වැලිකඩ කාන්තා රැඳවියන්ගේ අවුරුදු මත්පැන් සාදය ඇණහිටී

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිර මැදිරිවලට නුදුරින් තිබූ තාප්පයක්‌ උඩින් ඉකුත් 13 වැනිදා අඳුර වැටෙද්දී ප්ලාස්‌ටික්‌ බෝතල්වල පිරවූ කසිප්පු බෝතල් 1 1/2 ක්‌ද, නීත්‍යනුකුල අරක්‌කු බෝතල් 1 1/2 ක්‌ද බිමට වැටී ඇත. ඒ මොහොතේ අසල රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නියාමකවරිය විසින් එම බෝතල් අත්අඩංගුවට ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් කීපදෙනකු සිංහල අවුරුදු දින මත්පැන් සාදයක්‌ පැවැත්වීමට සූදානම් කර තිබූ පසුව හෙළි වී තිබේ. බන්ධනාගාර නියාමකවරිය එම මත්පැන් බෝතල් අත්අඩංගුවට ගනු ලැබීමෙන් එම සාදය වැළකී ඇත.

මෙම මත්පැන් වනාතමුල්ලේ සිට කිසියම් පුද්ගලයකු විසින් දමන්නට ඇතැයි සැකකරන බවත්, මෙම කසිප්පු සහ අරක්‌කු ගෙන්වා ගැනීමට පියවර ගත් සැකකාරිය පිළිබඳව තොරතුරු සොයා බලන බවත් බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ සඳහන් කළේය.