20 වන සියවසයෙන් ආපස්සට යන ලංකාව

බැසිල් ප්‍රනාන්දු විසිනි

විසි වන ශත වර්ෂයේදී ලාංකිකයන් විසින් අත් පත් කර ගන්නා ලද මුලික ජයග්‍රහණයන් ගණනාවක් 21 වැනි ශතවර්ෂය තුළ නැති වී යමින් පවතින බව පෙනේ. ලෝකයේ බොහෝ රටවල මෙන්ම ආසියාවේද රටවල් ගණනාවකම දකින්නට ඇත්තේ විසි වන ශත වර්ෂයේ මුල් භාගයේදී අත් පත් කර ගැනීමට නොහැකි වූ බොහෝ දේ විසි වන සිය වසයේ අග භාගයේදී සහ ඉන් පසුව ඔවුන් විසින් අත් පත් කර ගන්නා ආකාරයයි. ස්වභාවිකව එය සිදු විය යුත්තේ එසේයි. බොහෝ අමාරු කම් සහ අඩුපාඩු කම් වලින් පසු යම් සමාජයක් තුළ අත්පත් කර ගැනීමේදී දකිත හැක්කේ ක්‍රමානුකූල දියුණුවකි. අමාරුවෙන් අත් පත් කරගන්නා දියුණුවක් අත් හැර දැමීම ස්වභාවික නැත. මේ අනුව ලංකාවේ දැන් සිදු වෙමින් පවතින පසු බෑම ස්වභාවික නැත. එය පරිපාලනයේ පසු බෑම් නිසා පමණක් සිදු විය හැකිය. මෙසේ ආපස්සට යමින් පවතින දේ මොනවාද?

කාන්තාවන්ගේ සෞඛ්‍ය සහ සමාජ තත්වය :- විසි වන ශතවර්ෂය පුරා ලංකාව අත්පත් කරගත් ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය වනාහී කාන්තාවන්ගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලබා ගත් දියුණුවයි. තවමත් ලෝකයේ රටවල් ගණනාවකට අත් පත් කර ගැනීමට අමාරුව පවතින්නේද කාන්තා සෞඛ්‍ය පිළිබඳව ඇති ගැටලුය. දරු ප්‍රසූතියේදී කාන්තාවන් මිය යාම මෙන්ම දරුවන් ලැබීම හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලූ විසඳා ගැනීමට නොහැකි වීම නිසා මිය යන මෙන්ම වෙනත් ආකාර වලින් කරදරයට පත්වන කාන්තාවන්ගේ ගන්න අප්‍රමාණය. 1950 පමණ වන විට මෙම ක්ෂේත්‍රය තුළ විශාල දියුණුවක් ලංකාවේ ඇති විය. එම දියුණුවට හේතු වූයේ සෞඛ්‍ය ක්ෂේත්‍ර තුළ දියුණුවට අවශ්‍ය අය වැය ලබා දීම මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ දැනීම පිළිබඳව ඇති වූ විශාල වෙනස් කම්ය. මහජන සෞඛ්‍ය යන සංකල්පය ලංකාවේ ප්‍රචිලිත කිරීම සහ ඒ පිළිබඳව මහජන මතයේ වීශාල වෙනසක් ඇති කිරීම මෙම ජයග්‍රහණයට ප්‍රභලම හේතුවක් විය. මහජන සෞඛ්‍ය හෙවත් පබ්ලික් හෙල්ත් යන සංකල්පය දැන් ලෝකය පුරාම ඉතා ප්‍රභලව පැතිර යන අදහසකි. ඇමෙරිකාව වැනි රටවල පවා මෙම අදහස මුල් බැසීමට පටන් ගත්තේ මෑත කාලයකදීය. ලංකාවේ මෙම අදහස මුල් බැසීමට විවිධ හේතූන් පැවතිය හැකි අතර ඊට ඉතා වැදගත් හේතුවක් වන්නේ එකල ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය තුළ මෙම සංකල්පය ඉතා ප්‍රබලව මුල් බැස තිබීම විය හැකිය. වෛද්‍ය පහසුකම් වල ඇති වූ වෙනස මහජන මතයේ ඇති වූ වෙනසත් එක් තැන් වීම තුළින් කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශාල වෙනසක් මෙසේ සිදු විය. එම සිදුවීමට ප්‍රභලවම බලපෑවේ මුදලින් තොරව වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි තත්වයක් උදා කළ නිදහස් සෞඛ්‍ය ක්‍රමයක් ලංකාවේ තිබීමය. එහෙත් මෙම නිදහස් සෞඛ්‍ය ක්‍රමය දැන් ක්‍රමයෙන් නැති වී යමින් පවතින අතර මෙය කොතෙක් දුරට කාන්තා සෞඛ්‍ය කෙරෙහි බලපා ඇත්ද යන්න සොයා බැලිය යුතුව ඇත. එහිදී අවදානය යොමු විය යුත්තේ අඩු ආදායම් ලබන, ජනතාවගේ පවුල් තුළට නිදහස් සෞඛ්‍ය ක්‍රමයේ කප්පාදු කිරීම් කොතෙක් දුරට බල පවත්වනවාද යන්න සොයා බැලීම තුළිනි.

