වී ඇත. දෙදහස් වසරක අපේ ඉතිහාසය අද දවස දෙස බලා සිටී. නිසැකව ම අපි ඒ ඉතිහාසයේ අලුත් පිටුවක විස්මිත සටහනක් තබන්නෙමු," තමන්ගේ දුර්වල කම වසා ගැනීම සඳහා සිදු කරන කූඨප්‍රාප්තිය දකින්නේ එලෙසය.මෙය හැඳින්වීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ. එය වූ කලි යැපීම සඳහා සිදු කරන සපත්තු ලෙව කෑමය.

එසේම දිවයිනේ කතුවරයා වන ගාමිණි සුමනසේකර මහතා, " අද යළිත් බෑන් කී මූන් නමැති නිල ඉත්තා භාවිත කරමින් ශ්‍රී ලංකාවට අත පෙවීම සඳහා දරන අලඡ්ජි ප්‍රයත්නය ඉතා පැහැදිලිය. එහෙත් පුදුමයට කාරණය නම් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලද තහනමට ලක්‌ව සිටි එල්. ටී. ටී. ඊ. සංවිධානයේ පරාජය පිළිබඳව ඒ රටවල් දක්‌වන ප්‍රතිචාරයයි,"යයි සඳහන් කොට ඇත. එසේම ඔහු මෙසේද කියයි," ශ්‍රී ලංකාව ත්‍රස්‌තවාදය පරාජය කිරීම වරදක්‌ බව බෑන් කී මූන්ගේ ඊනියා නිර්දේශයකි." මෙය තමන්ගේ මෝඩ කම නිසා ලියනු ලබුවක්ද එසේ නොවේනම් කිසිවෙකුගේ හෝ ලනු අනුබව කිරීමක් සඳහා කළ කටයුක්තක්දයි දන්නේ නැත. නමුත් පැහැදිලි කාරණයක් ඇත මෙම කතුවරුන් කිසිවෙකු අදාළ වාර්තාව කියව නැති බවයි. බෑන් කි මූන් හෝ දරුස්මාන් ලංකාව ගිලගනිමට පැමිණි මකරුන් ලෙස දකින්නේ ඒ නිසාය. මෙවැනි මානිසිකත්වකට ඕනෑම වරදක් කොට එය යට ගැසීම හැකියාව තිබේ.මේරට ආණ්ඩු 71 සිට මරා දමනු ලබූ ලක්ෂ ගණන් තරුණ  තරුණියන්ගේ මිනි අළු යට ගසා පට්ට පල බොරු ජාති ආලයක් කරපින්නාගෙන තමන්ගේ යැපීම තහවුරු කරගන්නේ මේ නිසාය. සැබවින්ම මේර සිංහල මාධ්‍ය වැටී සිටින නිවට නියාලු තත්වයේ බරපතකම තේරුම් ගත හැකිය.

රාජපක්ෂ කරමින් සිටින්නේ මෝඩ පූසාගේ භූමිකාව තමන්ගේ දේශපාලන ක්‍රමෝපාය ලෙස භාවිත කිරීමය. එනම් පුසෙකුට යමක් සොරකම් කිරීමට සිදු වූ විට ඌ ඇස් වසාගෙන අදාළ වස්තුව වෙත ගමන් කරයි. ඔහු සිතන්නේ තමන් ඇස් වසා ගැනීම නිසා තමන්ව අනුන්ට නොපෙනෙන බවයි. නමුත් ආඩම්බරකාර මෝඩ පූසා තමන්ගේ ඇස් වැසීමෙන් නොපෙනෙන්නේ තමන්ට පමණක් බව නොදන්නේය. මෙය වර්තමානයේදී මහින්ද චින්තනය තුළින් අපි හඳුනා ගන්නා මුලික ගුණය වේ. වෙනස ආඩම්බරකාර මෝඩ පූසා ලංකාවේදී ආඩම්බරකාර කපටි තාත්තෙකු වී සිටීමයි. මේ වන විට කොළඹ පුරා වීදි දිගේ දෝරේ ගලා යන ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සැබෑ නිරුවත වන්නේ එයයි. අපට නොතේරෙන්නේ මෙය තිරයක් නැති තම තමන්ගේ හෙළුව තම තමා විසින්ම බලාගෙන හරි ෂෝක් කියන නාඩකමක් බවයි. මින් එක්සත් ජාතින්ගේ සංවිධානය වසා තමන්ගේ අමනකම නිසා කොටි හිතවාදියෙක් යැයි පට්ට ගසන බෑන් කි මූන් හෝ එහි සිටින්නෙකු එලවා දැමිය හැකිද? රංගනය අවසානයේදී අපි කටාත් තේරෙන දෙයක් ඇත. එය අවබෝධ කරගැනීමට තම තමන්ගේ මුළුතැන්ගෙට පිවිසීමෙන් සිදු කර ගත හැකිය. 

Tell a Friend