කොන්දොස්‌තරගෙන් මාධ්‍යවේදියාට ප්‍රහාරයක්‌

එම්. බී. පහළවත්ත

සබරගමුව මාර්ගස්‌ථ ප්‍රවාහන අධිකාරිය මගින් පෞද්ගලික බස්‌රථවල ගමන් කිරීම සඳහා මාධ්‍යවේදීන්ට ලබාදුන් නිදහස්‌ ගමන් බලපත්‍රය ප්‍රතික්‍ෂේප කිරීම නිසා මාධ්‍යවේදියකු විසින් කරන ලද පැමිණිල්ලක්‌ විභාග කරගෙන යන අවස්‌ථාවේදී බස්‌රථ කොන්දොස්‌තරවරයා මාධ්‍යවේදියාට පහරදීමෙන් ඔහු තුවාල ලබා ඇත.

කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයේ (අංක 677) ධාවනය කරන ලද බස්‌ රථයකින් මෙම මාධ්‍යවේදියා තන්නිමලේ සිට බුලත්කොහුපිටිය දක්‌වා ගොස්‌ බසයෙන් බහින අවස්‌ථාවේදී එම බස්‌රථයේ කොන්දොස්‌තර රාජකාරියෙහි යෙදී සිටි ලයනල් ජයසිංහ නමැති අය අපහාසාත්මකව මෙම ගමන් බලපත්‍රය ප්‍රතික්‍ෂේප කර ඇත.

පසුව එම සිද්ධිය පැමිණිලිකිරීමෙන් පසු කෑගල්ල මාර්ගස්‌ථ ප්‍රවාහන අධිකාරියේදී පැමිණිල්ල විභාගයට ගත් අවස්‌ථාවේදී අදාළ කොන්දොස්‌තර විසින් මාධ්‍යවේදියාට පහරදී ඇත. මේ සම්බන්ධව මාධ්‍යවේදියා විසින් කෑගල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

Tell a Friend