සාමාන්‍ය ජනයාගේ ජීවිතය පිළිබඳව ලංකාවේ මාධ්‍ය තුළින් වුවද ප්‍රකාශයට පත් වන්නේ අඩු වශයෙනි. මේ නිසා මේ පිළිබඳව පැහැදිලි මතයක් ඇති කර ගැනීම අමාරුය. කෙසේ වුවත් ලංකාවේ අඩු දියුණුවක් ඇති ප්‍රදේශ වල සහ අදායම් අතින් අඩු අදායම් ලබන පවුල් තුළින් මෙම ප්‍රශ්නය පිළිබඳව අදෝනාවක් ඇති බව පෙනේ. මේ පිළිබඳව සොයා බැලීමේ ක්‍රමයක්ද දැන් ක්‍රියාත්මක වන බවක්ද පෙනෙන්නට නැත. කෙසේ වුවත් විසි වන ශත වර්ෂයට වැඩි දියුණුවක් 21 වසරේදී පවතීද යන්න ගැන සොයා බැලීමේදී අවදානය යොමු විය යුතු මුලිකම අංශයක් වන්නේ කාන්තා සෞඛ්‍ය පිළිබඳව අංශයයි.

අධ්‍යාපනය:- අධ්‍යාපනික ක්ෂේත්‍රය තුළ 20 වන සියවසයේ ලංකාව අත් පත් කර ගත් ජයග්‍රහණයන් ලෝකයේම අවදානයට යොමු විය. රටේ ග්‍රාමීය ප්‍රදේශයන් දක්වා විසිරී ගිය මෙම අධ්‍යාපන විප්ලවය ලංකාවේ සෑම පවුලක් කෙරෙහිම බලපෑවා යැයි කීම අතිශෝක්තියක් නොවේ. කියවීම, ලිවීම මෙන්ම ඉහල මට්ටමකින් අදහස් හුවමාරු කර ගැනීම සහ අවබෝධ කර ගැනීමට හැකි පමණකට මෙම දියුණුව සිදු විය. එහෙත් මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැන් රට පුරාම විශාල අන්දොනාවක් පවතී. පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක පසු බැසීමක් පවතින බව බොහෝ දෙනා කියති. විශ්වවිද්‍යාල වලට පැමිණෙන සිසුන් ඔවුන්ගේ දැනුම් මට්ටම් වල විශාල අඩුවක් දකින්නට ඇති බව විශ්ව විද්‍යාල ගුරුවරු කියති. අධ්‍යාපන මට්ටම් කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අය වැය ලබා නොදීමය. මේ හැර අධ්‍යාපනයට අදාළ වියදම් වැඩිවීම නිසා එම වියදම් දැරීමට බැරි තත්වයකට පත්ව සිටින දෙමව්පියන්ගේ ගණන අති විශාලය. මෙම ක්ෂේත්‍රය පිළිබඳවද විදිමත්ව සොයා බලා වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳව ක්‍රමයක්ද ලංකාවේ වැඩි දියුණු වී නැත. වඩා විදිමත් දියුණුවක් ඇති කර ගැනීමේ හැකියාව ඇති සිවිල් පරිපාලන තන්ත්‍රයක් ලංකාවේ නොතිබීම නිසා අධ්‍යාපනය වැනි විශාල වැදගත් කමක් ඇති සමාජ ක්ෂේත්‍රයක පවා සැලසුම් සහගත බුද්ධි ගෝචර අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවද දැන් රට තුළ නොපවතින තත්වයක් පවතී.

