සුරාන්ගනි! සුරාන්ගනිට මාලු නැහැ - රාජිත

කොළඹ සාන්ත ජෝන් මාළු වෙළඳ සලේ වෙළෙඳාම් කළ වෙළෙඳුන් 52 කට නව පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කඩ ලැබී නැතැයි එම වෙළෙන්දෝ පවසති. තම දුක්ගැනවිල්ල පැවසීමට ධීවර ඇමැති රාජිත සේනාරත්න හමුවීමට ගිය මෙම ව්‍යාපාරිකයන්ව ඇමැතිවරයා පන්නා ගත් බව ඔව්හු ‘ලංකා ඊ නිව්ස්’ වෙත පැවසූහ.

සැබෑ මාළු වෙළෙඳුන්ට කඩ නොලැබුනද නව සංකීර්ණයේ වෙළඳ සල් මාළු ව්‍යාපාරයට කිසිදු සම්බන්ධයක් නැති අතරමැදියන් විසින් ලබාගෙන ඇති අතර ඔවුන් දැන් එම වෙළෙඳ සල් අධික මිල ගණන් වලට කුලියට දෙමින් සිටිති.

මෙසේ වෙළෙඳ සලක් ලබා ඇති එක් පුද්ගලයෙකු නම් සිනමා නළු වින්සන්ට් කරු ය. තවත් අය අමැතිලාගේ ඩ‍්‍රයිවර්ලා ය, වරායේ ශ‍්‍රීලනිප යූනියන් නායකයන් ය. තවත් අය ඇමැති රාජිතගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් වියදම් කළ අය වෙති. රාජිත ඇමැතිවරයාගේ ගෝලයන් වන ටී.එම්. නිහාල් සහ ජයන්ත කුරේ නම් දෙදෙනාටද කඩ තිබේ.

නව මාළු වෙළඳ සංකීර්ණයේ එක් කඩයක කුලිය මසකට රුපියල් 40,000 ක් වැනි ඉහල ගණනක් වන අතර මාළු වෙළෙඳාමට සම්බන්ධයක් නැති ඉහත කී අතරමැදියන් තම වෙළෙඳ සල් දැන් අතුරු බදු දෙන්නේ මසකට රුපියල් 90,000 කුලියකට බවත් වෙළෙඳ සල් අහිමි වූ සැබෑ මාළු වෙළෙන්දෝ කියති.

මෙම වෙළඳ සල් දීම ඇමැති රාජිතගේ සොහොයුරෙකු වන ධීවර සංස්ථාවේ සභාපති මහිල් සේනාරත්න මහතා මැදිහත්ව සිදු කර ඇති අතර ඔහුගේ කඩ දීම ඉතා දුෂිත වූවක් බව කඩ නොලැබුණු ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

ධීවර සංස්ථාවට ලබා ගන්නා මාළු වලින් කොමිස් මුදලක් බලවත් කොමිස්රත්න කෙනෙක් විසින් ලබාගන්නා බවද පැවසේ. දිනකට ධීවර සංස්ථාව විසින් මාළු කිලෝ 2000 - 3000 ත් අතර ප‍්‍රමාණයක් මිලදී ගන්නා අතර එක් මාළු කිලෝ එකකින් කොමිස් ලෙස රුපියල් 50 ක් ලබා ගන්නා බවට වෙළෙන්දෝ චෝදනා කරති. එ් අනුව දිනකට ලැබෙන කොමිස් මුදල අවම වශයෙන් ලක්‍ෂ 2 කි. මේ කටයුත්තට බලවතා විසින් මංජුල එදිරිමාන්න නම් පුද්ගලයෙකු යොදවා තිබෙන බවද වෙළෙන්දෝ පවසති.

මාළු කිලෝ එකක් රුපියල් 50 කින් ගණන් වැඩිවීම මේ කොමිස්රත්න නිසා සිදුවන බව පවසන මාළු ව්‍යාපාරිකයෝ ‘සාන්ත ජෝන් වෙළඳ සලේ අවුරුදු 20 ක් වෙළෙඳාම් කළ අපි පනස් දෙදෙනාට දැන් වෙළෙඳාම් කරන්න තැනක් නෑ. ජීවත්වෙන්න විදිහක් නෑ. නව මාළු සංකීර්ණය අපිට හෙණයක් වුනා මහත්තයෝ’ යැයි ලංකා ඊ නිව්ස්’ වෙත පැවසූහ