"විකෘති මිනිසුන් බිහිකිරීමේ චූදිතයා අපේ අධ්‍යාපන ක්‍රමයයි"

ඩලස්‌ අලහප්පෙරුම

ඉතිහාසයේ අපි කරගත් වැරදි රාශියක්‌ අතුරින් පුද්ගලිකව තමන් පිළිගන්නා මූලික වැරැද්ද මෙරට අධ්‍යාපන ක්‍රමය නිසි ලෙස ප්‍රතිසංස්‌කරණය නොවීම යෑයි යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවසීය.

අපේ රටේ විකෘත මිනිසුන්, විකෘති කලාකරුවන් හා විකෘති දේශපාලනඥයන් බිහිවූයේ එම හේතුව නිසා යෑයිද අලහප්පෙරුම මහතා කියා සිටියේය.

යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ මාධ්‍ය ඒකකය මගින් ප්‍රකාශයට පත් කළ "මංපෙත" පුවත් සඟරාවේ මංගල කලාපය එළිදැක්‌වීමේ උත්සවයේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

"මංපෙත" මංගල කලාපය එළිදැක්‌වීම (07 වැනිදා) පෙරවරුවේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ මාධ්‍ය ඒකකයේ ගීත රචක, සාහිත්‍යවේදී, පමිත ආර්. ලියනගේ මහතා විසින් සංස්‌කරණය කරන "මංපෙත" වෘත්තීය මාර්ගෝපදේශන සඟරාව සමාජ සත්කාරක සේවාවක්‌ ලෙස සලකා නොමිලේ දිවයිනේ සියලු පාසල් හා මහජන පුස්‌තකාල වෙත ඉදිරියේදී ලබාදීමට නියමිත බවද මෙහිදී ප්‍රකාශ විය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයාථ

විකෘති මිනිසුන් බිහිවීමේ වැරැද්ද සඳහා චූදිතයා ලෙස විත්ති කූඩුවට නැගිය යුත්තේ මෙරට අධ්‍යාපන ක්‍රමයයි. අපේ රටේ තාක්‍ෂණය සහ කලාව පවතින්නේ අන්ත දෙකක. මේ දෙක අතර තිබෙන්නේ දුර ඥාතීත්වයක්‌. එවැනි රටාවක ජීවත්වුණු දරුවෝ තමයි මේ සමාජයේ ඉන්නේ. අපේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය සියුම් වෙන්න, සංවේදී වෙන්න, මොලොක්‌ වෙන්න බැරි වුණේ ඒ නිසයි. අපි එක ක්‍ෂේත්‍රයකට නිපුණත්වයකට කොටුවෙලා.

මේ නිසා මම හිතනවා කලාව කියන දේ අපේ ජීවිතවලට වැඩියෙන්ම යොදාගත යුතු කාලය දැන් එළැඹිලා තියෙනවා.

Tell a Friend