නිතිය: සමාජයක වැඩි දීයුණු වීමේ ඉතා මුලික අංශයක් වන්නේ රටේ නිතිය තුළ ඇති වන දියුණුවයි. රටකට සංවිධානාත්මකව පැවතීමේ හැකියාව පවතින්නේ එම රටේ නිතිය තුළ ඇති වන දියුණුවත්, නීතියේ පදනම මත ඇති වන්නා වූ විනය ගරුක භාවයත්ය. මෙම අංශයෙන් නම් විසි වන ශත වර්ෂයේ මුල් භාගයේ පවතී තත්වයට වඩා මහා පරිමාන කඩා වැටීමක් 21 වන ශතවර්ෂය වන විට දකිත හැකිය. රටක නිතිය පවත්වා ගෙන යාමට අදාළ වන කරුණු ක්‍රියාත්මක වීමෙහිලා විශාල පරිහානියක් පවතී . ලංකාවේ පොලිසිය පොලිසියක් යයි කීමට බැරි තරමට කඩා වැටී ඇත. හොරුන්ගෙන් ආරක්ෂා වීමට පවා පොලිසියේ සහය නොපැතීමේ මානසික තත්වයක් රට පුරාම පැතිර පවතී. විසි වන ශතවර්ෂයේ මුල් භාගයේදී වැඩි දියුණු තත්වයක පැවති ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව දැන් විශාල කඩා වැටීමකට භාජනය වී ඇත. මහජන ආරක්ෂාව ක්ෂේත්‍රයෙදී අපරාධ නඩු පැවරීමේ කාර්ය භාරව ඇති නීති පති ක්‍රමය රටක මහජන ආරක්ෂාව සඳහා පවතින අත්‍යවශ්‍ය සේවාවකි. එම සේවාව අද ලංකාවේ පවතින්නේ 20 වන ශත වර්ෂයේ මැද බාගයේ තිබුනාට වඩා බොහෝ සෙයින් පසු ගාමි තත්ත්වයකය. පොලිසිය, නීති පති ක්‍රමය මෙන්ම අධිකරණයේද දැන් ඇත්තේ විසි වන ශත වර්ෂයේ තිබුනාට වඩා පහත් මට්ටමකය. යුක්තිය පසිඳ ලීමේ ඉහත කී සංස්ථා වල ඇති පිරිහීම දේශපාලන ක්ෂේත්‍රයේ සිදු වූ පසු බෑම නිසා සිදු වීය යන්න පොදු මතයකයකි. මෙම සංස්ථා පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය අය වැය මෙන්ම පරිපාලන සුක්ෂමතාවය දැන් බොහෝ සේ පිරිහී ගොස් ඇත.

ස්වාධීන චන්ද ක්‍රමය:- විසි වන ශත වර්ෂයේදී ලංකාව අත්පත් කරගත් විශාලම දියුණුවක් නම් සර්ව ජන චන්දය සහ එම චන්දය නිසි ලෙස පවත්වා ගැනීමට හැකියාව තිබු මැති වරණ කොමසාරිස් ක්‍රමයයි. එහෙත් දැන් නම් එම මැතිවරණ ක්‍රමය පිළිබඳව මහජන විශ්වාසය විශාලව කැඩී බිඳී ගොස් ඇත.

දූෂණ මර්ධනය: - ලංකාවේ අංග සම්පූරණ යයි කිව හැකි දූෂණ මර්ධන ක්‍රමයක් ඇති වූයේ නැත. එසේ වූවත් 20 ශතවර්ෂය මැද භාගය වන විට ලංකාවේ සිවිල් සේවයේ හා දේශපාලන ක්ෂේත්‍රයේ දූෂණ මර්ධනය කර ගැනීමේ වැඩ පිළිවෙලක් පැවතින. එය එම කාලයට අනුව වැඩි දියුණු ක්‍රමයක් විය. ආසියාවේ රටවල් ගණනාවක් පසුගිය දශක වලදී ඔවුන්ගේ රටවල පැවති දූෂණ මර්ධන ක්‍රමයන් වැඩි දියුණු කර ගත්හ. එහෙත් මේ වන විට ලංකාවේ නම් සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් ලෙස පෙර පැවති දූෂණ මර්ධන ක්‍රමයද නැති කර දමා ගැනීමකි.

මේ අනුව බලන කළ දැන් ලංකාව 20 වන ශත වර්ෂයේ මැද භාගයේ පැවති ලංකාවට වඩා පසුගාමී තත්වයක පසු වේ. එවැනි තත්වයක් තුළ ලංකාවේ වැඩි අධ්‍යාපනයක් සහ වැඩි බුද්ධි මට්ටමක් අත් පත් කරගත් ජනකොටස් තුළ ලංකාව අතහැර යාමේ ප්‍රවනතාවය ප්‍රභලව පැවතීම පුදුමයක් නොවේ. ලෝකයේ බොහෝ රටවල උත්සාහය ලෙස පවතින්නේ වැඩි අධ්‍යාපනයක් ඇති කොටස් රඳවා ගැනීම මඟින් රට දියුණු කර ගැනීමය. ලංකාවේ නම් සිදු වන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ තත්වයකි.

රටේ පවතින මෙම අස්වාභාවික පසු බැසීම සමබන්ධයෙන් සොයා බැලීමට පවා උනන්දුවක් නැති තත්වයක් පැවතීමද රටේ අනාගතය පිලිබ්නදව කියා පාන්නේ කණගාටු දායක කතාවකි.

Tell a Friend